
රංගන ශිල්පියෙක් වෙන එක පහසු නෑ වගේම එහි රැඳී ඉන්න එක ඊටත් වඩා අපහසුයි. ඒ අතරිනුත් දශක කිහිපයක් පුරාම නොවෙනස්ව ප්‍රේක්ෂක ආදරය දිනා ගනිමින් ක්ෂේත්‍රයේ රැඳී ඉන්නේ අතිශය සුළු පිරිසක්. චන්දික නානායක්කාර කියන්නේ ඒ වගේ දුර්ලබ ගණයේ රංගන ශිල්පියෙක්. ඔහු රංගනයට ආ දිනයේ පටන් අද වන තෙක්ම ප්‍රේක්ෂක ආදරය නොඅඩුව ලබමින් ක්ෂේත්‍රයේ රැඳී ඉන්නේ දක්ෂකම සමඟින් ගෙන ආ නිරහංකාරකම නිසා. මෙවර හදගැස්ම අපි ඔහුත් සමඟින් අලුත්ම තොරතුරු කතා කරන්නට හිතුවා. මේ දවස්වල කලා කටයුතු ගැන කියලම ඉමු?
මේ දවස්වල සුපුරුදු පරිදි ටෙලි නාට්‍යවල වැඩකටයුතු කරගෙන ඉන්නවා. මේ දිනවල මම සම්බන්ධ වෙලා ඉන්න ටෙලි නාට්‍ය කිහිපයකම රූගත කිරීම් තිබෙනවා. ඒවාට සම්බන්ධ වෙනවා. ඊට අමතරව අපේ ප්‍රවීණ රංගන ශිල්පි ජගත් බෙනරගම අධ්‍යක්ෂණය කරන “ඔබ සහ මම” කියන ටෙලි නාට්‍යයේ රූගත කිරීම් සිදුවෙනවා. ඒකත් අපේ ප්‍රේක්ෂකයන්ට ඉතාමත් ඉක්මනින් දකින්න ලැබෙයි.
මාරක සර්කස්හි ඔබේ විදුහල්පති තාත්තගේ භූමිකාව මේ දිනවල බොහොම ජනප්‍රියයි.
මම පෙම්වතාගේ චරිතය රඟපාමින් සිටියදී, ඉතාමත් ඉක්මනින් තාත්තාගේ චරිතය රඟපාන්න ආරාධනා ලැබුණා. ඒ අතරින් අතිශය ප්‍රසිද්ධ වුණු තාත්තා කෙනෙක් තමයි ස්වාධීන රූපවාහිනියේ විකාශය වුණු අමා ටෙලි නාට්‍යයේ තාත්තාගේ චරිතය. ඒ අතර මෑත කාලයේදි සේනාන් විමලවීර අධ්‍යක්ෂවරයා ඔය චරිතයට ආරාධනා කරාම මම ඒකට සම්බන්ධ වුණා. ඒ ටෙලි නාට්‍ය සීමිත කොටස් ගණනකින් යුතු නිර්මාණයක්. ඇත්තටම ඒ තාත්තගේ චරිතය ගැන කිව්වම මට පොඩි ආසාවකුත් ඇති වුණා. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනෑ මේ ටෙලි නාට්‍යය කරන්නේ තරුණ පිරිසක්. ඔවුන් විශ්වවිද්‍යාලව ජන මාධ්‍ය වගේ විෂයන් හදාරන පිරිසක්. අධ්‍යක්ෂවරයාත් බොහොම තරුණ කෙනෙක්. මෙතැනදි කියන්න ඕන මගේ තාත්තත් විදුහල්පතිවරයෙක්. නමුත් ඔහුගේ චරිතය ඔය මම රඟදක්වන චරිතයට වඩා හාත්පසින් වෙනස්. මාරක සර්කස්හි ඉන්න තාත්තලා වගේ අය දැනටත් ඉන්නවා. එහෙම තාත්තලා අම්මලා අද සමාජයේත් ඉන්නවා. මේ තාත්තා මොනතරම් සාම්ප්‍රදායික වුණත්, සමහර ප්‍රේක්ෂකයන් ඔවුන්ගේ ඒ හැසිරීමට හිනා වෙන ගමන් තමයි මේ නාට්‍යය බලන්නේ. මේ පවුල නිසාම නාට්‍යය බලනවා කියන ප්‍රේක්ෂකයනුත් ඉන්නවා.
එක චරිතයකින් ජනප්‍රිය වුණාට පස්සේ දිගටම එවැනි චරිතවලට කොටු කිරීම රංගන ශිල්පීන්ට මොනතරම් අවාසිදායකද?
එහෙම එකක් ඇත්තටම තියෙනවා. කවුරුන් හෝ ශිල්පියෙක් එක චරිතයක් සාර්ථකව කරලා ඒක ජනප්‍රිය වුණාට පස්සේ දිගටම ඒ චරිතය මතකයට එන, එවැනිම චරිතවලට තෝරාගන්නා ස්වභාවයක් තියෙනවා. ඇත්තටම ඔය රාමුවකට කොටු වීමෙන් පිටට පනින එක හරි අමාරුයි. ඒකට එක හේතුවක් තමයි අපි වෘත්තීමය රංගන ශිල්පීන් වීම. වෘත්තීමය රංගන ශිල්පීන් ජීවත් වෙන්නේ රංගනයෙන්. එතැනදි, ඔවුන්ට එකම ආකාරයේ චරිත නම් ලැබෙන්නේ ජීවත් වීම සඳහා ඒ චරිත කරන්න වෙනවා. නමුත් මේක එකිනෙකාට සාපේක්ෂයි. මම පෙම්වතාගේ චරිතය කර කර ඉද්දි තමයි මට තාත්තාගේ චරිතය ලැබෙන්නේ. ඊට පස්සේ ආයේ කවදාවත් පෙම්වතාගේ චරිතය ලැබුණේ නැහැ. කොහොම වුණත් එතැනදි ඒ ලැබෙන එකම භූමිකාව ඇතුළේ විවිධාකාර චරිත ලක්ෂණ හෝ මතු කරන්න මම උත්සාහ කරනවා. එතැනදි ඕන නම් අපිට පුළුවන් කියන්න මම එහෙම කරන්නේ නෑ. වෙනස් චරිත විතරයි කරන්නේ කියලා. නමුත් මේක අපේ රැකියාව නිසා එහෙම උඩුගං බලා පීනන්න බැහැ.
අතීතයේදි රංගන ශිල්පියෙක් වීමට විශාල පරිශ්‍රමයක් දරන්න සිදු වුණත්, අද වෙද්දි ඒක ඉතාමත් පහසු වෙලා?
අපි ජංගම දුරකථනයක් නැති කාලයේ තමයි ක්ෂේත්‍රයට ආවේ. එතැනදි අපිට අද වගේ පහසුවෙන් ක්ෂේත්‍රයට එන්න පුළුවන්කමක් තිබ්බේ නැහැ. අපිට සිද්ධ වුණා කොහෙන් හෝ රංගනය ඉගෙනගන්න. රංගනයට ආවට පස්සේ මට තේරුණු දෙයක් තමයි මේක ආවට ගියාට නියැළෙන්න පුළුවන් ක්ෂේත්‍රයක් නෙවෙයි කියන එක. එතැනදි තමයි මම මහේන්ද්‍ර පෙරේරාගේ රංගන ඇකඩමිය ගැන දැනගන්නේ. ඊට පස්සේ සතිඅන්තේ මම පාන්දර හතරට විතර පැල්මඬුල්ලෙන් බස් එකේ කොළඹ ඇවිත් සෙනසුරාදා, ඉරිදා රංගනය ඉගෙනගෙන ආපහු ඉරිදා හවස ගෙදර යනවා. ඔය අතරතුර මම සෝමලතා සුබසිංහ මහත්මියගේ රංගන පාසලට සම්බන්ධ වෙනවා. ඔය විධියට තමයි අපි මේ විෂය හොයාගෙන ගියේ. ඒ කාලේ දර්ශන තලයකට ගියත් අපි බලන්නේ එතැන ඉගෙන ගන්න තිබෙන දේවල්.
ඒ පරිසරය අදට වඩා වෙනස් ඇති නේද?
දැන් කාලේ වගේ හලෝ මචං අයියා කියලා ඉන්න බැහැ. කොහොමත් ඒ කාලේ එහෙම ඉන්නත් බැහැ. මම ලංකාවේ සිනමාවේ දැවැන්තයෝ සියල්ලම එක්ක රඟපාලා තියෙනවා. අපි මේ ගමන ආවේ බොහොම ඉවසීමකින් සංයමයකින්. අඩුම තරමින් පත්තරේකට කවරයක් දාගන්නත් අවුරුදු ගාණක් ගියා. ඒ කාලේ පිටුවක ආර්ටිකල් එක්ක යන්න අවුරුද්දක් විතර ගියා. නමුත් අද වෙද්දි අද ක්ෂේත්‍රයට එන කෙනෙක්ට හෙට වුණත් සමාජ මාධ්‍ය භාවිත කරලා ජනප්‍රිය වීමට හැකියාව තිබෙනවා.නමුත් ඒ කාලේ අපිට විශාල සංයමයක් තිබිය යුතු වුණා. ඒවා ඉතිං කාලයත් සමඟ සිදු වුණු වෙනස්කම්.
අද වෙද්දි සිනමාවේ විශාල පිබිදීමක් ඇති වෙලා තියනවා ඒ ගැනත් කතා කරමු?
පසුගිය කාලයේ අපේ සිනමාව ඇතුළේ ලොකුවට නිර්මාණ සිදු නොවීම නිසා අපිට සිනමාව ඇතුළේ යමක් කරන්න තිබුණු අවස්ථාව නැති වුණා. නමුත් අද වෙද්දි සිනමාව ඉතාමත් විශාල පිබිදීමකට ලක් වෙලා තියෙනවා. සිනමා ශාලා නැවත වතාවක් ප්‍රේක්ෂකයන්ගෙන් පිරිලා ඉතිරිලා යන්න පටන් ගෙන තියෙනවා. සමහර ප්‍රේක්ෂකයන් එකම චිත්‍රපටය පස් හය වතාවක් බලන මට්ටමට පත් වෙලා තියනවා. ඒකට හේතුව තමයි මිනිස්සු හෝල්වලට ගෙන්න ගන්න පුළුවන් චිත්‍රපට නිර්මාණය වීම. පහුගිය කාලයේ සම්මාන අරබයා නිර්මාණ බිහි වුණාට මිනිස්සු ආකර්ෂණය වෙන බයිස්කෝප් බිහි වුණේ නැහැ. නමුත් අද වෙද්දි ඒ තත්ත්වය වෙනස් වෙලා මිනිස්සු බලාපොරොත්තු වෙන බයිස්කෝප් නිර්මාණ බොහෝ ප්‍රමාණයක් බිහි වෙලා තියනවා. ඒත් එක්කම අද වෙද්දි අපේ සිනමා ශාලාවල මකුළුදැල් කඩලා බිඳලා ඒවා ප්‍රේක්ෂකයන්ගෙන් පිරිලා ඉතිරිලා ගිහින් මේ කර්මාන්තයට හැත්තෑව අසූව දශකයේ වගේ හොඳ කාලයක් ලබලා තියනවා. ඉතිං අපෙත් ප්‍රාර්ථනය මේ තත්ත්වය තව බොහෝ කල් පවතීවා කියන එක.
ඒක දකිද්දි ඔබට මොකද හිතෙන්නේ?
ඇත්තටම ඒ කාලේ අපි හිතුවේ අපේ සිනමාව නැත්තටම නැති වෙයි කියලා. සිනමා ශාලා කීයක් නම් සුපිරි වෙළෙඳසල් බවට පත් වුණාද, ලංකාවේ ප්‍රධාන පෙළේ සිනමා ශාලා කීයක් නම් විකුණුවාද, එහෙම තත්ත්වයක් එක්ක අද මේ සිනමාව ලබලා තියෙන දියුණුව ඇත්තටම කලාකරුවන් විධියට අපිට විශාල සතුටක් ගේනවා. ඇත්තටම සමහර වෙලාවට අපිත් කතාවෙනවා මේ ටෙලි නාට්‍ය කරන එක නවත්තලා චිත්‍රපටයක් කළොත් හොඳයි කියලා. මොකද මේක තමයි වෙලාව. මේ වෙලාවේ ප්‍රේක්ෂකයන් ආකර්ෂණය කර ගන්න පුළුවන් හොඳ නිර්මාණයක් එළියට දානවා නම් ඒක අනිවාර්යයෙන්ම සාර්ථක වෙනවා.
සිනමාවේ විතරක් නෙවෙයි මේ වෙද්දි ටෙලි නාට්‍ය සම්බන්ධයෙනුත් විශාල පිබිදීමක් තියනවා නේද?
පහුගිය කාලයේ සිනමාවට වෙච්ච දේම තමයි අපේ ටෙලි නාට්‍යවලටත් වෙලා තිබ්බේ. එක දිගටම කිසිම ගුණාත්මක තත්ත්වයක් නැති නිර්මාණ එළියට එද්දි අපේ ප්‍රේක්ෂකාගාරය විදෙස් නිර්මාණ බලන්න හුරු වුණා. එතැනදි තමයි නිර්මාණකරුවන් මේ තත්ත්වය අවබෝධ කරගෙන හොඳ පිටපත් ඇසුරෙන් නිර්මාණ කරන්න යොමු වුණේ. ඒකත් එක්ක ලංකාවේ ටෙලි නාට්‍ය රසිකයන් නැවතත් තමන්ගේ රටේ නිර්මාණ බලන්න යොමු වෙලා තියනවා. ඒ තත්වය එක්කම ඇත්තටම අද වෙද්දි නිෂ්පාදකවරු හොඳ පිටපත් හොයනවා නිර්මාණ කරන්න. අද වෙද්දි ප්‍රේක්ෂකයා ඉතාමත් බුද්ධිමත්. ඔවුන් හොඳ නිර්මාණ වැලඳගන්නවා. ඒ නිසා නිර්මාණකරුවන් අතරත් හොඳ නිර්මාණ බිහි කිරීමට විශාල උනන්දුවක් ඇති වෙලා තියනවා.
ඉදිරි නිර්මාණ කටයුතු ගැනත් කතා කරමු?
රූගත කිරීම් කරලා තවම විකාශය නොවූ ටෙලි නාට්‍ය කිහිපයක්ම ඉදිරියේදි එන්න තියෙනවා. දිනවකවානු හරියටම කියන්න බැරි වුණත් ඒවායින් කිහිපයක් හෝ මෑතකදි විකාශය වෙයි කියන බලාපොරොත්තුව තියෙනවා.
