හැම දෙයක්ම ඕනෑකමින් කැපවීමෙන් කළා -ගයාන් වික්‍රමතිලක

gossiplanka image 2

අපේ කලා ලෝකයේ ප්‍රේක්ෂකයන් අතර නොමැකෙන චරිත රැසකට ජීවය දුන්, අතිශය ජනප්‍රිය රංගන ශිල්පියෙක් තමයි ගයාන් වික්‍රමතිලක. තමන්ටම අනන්‍ය වූ රංග පෞරුෂයක් ගොඩනගාගත් දක්ෂ ප්‍රවීණ රංගන ශිල්පියෙක් වන මොහු රංගනයට අමතරව අධ්‍යක්ෂණයටද පිවිසෙමින් සිය කලා ජීවිතය අලුත් කරමින් සිටී. ඔහු සමග ‘හාට්’ අපි කළ කතාබහ මෙසේ දිගහැරෙයි.Sri Lanka Latest News


මේ දවස්වල ඔබේ කලා කටයුතු කොහොමද?

ලොකු කාර්යබහුලත්වයකුත් නැහැ. නමුත් මේ දිනවල රූගත කිරීම් කටයුතු කිහිපයකට සම්බන්ධ වෙනවා. මේ දිනවල විකාශනය වන ටෙලිනාට්‍ය කිහිපයක රූගත කිරීම්වලටත්, ඉදිරියේදී විකාශනය වීමට නියමිත ටෙලිනාට්‍ය කිහිපයක වැඩකටයුතු කරගෙන සතුටින් ඉන්නවා.

ඔබේ ආදරණීය පවුලේ විස්තර ටිකකුත් කියමුද?

මගේ පවුලේ මමයි, චතුරිකයි, ඒ වගේම මගේ චූටි දුව ආරාධනා තමයි ඉන්නේ.

මේ වනවිට ඔබ රංගන කටයුතු කළ චරිත අතරින් ඔබේ හදවතට සමීපතම චරිත ගැන කතා කළොත්?

හැම චරිතයක්ම ඕනෑකමින් සහ කැපවීමෙන් කරලා තියෙනවා. ඒ අතරින් ගොඩක්ම හදවතට දැනිච්ච චරිත කිහිපයක් ගැන කියනවා නම්, ළඟදී සම්බන්ධ වුණු කඩහපොළ හාමුදුරුවන්ගේ චරිතය. ‘කියාදෙන්න ආදරේ’ ටෙලි ඩ්‍රාමා එකේ සීසර් වසන්තගේ චරිතය. ‘බොඳ මීදුම්’ ටෙලි ඩ්‍රාමා එකේ සාවීගේ චරිතය. ‘සේපාලිකා’ ටෙලි ඩ්‍රාමා එකේ පහන්ගේ චරිතය. මේ වගේ චරිත කිහිපයක් මගේ හදවතට සමීපයි.


ඔබේ රංගන ගමන තුළ දැවැන්ත සෙවණැල්ලක් වූ, ඔබට ශක්තියක් වූ පුද්ගලයන් ගැන මතක් කළොත්?

එහෙම පුද්ගලයෙක් තමයි, මහේන්ද්‍ර පෙරේරා අයියා. මගේ කලා ගමනට ලොකුම ශක්තිය වුණේ ඔහු. 2003දී මහේන්ද්‍ර පෙරේරා අයියා රංගනය පිළිබඳ වැඩමුළුවක් සිදුකළා. මම ඒකට සහභාගි වුණා. ඊට පසුව ඔහුගේ ගුරු හරුකම් එක්කම අද වනවිට යාළුවෙක්, සහෝදරයෙක් වගේ ඔහුව මම ඇසුරු කරනවා. කලා ජීවිතය තුළ නළුවෙක් විදිහට ඉදිරියට යන්න ඔහුගේ ශක්තිය මට ලොකු උදව්වක් වෙලා තියෙනවා.

ඔබ මේ වනවිට රංගනය අභිබවා අධ්‍යක්ෂණයට පිවිසිලාද?

ඔව්, අධ්‍යක්ෂණ කටයුතුවලට පිවිසිලා ඉන්නේ. මම අධ්‍යක්ෂණය කළ ‘සහේලි’ ටෙලිනාට්‍යය හිරු නාලිකාව ඔස්සේ විකාශය වුණා. ඒ වගේම ‘එක රෑනේ කුරුල්ලෝ’ කියන්නෙත් මගේ අධ්‍යක්ෂණයක්. මේ දවස්වලත් අලුත් පිටපතක වැඩකටයුතු කරන්න සූදානම් කරගෙන ඉන්නවා.

ප්‍රවීණ රංගන ශිල්පියෙක් ලෙස ජීවිතය දිහා ආපස්සට හැරිලා බලන විට ආපු ගමන ගැන සතුටු වෙන්න පුළුවන්ද?

ඇත්තටම ආපු ගමන ගැන ලොකු සතුටක් තියෙනවා. මොකද මගේ ජීවිතයේ අම්මලා තාත්තලා කවුරුත් කලාවට සම්බන්ධ නැතුව මම කලාකරුවෙක් විදියට යම්කිසි දෙයක් ගොඩනැඟිලා තියෙනවා නම්, ඒ දිහා ආපහු හැරිලා බලද්දි, මම වැඩ කරපු කලා නිර්මාණ ගැන, මම ඇසුරු කරපු පුද්ගලයෝ ගැන හිතනකොට, ඒ සියලු දේ ගැන බලද්දි මම සතුටු වෙනවා. මට මම වෙනුවෙන් දෙයක් වගේම කලාකරුවෙක් විදිහට යම් දෙයක් කරන්න හම්බවෙලා තියෙනවා නම්, ඒ ගැන මට සතුටු වෙන්න පුළුවන්.

ඔබේ කලා ජීවිතයේ ලැබුණු වටිනාම ජයග්‍රහණය මොකක්ද?

ධර්මසිරි පතිරාජ මහතාගේ නිර්මාණයක් වන ‘සක්කාරං‘ චිත්‍රපටයේ රංගන කටයුතුවලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. මට ඒකෙන් සම්මානයක් ලැබුණා. ධර්මසිරි පතිරාජ වගේ ප්‍රවීණයෙක් එක්ක වැඩ කරන්න ලැබුණු එක මම ලබපු ලොකු ජයග්‍රහණයක්.

ඉදිරි වැඩකටයුතු ගැන කතා කරලම, අපේ කතාබහ අවසන් කරමු?

මගේම නිර්මාණයක් අධ්‍යක්ෂණය කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. තව භාරගත්ත තේමා නිර්මාණ කිහිපයක වැඩකටයුතු තියෙනවා. ඒ වගේම ටෙලිනාට්‍ය කිහිපයකුත් ඉදිරියට එන්න තියෙනවා. මගේ නිර්මාණය අධ්‍යක්ෂණය කරන්න ගොඩක් උනන්දුවෙන් ඉන්නවා. ඒ ටික තමයි මගේ ඉදිරි වැඩ කටයුතු.

gossiplanka image 1
Previous Post Next Post