Tv දෙරණ නාලිකාවේ විකාශය වන හිතාගන්නම බැරි කතාවක් තුළින් නයෝමි පෙරේරා මේ දවස්වල ප්‍රේක්ෂකයො අතරට ඇවිත් ඉන්නවා. විශේෂත්වය වන්නේ හිතාගන්නම බැරි කතාවක් අධ්‍යක්ෂණය කරන්නේ නයෝමිගේ සැමියා බුද්ධික සේමසිංහ වීමයි. ඉතින් සැමියා අධ්‍යක්ෂණය කරන ටෙලිනාට්‍යයක රඟපාන්න ලැබීම ගැන නයෝමි එක්ක කතා කරන්න අපි හිතුවා.
හස්බන් අධ්‍යක්ෂණය කරන "හිතාගන්නම බැරි කතාවේ" රඟපාන්න ලැබුණ අත්දැකීම කොහොමද ?
මගේ හස්බන්ඩ් බුද්ධික සේමසිංහ "හිතාගන්නම බැරි කතාව" අධ්‍යක්ෂණය කළත් මට ටෙලිනාට්‍යයේ රඟපාන්න අවස්ථාව දුන්නෙ නැහැ. නමුත් හිතාගන්නම බැරි කතාවේ සුදු අයියගේ නංගිගේ චරිතය රඟපාන්න රංගන ශිල්පිනියක් ගන්න අවශ්‍යවීමත් එක්ක ඒ වෙනුවෙන් මාව ගන්න කියලා කැමරා අධ්‍යක්ෂවරයා ඇතුළු නිෂ්පාදක කණ්ඩායම බුද්ධිකට යෝජනා කරලා තිබුණා. ඉතින් ඒ යෝජනාව සැලකිල්ලට අරගෙනයි බුද්ධික මාව හිතාගන්නම බැරි කතාවට එකතු කරගත්තෙ.
බුද්ධික අධ්‍යක්ෂණය කරන ටෙලිනාට්‍යවලට නයෝමිව ගන්නෙ නැත්තෙ ඇයි ?
නිර්මාණවලට වයිෆ්ව අරගෙන ප්‍රසිද්ධ කරවන්න වුවමනාවක් බුද්ධිකට නැහැ. මමත් එවැනි අවශ්‍යතාවයක් බුද්ධිකගෙන් බලාපොරොත්තු වෙන්නෙ නැහැ. බුද්ධිකගේ නිර්මාණයකට මම සම්බන්ධ වුණත් යම්කිසි සීමාවක් ඇතුවයි සම්බන්ධ වෙන්නෙ.
නයෝමිට මුලින්ම බුද්ධිකව හම්බවුණේ කොහොමද ?
නිරූපණ තරගයක් වෙනුවෙන් බුද්ධික නිලමෙ කෙනෙක්ට ඇඳලා ඉද්දියි මට මුලින්ම හම්බවුණේ. මමත් ඒ නිරූපණ තරගයේදි මනමාලියකට ඇඳලා හිටියා. නිරූපණ තරගයකට නිලමෙ කෙනෙකුයි මනමාලියකටයි ඇඳලා හිටපු අපි දෙන්නා එතනදි හම්බවෙලා දැන අඳුරගෙන කතාබහ කරලා යාළුවො වුණා. කාලයක් යද්දි යාළුකම ආදරයකට පෙරළුණාට පස්සෙ අපි දෙන්නා ඇත්තටම නිලමෙටයි මනමාලිටයි ඇඳලා විවාහ වුණා.
සැමියා විදිහට බුද්ධිකව දැනෙන්නෙ මොන විදිහටද ?
හැමදෙයක් ගැනම සංවේදීව හිතනපතන හිත හොඳ මනුස්සයෙක් විදිහටයි මම බුද්ධිකව දකින්නෙ. පවුල් ජීවිතයක් ගතකරනකොට සාමාන්‍යයෙන් ඇතිවන ප්‍රශ්න අපි අතරත් තියනවා. හැබැයි කලාව එක්ක කටයුතු කරන සංවේදී පුද්ගලයො විදිහට අපිට ඒ ප්‍රශ්න වැඩි අඬදබර කරගන්නෙ නැතුව විසඳගන්න පුළුවන්වෙලා තියනවා.
නිර්මාණකරණයෙදි කර්යබහුල වුණහම බුද්ධිකට මාත් එක්ක කතාකරන්නවත් බැරිවෙන දවස් තියනවා. හැබැයි බුද්ධිකට නිදහස් වෙලාවක් ලැබුණ ගමන් මම ගැන හොයලා බලලා පවුලෙ වෙනුවෙන් කරන්න ඕන යුතුකම් ඉෂ්ට කරනවා. ඒ දේවල් තේරුම් අරන් දරාගෙන මට පුළුවන් උපරිම සහයෝගය බුද්ධිකට හැම අවස්ථාවකදිම දෙනවා.
අධ්‍යක්ෂවරයෙක් විදිහට බුද්ධික ගැන නයෝමිගේ අදහස මොකක්ද?
මම බුද්ධිකගේ වයිෆ් වුණාට හිතාගන්නම බැරි කතාවක් දර්ශන තලයේදි බුද්ධිකගේ අධ්‍යක්ෂණය යටතේ රඟපාන නිළියක් විදිහටයි කටයුතු කරන්නෙ. ඉතින් තමන්ගේ හස්බන්ගෙන් රංගනය ගැන ගුරුහරුකම් ලබමින් ඔහු යටතේ රඟපාන්න ලැබීම මට අපූරු අත්දැකීමක් වෙලා තියනවා. හිතාගන්නම බැරි කතාවේදි වෙනත් නළුවො එක්ක ආදර ජවනිකා මට රඟපාන්න තියනවා. ඉතින් බුද්ධික බලා ඉද්දි එවැනි ආදර ජවනිකා රඟපෑම මට අභියෝගයක් වුණා. රඟපෑමට වුණත් මම තව කෙනෙක් එක්ක ආදරය කරනවා දැකීම සමහරවිට බුද්ධිකටත් අභියෝගයක් වෙන්න ඇති.
බුද්ධික කලා ක්ෂේත්‍රයේ ඉන්න නිසා නයෝමිට ලේසියෙන්ම ක්ෂේත්‍රයේ ඉස්සරහට යන්න පුළුවන් නේද ?
බුද්ධික කලා ක්ෂේත්‍රයේ තිර රචකයෙක් අධ්‍යක්ෂකවරයෙක් විදිහට කටයුතු කිරීමත් සමග ක්ෂේත්‍රය තුළ මට යම් වරප්‍රසාද හිමිවෙලා තියනවා. හැබැයි ඒ කිසි දෙයක් අවභාවිත කරන්නෙ නැතුව මගේ හැකියාවෙන් තනියම ගමනක් යන්නයි මට ඕන. රංගනය සම්බන්ධයෙන් උපදෙස් ලබාදීම සහ ක්ෂේත්‍රයේ වැඩකරන්න ඕන විදිහ ගැන බුද්ධික කියලා දෙනවා. ඒ දේවල් තුළින් රංගන හැකියාව දියුණු කරගෙන ක්ෂේත්‍රයේ ඉස්සරහට යන ගමනකයි මම ඉන්නෙ.
රංගන ශිල්පිනියක් විදිහට ආපු ගමන ගැන අදහස මොකක්ද ?
මම රංගන ක්ෂේත්‍රයට ආවෙ 2021 වසරෙදි. එදා ඉඳලා අද වෙනකන් ටෙලිනාට්‍ය 15 ක පමණ එකිනෙකට වෙනස් විදිහෙ චරිත මට රඟපාන්න ලැබුණා. නමුත් මගේ චරිතාංග රංගන හැකියාව ප්‍රේක්ෂකයන්ට ඉදිරිපත් කරන්න පුළුවන් විදිහෙ ප්‍රබල චරිත තාම මට ලැබුණෙ නැහැ කියලා අදහසක් තියනවා. ඉතින් ප්‍රබල චරිතයකින් ප්‍රේක්ෂකයන්ට හොඳ රසවින්දනාත්මක අත්දැකීමක් ලබාදීලා සම්මානනීය නිළියක් දක්වා යන හීනය මට තියනවා. ඒ හීන සැබෑ කරගන්න ඉවසීමෙන් සහ කැපවීමෙන් කටයුතු කරනවා.
නයෝමි විසේකාරි ටෙලිනාට්‍යයේ රඟපාන චරිතය ගැන මේ දවස්වල කතාබහට ලක්වෙලා තියනවා...
ඔව්. විසේකාරී ටෙලිනාට්‍යයේ ආකර්ෂණීය හැසිරීමක් තියන විශ්වවිද්‍යාලයීය කථිකාචාර්යවරියකගේ චරිතයක් මම මේ දිනවල රඟපානවා. මගේ පෞද්ගලික ප්‍රතිරූපයට හානිකරගන්නෙ නැතුව රංගන කටයුතු කරන්න මම නිතරම වගබලාගන්නවා. ඉතින් විසේකාරි ටෙලිනාට්‍යයේදි ආකර්ෂණීය දෙබස් සහිත චරිතයක් රඟපෑමෙන් මගේ ප්‍රතිරූපයටවත් විශ්වවිද්‍යාල ගුරුවරුන්ගේ කීර්ති නාමයටවත් හානිවෙන්න දෙන්නෙ නැතුව සීමාවක් ඇතුව රඟපාන්න මම නිර්මාණකරුවො සමග කතාකරගෙන තීරණය කරලා තියනවා.
සැබෑ ජීවිතයේ නයෝමි මොන විදිහෙ කෙනෙක්ද ?
රූගතකිරීම් කරන වෙලාවට අනිත් නළු නිළියො එක්ක සමාජශීලිව කටයුතු කළාට පෞද්ගලික ජීවිතයේදි නිහඬව සරල විදිහට ගතකරන්නයි මම පුරුදුවෙලා ඉන්නෙ. රූගතකිරීම් නැතිවෙලාවට ගෙදර වැඩටික කරගෙන බල්ලො දෙන්නව හුරතල් කරගෙන පාඩුවෙ නිහඬව ඉන්නයි මම වැඩිපුර කැමැති.