නාලක ස්වර්ණතිලකගෙ ‘දඟමල්ල’ සමගින් වේදිකාවට ගොඩවෙන ශයිනි නෙත්තිකුමාර කලා ක්‍ෂේත්‍රයට ඇවිත් දැන් අවුරුදු දහතුනක් විතර වෙනව. මේ දවස්වල විකාශය වන ටෙලි නිර්මාණ කිහිපයක විවිධ චරිත තුළින් ශයිනිගේ රංගන හැකියාවන් ඔබට දැකබලාගන්න පුළුවන්.
ශයිනි මේ දවස්වල ටැක්සිකාරයෙක් එක්කයි ගමන. ඒ අත්දැකීම මොන වගේද?
ඇත්තටම ඒක අලුත් අත්දැකීමක් වගේම කලින් නොකරපු විදිහේ වෙනස්ම චරිතයක්. කුසල් අයියා සහ ඒ කණ්ඩායමත් එක්ක වැඩකරන්න ලැබුණ එක හරිම ශෝක්. කතාව ටෙලිකාස්ට් වුණා විතරයි, ගොඩක් දෙනෙක් නරඹල අද වෙනකොට කමෙන්ට්ස් ගොඩක් තියෙනව මට.
කොහොමද මේ චරිතය ලැබෙන්නෙ?
මට මේ චරිතය ලැබුණ එක ගැන කුසල් අයියට තමයි ස්තූති කරන්න ඕන. මොකද ඔහු තමයි අනුජ අයියට මං ගැන කියල තියෙන්නෙ.
කුසල් මධුරංග සමග වැඩකිරීමේ අත්දැකීම මොන වගේද?
අනේ ඇත්තටම ඒක මගේ ජීවිතේට වටිනා අත්දැකීමක් සහ අපි හරිම එකමුතුවෙන්, විනෝදයෙන් තමයි මේ නිර්මානයට සම්බන්ධ වෙන්නෙ. ඒ වගේම කුසල් අයිය ගොඩක් තැන්වලදි මගෙත් එක්ක කතාකරමින්, නංගි අපි මේ විදිහට චරිතය කරමු කියල විවිධ පැති ඔස්සේ අපේ චරිත ගොඩනගාගන්න ලොකු සහයෝගයක් ලබාදනව.
ටැක්සිකාරයාට ඇත්තටම මොනව වෙයිද?
එදිනෙදා ජීවිතේ අපි දකින ප්‍රශ්න, සිදුවෙන කරදර, අහිංසක මිනිස්සුන්ගෙ පවුල් පසුබිම සහ මුදල් නොමැතිකම නිසා ඔවුන් කොච්චර අසරණ වෙනවද කියන දේත් එක්ක මිනිස්සුන්ගෙ ජීවිතවලට කතාකරන්න පුළුවන් ලස්සන කතාවක් කිව්වොත් හරි. ඊට වඩා මේ ගැන කියන්න බැහැ. මොකද මේ කතාව එපිසෝඩ් එකෙන් එපිසෝඩ් එකට වෙනස් වෙමින් යන්නෙ.
ඔබට ලැබෙන්නෙ මාධ්‍යවේදිනියකගේ චරිතයක්?
ඔව්, මට මේ වගේ චරිතයක් ලැබෙන්නෙ පළමු වතාවට. ඒක මට ලොකු අභියෝගයක් වුණා. මොකද මගේ කොටස රූගත කරල දැනට අවුරුද්දක් විතර වෙනව. ඒ අතර කාලය තුළ අපි වෙනස් වෙනස් චරිත කරල ඒවාට හුරුවෙලානෙ තියෙන්නෙ. ඒ නිසා අවුරුද්දකින් පස්සෙ ආයෙත් ෂූටිං පටන්ගන්නකොට ඒ චරිතයට හුරු වෙන්න අමුතුවෙන්ම හැඩගැහෙන්න ඕන.
මේ චරිතය වෙනුවෙන් අධ්‍යයනයක් කළාද?
ඔව්, අනුජ අයිය මේ චරිතය ගොඩනගාගන්න මට ලොකු සපෝර්ට් එකක් දුන්නා. මොකද මේ චරිතයේ ඉන්නෙ එදිනෙදා අපි දකින මාධ්‍යවේදිනියකට වඩා වෙනස් විදිහකට ඉන්න කෙනෙක්. මම හිතනව චරිතයට මම උපරිම සාධාරනයක් කළා කියල.
පිටපත කියෙව්වාට පස්සෙ මොන වගේ අදහසක්ද ඇති වුණේ?
මුලින්ම පිටපත බැලුවට පස්සෙ මට කිසිම දෙයක් හිතාගන්න බැරි වුණා. කොහොමද මම මේ චරිතය කරන්නෙ කියල ගොඩක් කල්පනා කළා. ඇත්තටම මමත් කැමතියි එකම විදිහේ චරිත කරනවාට වඩා වෙනස් විදිහට දෙයක් කරන්න. මොකද මේ වනවිටත් මම නාට්‍ය තුනක විතර ෂූටිං කරනව. ඒ අතරිනුත් මට ඕන වුණේ එකිනෙකට වෙනස් චරිත කරන්න. මාධ්‍යවේදිනියගේ මේ චරිතයෙන් වෙනස්ම දෙයක් කරන්න පුළුවන්වෙයි කියල මම විශ්වාස කරනව.
මොනවද අනෙක් නිර්මාණ?
ටැක්සිකාරයා හැරුණාම ‘වන්ස්අපෝන් ලයිෆ් ටයිම් ඉන් ගල්කිස්ස’ කියන අලුත් ටෙලි නාට්‍යයේ ෂූටිං මේ දවස්වල සිදුකෙරෙනව. ඒ වගේම ‘මායාවී’ සහ ‘හිරිපොද වැස්ස’ යන ටෙලි නාට්‍ය වලට රංගනයෙන් දායක වෙනව.
මායාවී හි පුන්සරා ගැන රසිකයො මොකද කියන්නෙ?
මම මායාවී ටෙලි නාට්‍යයට එකතු වුණේ මෑතකදි. ඒ වගේම පුන්සරා කියන්නෙ හරි අහිංසක බොළඳ චරිතයක්. රසිකයන්ගෙන් ලැබෙන ඉතාමත් හොඳ ප්‍රතිචාරත් එක්ක මේ දවස්වල නාට්‍යය අලුත්ම විදිහකට, වෙනස්ම පැත්තකට යනව.
හිරිපොද වැස්සෙ වෙනස්ම චරිතයක්?
ඔව්, ටියාට මිනිස්සු බනිනව, ආදරය කරනව වගේම ඒ නමින් මට කතා කරනව.
නිර්මාණ ගොඩක් එක්ක ශයිනි කාර්යබහුල වෙලා?
ඔව්, මේ දවස්වලනම් මම ටිකක් කාර්යබහුලයි තමයි. ඒ වුණත් මේ සෑම චරිතයකටම උපරිම සාධාරණයක් කරන්න මම උත්සාහ කරනව.
ශයිනි කියන්නෙ මොන වගේ චරිතයක්ද?
ශයිනි කියන්නෙ හරිම සරලව, නිදහසේ ඉන්න කැමති, සතුටින්, සැහැල්ලුවෙන් ජීවත් වෙන්න කැමති කෙනෙක්.
අලුත් අවුරුද්දෙ බලාපොරොත්තු මොන වගේද?
අලුත් අවුරුද්දෙ හීන ගොඩක් තියෙනව. හොඳ චරිත වගේම රසිකයො ආදරය කරන චරිතවලට සම්බන්ධ වෙන්න, සිනමාව පැත්තෙන් ආරාධනයක් ලැබුණොත් ඒකටත් සම්බන්ධ වෙන්න තමයි ඉතිං හිතානෙ ඉන්නෙ. නමුත් ඊළඟ මොහොතෙ මොනව වෙයිද කියල අපි දන්නෙ නැහැනෙ. ඒ නිසා මේ මොහොතෙ මගේ පවුලෙ අය එක්ක වගේම යාළුවො එක්ක සතුටින් ජීවත් වෙනව.
ඔබ වේදිකාවටත් සම්බන්ධයි?
ඔව්, ටෙලි නාට්‍යවලට සම්බන්ධ වෙන්න කලින් මම වේදිකාවෙ වැඩ කළේ. මගේ මුල්ම වේදිකා නාට්‍යය වුණේ නාලක ස්වර්ණතිලක මහත්මයාගෙ ‘දඟමල්ල’. එදා ඉඳන් මම දිගටම කලාව පැත්තෙන් තමයි වැඩ කළේ.
පවුලේ අයගෙන් ලැබෙන සහයෝගය?
මගේ අම්මයි, තාත්තයි, අයියයි තමයි මට ලොකුම සහයෝගය ලබා දෙන්නෙ. මට චරිතයක් ලැබුණ ගමන් එයාලගෙන් අහනව, මේ වගේ චරිතයක් ලැබිල තියෙනව මම භාරගන්නද කියල. ඔවුන් හොයල බලල සුදුසු නම් කියනව භාරගන්න කියල.
රඟපෑම තෝරා නොගත්තානම් ශයිනි මොනව කරයිද?
යම් විදිහකින් කලාවෙන් බ්‍රේක් එකක් ගන්න ඕන වුණොත් මම ගුරුවරියක් විදිහට වැඩ කරයි. ඒ වෙනුවෙන් මම ඉගෙනගෙන තියෙනව. නමුත් කලාවත් එක්ක ඒ දේ මට කරන්න බැහැ.