ජයප්‍රකාශ් සිවගුරුනාදන් අධ්‍යක්ෂණය කළ "ඇතුල්වීම තහනම්" සහ ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්ෂණය කළ "නන්නත්තාර"ටෙලි කතා මාලාවේ රම්බාගේ චරිතය තුළින් පුංචි තිරය හරහා ප්‍රේක්ෂකයන් අතරට ආ වින්දි දෙගල්දොරුව මේ දිනවල හිරු නාලිකාවේ විකාශය වන බුද්ධිනී ජයවර්ධන රචනා කරන තරු ආදරේ නාට්‍යය තුළින් ද දැකගන්නට පුළුවන්. කාලයකට පස්සේ පුංචි තිරෙන් මුණගැහෙන මේ සුන්දර රංගන ශිල්පිනිය එක්ක අපි කතා කළා.
වින්දි මේ දවස්වල මොකද කරන්නෙ?
මේ දවස්වල මම ආයෙමත් මගේ ගරු වෘත්තීය පටන් අරන් ඉන්නවා. ඒ එක්කම මම මාසයක් වගේ ලන්ඩන්වල හිටියා. නැවත මම මගේ යෝගා කටයුතු සහ ජිම් එකේ ව්‍යායාම කටයුතුවලට කාලය යොමු කරලා තියෙනවා. ඒ ඒවගේම මම මගේ සෞඛ්‍ය තත්ත්වය ගැන බලාගන්න ගමන්ම පිළිකා රෝගීන් වෙනුවෙන් කරන කීමෝ තෙරපි ගැන නිර්මාණය කරන කීමෝ හැට්ස් ප්‍රොජෙක්ට් එකක් මගේ වෛද්‍යවරු සහ මාධ්‍ය එක්ක කරගෙන යනවා. ඒක තමයි මම මේ කාලයේ උනන්දුවෙන්ම කරන්නේ. මොකද මම වගේම පිළිකා රෝගයට ගොදුරු වුණු අය ගැන මම දන්න නිසා. ඒ සමාජ සත්කාරයට මම යොමුවෙලා ඉන්නවා.
කාලෙකින් ආයේමත් තරු ආදරේ එක්ක පුංචි තිරෙන් දකින්න ලැබෙනවා, කොහොමද මේ ඇරයුම ලැබුණේ
මගේ අසනීප තත්ත්වයෙන් මිදුණා කියලා දැන ගත්තම මට තිබුණු මානසික තත්ත්වයෙන් මිදෙන්නත් ගොඩක් දෙනෙක් උදව් කරන්න ආවා. ‘තරු ආදරේ’ ලියන බුද්ධිනි ජයවර්ධන තමයි මට මේ වෙනුවෙන් කතා කළේ. ඉතින් මාව වැඩිය වෙහෙසන්නේ නැහැ කියල මේ වැඩේට කතා කරේ. කලිනුත් එයාගේ නිර්මාණයකට මාව ගන්න හිටියත් ඒ කාලය තුළ තමයි මම අසනීප වුණේ. තරු ආදරේ නිෂ්පාදනය කරන්නේ ධනුෂ්ක ප්‍රනාන්දු. ධනුෂ්ක කියන්නේ මම කාලයක් තිස්සේ දන්නා කෙනෙක්. ඉතින් ධනුෂ්ක සහ බුද්ධිනිගේ ඉල්ලීම මත තමයි අවුරුදු දෙකකට පස්සේ තරු ආදරේ නාට්‍යයට සම්බන්ධ වුණේ.
ඒන්ජල් එහෙම නැත්නම් යෙහන්සාගේ අම්මා වෙන්න ලැබීම ගැන මොකද හිතෙන්නෙ
කාලයකට පස්සේ වුණත් නැවත කලා ක්ෂේත්‍රයේ වැඩ කරද්දී ලොකු සතුටක් දැනුණා. මම ප්‍රථම වතාවට අම්මා කෙනෙක්ගේ චරිතයක් කළේ. නමුත් මම ලැක්ටෝගෝ වෙළෙඳ දැන්වීමේ නම් මම අම්මා විදියට රඟපෑවා. රංගනය කියන්නේ මගේ ජීවිතේ තියෙන ආසාව. ඒ නිසා මම රඟපාන්න ආසයි. ඒ නිසා මේ ලැබුණු අවස්ථාව ආසාවෙන් කළා.
වින්දි කියන්නේ ජීවිතෙ අමාරුම කාලයක් ශක්තිමත්ව අල්ලන් හිටිය කෙනෙක් , ඒ කාලය ගැන කතා කරන්න කැමැති ද?
මම ජීවිතේ අමාරුම කාලවල් ගොඩක් පහු කරපු කෙනෙක්. මම නිතරම ලංකාවට එන්න හේතු වුණේ මගේ නංගි අසනීපවීම. මගේ නංගිව එයාගේ හස්බන්ඩ් ඉතාම ආදරෙන් බලා ගන්නවා. මගේ අම්මා තාත්තා බලාගන්න හිටිය එකම කෙනා මම. ඉතින් මම කවදාවත් හිතුවේ නැහැ මටත් මේ වගේ අසනීපයක් එයි කියලා. මොකද මම තමයි පවුලේ හිටිය නිරෝගිම සහ ශක්තිමත්ම ළමයා. ඒ නිසා මම කවදාවත් හිතුවේ නැහැ පිළිකාවක් වගේ ලෙඩක් මට එයි කියලා. මම මේ වයසේ දී මේ වගේ ලෙඩක් හැදෙයි කියලා හිතුවේ නැහැ. මම ලංකාවට ආවේ ටාර්ගට් එකක් ඇතුව. දිගටම කලාවට කාලය යොමු කරන්න අදහස් කරගෙන හිටියේ. දේවි කුසුමාසන හි රඟපාන්න ඉන්නකොට තමයි මේ කැන්සර් තත්ත්වය මම දැන ගත්තේ. ඒකත් එක්ක ලොකු කඩාවැටීමකට මම ලක්වුණා. නමුත් මම මේ දේ එක්ක අවුරුදු දෙකක් ෆයිට් කළා. ආපසු මම නැගිට්ටා. මම මේ දේවල් එක්ක මගේ පවුලේ අය ගැන බලනවා. ඒ වගේම අනෙකුත් පියයුරු පිළිකා රෝගීන් වෙනුවෙන් මම මගේ අත්දැකීම් එක්ක වැඩ කරනවා.
දැන් සම්පූර්ණ සුවෙන් පසුවෙනවද?
මගේ රිපෝට් අනුව නම් දැන් මම සම්පූර්ණයෙන්ම හොඳයි. නමුත් හැම මාස තුනකටම සැරයක් මම පරීක්ෂාවන් කරගන්න ඕනේ. සති දෙකෙන් තුනෙන් ලේ පරික්ෂා කරගන්න ඕනේ. බෙහෙත් තාම මම පාවිච්චි කරනවා.
ඉදිරියටත් නිර්මාණ ලැබුණොත් භාර ගන්නවා ද?
අනිවාර්‌යෙන්ම මම භාර ගන්නවා. මම ජීවිතේ අතහරින්නේ නැහැ කියන තැනට ආවේ කැන්සර් එක හැදුණට පස්සේ. මම කැමැතියි විවිධ චරිත රඟපාන්න. මම ආසයි සිනමාවට. මගේ තුළ තියෙන දක්ෂතාවන් ගන්න පුළුවන් අධ්‍යක්ෂවරයෙක් එක්ක වැඩ කරන්න. මොකද මම දන්නවා මගේ තුළ තියෙන හැකියාවන්. මම කැපවීමෙන් වැඩ කරන කෙනෙක්.
ජීවිතෙ ගැන මොකද හිතෙන්නෙ
ජීවිතේ කියන්නෙම අභියෝගයක්. අභියෝගයෙන් තොර ජීවිතයක් නැහැ කියලයි මට කියන්න තියෙන්නේ. නමුත් Health is wealth මොන අභියෝගවලට මුහුණ දුන්නත් මේ වගේ ලෙඩක් හැදුණම ශාරීරිකව මුහුණදීම තමයි අත්‍යවශ්‍යම. මොකද මෙතනින් වැටුණොත් ආයෙමත් ගොඩ එන්න බැහැ. ගෝල් එක එද්දී බැට් කරන්න ඕනේ. ඒ එක්කම මේ මොහොතේ ජීවත් වෙන්න ඕනේ. මමත් මේක අත්දැකීමෙන් කියන්නේ. මමත් අමාරුවෙන් ගොඩ ආව කෙනෙක්. මොකක් හෝ ප්‍රශ්නයක නම් ඒ ගැන හිතන්න එක වෙලාවක් පමණක් වෙන් කරන්න. ඒ වෙලාවේ විතරක් ඒ ගැන හිතලා අනිත් වෙලාවේ අනෙකුත් වැඩවලට කාලය යොමු කරන්නේ. ජීවිතේ මොනයම් හෝ ප්‍රශ්නයක් නැති කවුරුත් නැහැ. මගේ ජීවිතේ කඩා වැටීම වුණේ කැන්සර් එක එක්ක. ඒ වෙනකම් මම ජීවිතේ ලස්සනට වින්දා.