සිනමාවේ මෙන්ම ටෙලි නාට්‍යවල ඇතැම් චරිත වසර ගණනාවක් ගියත් ප්‍රේක්ෂක මතකයෙන් ගිලිහී නොයන්නේය. ඒවා ප්‍රේක්ෂකයන්ගේ සිත්හි කිඳා බැස පවතින්නේ සිතා ගැන්මටත් අසීරු ලෙසිනි. ‘ දූ දරුවෝ‘ ටෙලි නිර්මාණයේ ‘දීප්ති‘ගේ චරිතයද අදටත් ප්‍රේක්ෂකයන්ගේ සිත්හි පැලපදියම් වී ඇති චරිතයකි. එදා යෞවනියකගේ චරිතයට පණ පෙවූ නිල්මිණී තෙන්නකෝන් අද රසඳුන හා එක්වන්නී ය.
හිරු කුමරු වගේම චංචල රේඛා ටෙලි නාට්‍යවලින් අදත් ඔබගේ රංගනයන් ප්‍රේක්ෂකයන්ට දකින්න පුළුවන්. කොහොමද මේ දිනවල කටයුතු.
තරමක් කාර්යබහුලයි. හිරු කුමරු හා චංචල රේඛා ටෙලි නාට්‍යයන්ගේ රූගත කිරීම්වලට සහභාගි වනවා වගේම තිළිණ බොරලැස්සගේ චිත්‍රපටයක රූගත කිරීම් නිම වුණා. මේ මාසෙ අලුත් චිත්‍රපටයක වැඩ පටන් ගන්නවා. එහි රූගත කිරීම් මේ වන විට ආරම්භ වී තිබෙනවා.
ඔබ ශ්‍රී ලංකන් මධුරි ඩික්සිත් වුණේ කොහොමද?
ඒක හරි අපූරු වගේම, අහඹු සිද්ධියක්. මධුරි ඩික්සිත්ගේ පළමුවැනි චිත්‍රපටය රූපවාහිනියේ පෙන්වන කොට අපේ ගෙදර ටීවී එකක් තිබ්බේ නැහැ. මමයි නංගියි රූපවාහිනිය නැරඹුවේ ළඟ තියෙන ගෙදරකින්. දවසක් නංගි දුවගෙන ඇවිත් කිවුවා “අක්කේ ඔයා වගේම නිළියක් ඉන්දියාවේ චිත්‍රපටවල ඉන්නවා කියලා”. එහෙම කියලා එයා මාවත් ඇදගෙන ඒ ගෙදරට ගියා. ඇත්තටම මධුරි ඩික්සිත්ව දැක්කම මටත් එහෙමම හිතුණා. ඒ වෙනකොට රංගන ශිල්පිනියක් වීමේ ආසාව මගේ හිතෙත් දලු දමමිනුයි තිබුණෙ.
ඒ නිසාම මේ නිළිය වගේම මටත් දවසක නිළියක් වෙන්න තිබුණානම් කියලා ඒ වෙලාවේ මට හිතුණා. පසු කාලයේ ඒ සමානකම ගැන මුලින්ම පත්තරේක ලිව්වේ අර්නස්ට් වඩුගේ මහත්තයයි.
“පුංචි තිරයේ නිළි රැජින ඉන්දියාවේ- මධුරි ඩික්සිත් ලංකාවේ නිල්මිණි‘ කියලා ඔහු පත්තරේ හෙඩිමෙහි සඳහන් කර තිබුණා. ඒ සමානකම දවසක මට අවාසියක් වෙයි කියලත් සමහරක් අය කිවුවා. නමුත් එය මාව හඳුන්වා දෙන නාමයක් නොවන නිසා එය ගැටලුසහගත තත්ත්වයක් වෙයි කියලා මට හිතෙන්නෙ නැහැ. ටික කාලෙකට පසුව මධුරි ඩික්සිත් ලංකාවට ආපු වෙලාවේ මට ඇයව මුණගැසෙන්න අවස්ථාව ලැබුණා. ඒ හමුවීම මට හීනයක් හැබෑ වුණා වගේයි. මධුරිත් මාව දැක්කම ටිකක් තිගැස්සුණා කියල මම දැක්කා. ඉන්පසු මගේ ඡායාරූප ඇයට කියලා අත්සන් කරගත්තා.
මධුරිගේ පෙනුමට බොහෝ සමානකම් ඇති මගේ එක පොටෝ එකක් එයා ඉල්ලගත්තා. අපේ ලොකුම සමානකමක් තියෙන්නේ හිනාවෙ කියලයි මට නම් හිතෙන්නේ.
ඔබ එක රැයෙන් ජනප්‍රිය වුණු රංගන ශිල්පිනියක්. වර්තමානයේ එවැනි රංගන ශිල්පීන් සුලභ වුණත් ඔවුන්ගේ පැවැත්ම කෙටිකාලීනයි. තරුවක් විදිහට හැමදාම වැජඹෙන්න ඔබ කරපු මැජික් එක මොකද්ද?
රඟපෑම රඟපාන්නන් වාලේ කරන්න බැහැ. අපි රඟපාන්නේ මේ ලෝකයේ ජීවත්වන යම් චරිතයක්. ඒ නිසා අපි චරිතයක් නිරූපණය කරනවා නම් එය හොඳින් අධ්‍යයනය කර රඟපෑම අත්‍යවශ්‍යයි. ඒ වගේම රංගන පරාසය මුලින්ම ගොඩනඟා ගත යුතුයි. අප යම් නිර්මාණයකට දායක වෙනවා නම්, අපේ චරිතය විතරක් කරලා පැත්තකට වෙන්න බැහැ. රංගනය කියන්නේ කණ්ඩායම් ක්‍රියාකාරකමක්. එයට අධ්‍යක්ෂකවරයා, නිෂ්පාදකවරයා, කැමරා අධ්‍යක්ෂවරයා, කලා අධ්‍යක්ෂවරයා අනෙකුත් රංගන ශිල්පීන් ඇතුළු සෙසු සියලු දෙනාම ඇතුළත් වෙනවා. මම රංගනයට පිවිසුණේ ප්‍රවීණයන්ගේ ගුරුහරුකම් හා ඔවුන්ගේ ඇසුර තුළයි. ඒ නිසා රඟපෑම වගේම කලා ක්ෂේත්‍රයේ රැඳෙන්න අවශ්‍ය කොහොමද කියල එයාලා මට කියා දුන්නා. ඒ ලැබූ අත්දැකීම් එක්ක මගේ ප්‍රමිතිය මම හදාගත්තා.
මාගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට මම ගොඩක් නිහතමානී වුණා. ඒ වගේම වාසනාවත් එයට තිබිය යුතුයි කියා මම විශ්වාස කරනවා. අපේ පැවැත්ම රඳා පවතින්නේ අපි සමාජයත් එක්ක ගනුදෙනු කරන ආකාරය මතයි.
හොඳ වෙලාවට අපේ කාලේ ටික් ටොක් තිබ්බෙ නැත්තේ. අපේ කාලයේ අපි ප්‍රේක්ෂකයන් අතරට යන්නේ සතියකට සැරයයි හෝ දෙකයි. ඒ දවස වෙනකන් මිනිස්සු ඒ නාට්‍ය බලන්න ඇඟිලි ගනිමින් ඉන්නවා. නමුත් වර්තමානයේ සමාජ මාධ්‍ය හරහා එකී තත්ත්වය නැතිවෙලා. ඔවුන් දිනපතාම මිනිසුන් දකින, අහන නිසා ඒ මූණ, ඒ පෙනුම, ඒ කටහඬ, ප්‍රේක්ෂකයන්ට සාමාන්‍යකරණය වෙලා. ඒ නිසාම ප්‍රේක්ෂකයන්ට ටික කාලෙකින් එකී රංගන ශිල්පීන් සාමාන්‍ය පුද්ගලයන් වෙනවා වෙන්න පුළුවන්. ඇත්තටම රංගනය කියන්නේ මොළෙන් ගහන්න ඕන ගේමක්.
දීප්තිගේ චරිතය තුළින් ඔබගේ රංගන ජීවිතය උඩුයටිකුරු වුණා කිව්වොත්..
දීප්තිගේ චරිතය මගේ රංගන ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය වුණා ඒක හරි. ඒ චරිතයේදී මගේ සුන්දරත්වය හෝ ලස්සනවත් ඉස්මතු වෙන්න දුන්නේ නැහැ. නමුත් මිනිස්සු ඒ චරිතය වැලඳ ගත්තා වගේම සදාතනික චරිතයක් බවට පත්කළා. ඒ මැජික් එක තිබුණේ සෝමවීර සේනානායකයන්ගේ පිටපතෙයි. ඒ වගේම නාලන් මෙන්ඩිස් මහත්මයාගේ අධ්‍යක්ෂණයේ ආලෝකයත් එයට ලැබුණා. අදටත් මම මිනිස්සුන්ට නිල්මිණී ලෙස සමීප නැහැ. ඔවුන් අදටත් මට ආමන්ත්‍රණය කරන්නේ දීප්ති කියලයි. ඒ වගේම දිය සුළියේ සරෝජනීගෙ චරිතයත් ඒ තරමටම මිනිසුන් වැලඳ ගත්තා. එකී නිර්මාණයි රංගන ජීවිතේ මාව මේ තරම් දුරක් රැගෙන ආවේ.
පුංචි තිරේ කඳුළු බිංදුව කියන ආමන්ත්‍රණය ඔබට ලැබුණේ කොහොමද?
දූ දරුවො ටෙලි නාට්‍යයේ එක් සිද්ධියක් නිසයි මට ඔය නම වැටුණේ. ඒ චරිතය තුළ මගේ ස්වාමිපුරුෂයා (නිහාල්) මිය යනවා. දීප්ති කියන්නේ රැඩිකල් චරිතයක්. ගලක් වගේ ඉන්න ගැහැනියකට වුණත් හදවතට දැනෙන යම්කිසි තැනකදී ඇඬෙන්න පුළුවන් නේද කියලා මම සෝමවීර මහත්මයාගෙනුයි නාලන් මෙන්ඩිස් මහත්මයාගෙනුයි ඇසුවා. ඔවුන් ඒ මොහොතේ මට දැනෙන හැඟීම තුළ රංගන කාර්යය කරන්න උපරිම නිදහස ලබා දුන්නා. එම චරිතයට ඒ මොහොතේ දැනෙන හැඟීම මටත් ඒ වගේම දැනුණා. මම ඒ චරිතයට කොතරම් අනුගත වුණාද කිවහොත් පුංචි තිරයේ ඒ නාට්‍ය බලපු හැමෝම එදා ඇඬුවා. වත්තල ප්‍රදේශයේ ප්‍රේක්ෂකයකුට ඒ සිද්ධිය නිසා හෘදයාබාධයක් පවා ඇතිවුණා. එක රැයකින් දීප්ති මුළු ලංකාවම ඇඬෙව්වා කියල ඒ දවස්වල පත්තරවල පළ වුණා. පුංචි තිරයේ කඳුළු බිංදුව වුණේ ඔන්න ඔහොමයි.
නිල්මිණි තෙන්නකෝන් කියන්නේ ෆැෂන් අයිකන් එකක්. ඒ නිසාම ඔබ ඕනෑම තැනක කැපිලා පේනවා. කොහොමද ඒ දක්ෂතාවය ඔබට ලැබුණේ.?
මට ඒ ආභාසය ලැබුණේ මගේ පියාගෙන්. ඔහු හරිම පිළිවෙළට වැඩ කරන මනුස්සයෙක්. ඒ වගේම ඔහුටම ආවේණික විලාසිතාවක් තිබුණා. මම පොඩි කාලේ ඉඳලා මගේ තාත්තගෙ ඒ වෙනස දැක්කා. පුංචි කාලේ ඉස්කෝලේ යනකොට තාත්තා අපේ සපත්තු හෝදලා දෙන්නෙ මූණ පේන්න වගේ. ඒ වගේම ටයි ගැටේ දාන්න කියලා දුන්නෙත් ඔහුයි. ඒ පිළිවෙළ වගේම විලාසිතාවලටත් මගේ ලොකු රුචිකත්වයක් තිබුණා. ඒ නිසාම මම මැහුම් පාඨමාලාවල් වලට සම්බන්ධ වෙලා මැහුම් ඉගෙන ගත්තා. ෆැශන් ඩිසයිනින් ඉගෙන ගන්න ඒ කාලෙ ආයතන වගේම පහසුකම් තිබුණෙ නැති වුණත් මම ඒ ගැන හොයමින් ඉගෙනගත්තා. ඒ නිසා මම දකින දකින විලාසිතා කරන්නේ නැහැ මගේ ඇඟට ගැළපෙන, මගේ හැඩයට ගැළපෙන ඇඳුම් හැමතිස්සෙම මම තෝරගන්න මහන්සි වෙනවා. ඒ වගේම යුනික් ඇඳුම් තෝරාගන්නත් මම ලොකු වෙහෙසක් දරනවා.
ඔබගේ දියණිය ගැන දැනගන්නත් ප්‍රේක්ෂනයෝ කැමැති ඇති ඇය ගැනත් විස්තර කළොත්…
දුව විදේශ රටක උසස් අධ්‍යාපනය ලබනවා. එහි අධ්‍යාපන කටයුතු නිම කරන්න තවත් කාලයක් ගත වෙනවා. දුව ගැන කතා කරද්දි මම ගොඩක් සංවේදී වෙනවා. ඇත්තටම දුවගෙ ඈත්වීම මට දරාගන්න අමාරුයි. ඒ නිසාම විවේකයක් ලැබුණු සැණින් සල්ලි එකතු කරගෙන මම එයා බලන්න යනවා. එයා තමයි මගේ එකම අනාගත බලාපොරොත්තුව. ඒ වගකීම තාමත් ඉවර නැහැ. ඉදිරියේදීත් මේ වගේම මම දුවත් එක්කම ඉන්නවා.