ඉක්මනින්ම ලංකාවට එනවා – මින්සි ෂෙහාරා

gossiplanka image 2


මුලින්ම ‘විරහවත් එක රහක්’ ගීතයේ මියුසික් වීඩියෝ එකට සම්බන්ධ වෙන ඇය එමගින් රංගන ක්‍ෂේත්‍රයේ දොරටු විවරකර ගන්නව. අද ඇයව ඔබට දැකගන්න ලැබෙන්නෙ ‘තරු ආදරේ’ ටෙලි නාට්‍යයේ මාෂි ලෙසින්. පිටරටක පදිංචිවෙලා හිටියත් ‘තරු ආදරේ’ නිසා ළඟදීම ඇය ලංකාවට එන්නයි හිතාගෙන ඉන්නෙ. අපි මින්සි ෂෙහාරාගෙන් අහල බලමු වැඩිදුර විස්තර මොනවද කියල.


‘තරු ආදරේ’ට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙන්නෙ කොහොමද?


තරු ආදරේ මාෂා වෙන්න මට අවස්ථාව ලැබෙන්නෙ එහි නිෂ්පාදක ධනුෂ්ක ප්‍රනාන්දු අයියා හරහා. මම මුලින්ම ‘විරහවත් එක රහක්’ කියන මියුසික් වීඩියෝ එකට සම්බන්ධ වෙනව. ඒක රචනා කළෙත් ධනුෂ්ක ප්‍රනාන්දු අයියමයි. ගායනා කළේ කසුන් කල්හාර. මේ වීඩියෝ එකෙන් පස්සෙ තමයි ධනුෂ්ක අයියා මට තරු ආදරේ ටෙලි නාට්‍යයට ආරාධනා කරන්නෙ.



මාෂාට ලැබෙන ප්‍රතිචාර මොන වගේද?


සමහර අය මට කතාකරලම කියනව මේ චරිතය ඔයා ගොඩක් හොඳට කරනව කියල. ඒ වගේම සමාජ මාධ්‍ය හරහාත් මාෂාට ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබෙනව. නමුත් මුල් කාලෙ නම් ටිකක් බැනුම් ඇහුව. දැන් දැන් මාෂාට ප්‍රේක්‍ෂකයන්ගෙ ආදරය ලැබෙන්න පටන් අරගෙන තියෙනව. විශේෂයෙන්ම කියන්න ඕන, තරු ආදරය කියන්නෙ මගේ මුල්ම ටෙලි නාට්‍ය රංගනය. ඉතිං මෙතැනදි ප්‍රේක්‍ෂකයන්ගෙ හොඳ ප්‍රතිචාර වගේම නරක ප්‍රතිචාරත් මට ඉතාමත් වැදගත් වෙනව මගෙ අඩුපාඩු හදාගන්න. ඒ නිසා ලැබෙන හැම කමෙන්ට් එකක්ම මම හරිම ආදරෙන් කියවනව.


ගයාන් ගුණවර්ධනගෙන් ලැබෙන සහයෝගය කොහොමද?


ගයාන්ගෙන් ඉතාමත් හොඳ සහයෝගයක් ලැබෙනව. මම රංගනයට නවකයෙක් වුණත් ඔහු මට ඒ බව දැනෙන්න දෙන්නෙ නැහැ. දන්න දේවල් කියල දෙනව. ඇත්තටම ගයාන්ගෙන ලැබෙන සහයෝගය නිසා තමයි මට මාෂාව ජීවමාන කරන්න පහසු වෙන්නෙ.



විරහවත් එක රහක්, ගීතය ගැන කතා කළොත්?


මේ ගීතයේ රූප රචනාවට මට ආරාධනා කළේ ධනුෂ්ක අයිය. ඒක හරි ලස්සනට පද ගැළපූ විරහ ගීතයක්.


තරු ආදරේ ඔබේ පළමු ටෙලි නාට්‍යය?


මම මුලින්ම රංගනයෙන් දායක වෙන්නෙ ඇට්ටරයා කියන ටෙලි නාට්‍යයට. නමුත් තවමත් ඒක විකාශය වුණේ නැහැ. ඒ නිසා මාව මුලින්ම පුංචි තිරයෙන් දකින්නෙ තරු ආදරේ හරහා.


රඟපෑමට එන්න හිතුවෙ?


මම පුංචි කාලෙ ඉඳන්ම කලාවට හරිම ආසා කෙනෙක්. ඒ කාලෙ ඉඳන්ම නර්තනය හදාරපු නිසා ගොඩක් රංගන ශිල්පීන් ශිල්පිනියන් එක්ක වැඩකරන්න අවස්ථාව ලැබුණා. ඒ දේවල් එක්ක මට රංගනය ගැන කැමැත්තක් ඇති වෙනව. විශේෂම දේ තමයි, මම රංගනයට සම්බන්ධ වීම කියන්නෙ මගේ අම්මගෙ හීනය හැබෑවීමක්. මොකද ඇය හරිම ආසාවෙන් හිටියෙ මම රංගන ශිල්පිනියක් විදිහට ක්‍ෂේත්‍රයේ කටයුතු කරනව දකින්න.


දිගටම රඟපානවද?


මම කලාවට ආදරය කරන කෙනෙක්. රංගනය වගේම නර්තනය තුළත් මම මාව දකිනව. ඒ නිසා ලැබෙන නිර්මාණ එක්ක දිගටම රංගනයේ යෙදෙන්න මම බලාපොරොත්තු වෙනව.


පදිංචිය ඕස්ට්‍රේලියාවේ?


ඔව්, මම පදිංචිවෙලා ඉන්නෙ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර.


ලංකාවෙන් ගිහින් කොච්චර කාලයක් වෙනවද?


මම ඕස්ට්‍රේලියාවල දැනට අවුරුදු දහතුනකට ආසන්න කාලයක් ජීවත් වෙනව.


ෂූටින් වලට සම්බන්ධ වෙන්නෙ කොහොමද?


තරු ආදරේ ටෙලි නාට්‍යයේ ෂූටිං ලංකාවේ වගේම ඕස්ට්‍රේලියාවේදීත් සිදුකරනව.


දැනට මම දායක වුණේ ඕස්ට්‍රේලියාවල කොටසට විතරයි. ඉදිරි කොටස්වලට සම්බන්ධ වෙන්න මම ලංකාවට එන්න ඕන. අපිට හොඳ කණ්ඩායමක් ඉන්නව. ඒ නිසා කතාබහ කරල සහයෝගෙන් වැඩ කරගෙන යනවා.


පවුලේ විස්තර කොහොමද?


අපේ පවුලේ ඉන්නෙ අම්මයි, තාත්තයි, මල්ලියි, නංගියි, මමයි. පවුලෙ වැඩිමලා මම. මල්ලි පොලිස් නිලධාරියෙක්. නංගි උසස් අධ්‍යාපනය හදාරනව.


ඉස්කෝලෙ යන කාලේ බැඩ්මින්ටන් ක්‍රීඩාවටත් දක්ෂයි කියලා ආරංචි?


ඔව්, මම පාසල් යන කාලෙ ඉඳන් බැඩ්මින්ටන් ක්‍රීඩා කළා වගේම ඕස්ට්‍රේලියාවට ගියාට පස්සෙත් මගේ යුනිවර්සිටි එක නියෝජනය කළා. ලංකාවේදී වගේම ඕස්ට්‍රේලියාවේදීත් ජයග්‍රහණ ලබාගෙන තියෙනවා.


කවදද ලංකාවට එන්නෙ?


මේ මාසෙ එන්න හිතාගෙන හිටියට මගේ රැකියාවේ කටයුතු නිසා එන්න ලැබුණෙ නැහැ. ඒ නිසා ඉක්මනින්ම එන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.


ඕස්ට්‍රේලියාවේ ගෙවන ජීවිතය කොහොමද?


ඕස්ට්‍රේලියාවල මම වානිජ අංශයේ රැකියාවක් කරනවා. මෙහේ ගොඩක් ඒකාකාරී බව නිසා ලැබෙන හැම වෙලාවකම යාළුවො එක්ක එලියට යනව. ඒ වගේම ජිම් එකට යන්නත් අමතක කරන්නෙ නැහැ.


විලාසිතා වලට මොන වගේ නැඹුරුවක්ද තියෙන්නේ?


මම ලස්සනට අඳින්න කැමතියි. ඒ වගේම ෆැෂන් කියන්නෙ මම ගොඩක්ම අවධානය යොමු කරන දෙයක්. මොකද විලාසිතා හරහා කෙනකුගෙ අයිඩෙන්ටිටි එක, කොන්ෆිඩන්ස් එක පෙන්නන්න පුළුවන්. අලුත් ටේ‍රන්ඩ් ආවත් මට ගැළපෙනවනම් විතරයි මම ඒවා කරන්නෙ.


මාෂාට වගේ මින්සිටත් ආදර කතාවක් ඇති නේද?


මම තවම ආදරවන්තියක් නෙමෙයි. මගේ වැඩකටයුතුවලට මූලිකත්වය දීල වැඩ කරනව. ඉදිරියේදී බලමු.


ඉදිරියේදී රඟපෑම වෘත්තිය කරගනීවිද?


දැනට නම් වෘත්තීය මට්ටමින් රංගනයේ යෙදෙන්න අදහසක් නැහැ. මොකද මම අඩුපාඩු හදාගනිමින් යන ගමනක් තියෙන්නෙ. අනාගතයේ මේ අදහස කොහොම වෙයිද දන්නෙ නැහැ.


මහේෂ් එදිරිසිංහ

gossiplanka image 1

Previous Post Next Post