
මෑතකදී සමාජ මාධ්‍ය පුරා වේගයෙන් පැතිර ගිය එක්තරා වීඩියෝවක් බොහෝ දෙනකුගේ හදවත් දිනාගත්තා. සුදු පැහැති රැවුලක් සහ සුදු හිසකෙස් ඇති, සරමක් ඇඳගත් වැඩිහිටි පුද්ගලයෙක් හිතාගන්න බැරි තරම් මිහිරි හඬකින් ගීයක් ගායනා කරනවා. එම වීඩියෝව සති කිහිපයක් ඇතුළත පුදුම සහගත ලෙස ජනප්‍රිය වුණා. බොහෝ දෙනෙක් ඔහු කවුදැයි සොයන්න පටන් ගත්තා. ඒත් සමඟම වසර ගණනාවක් තිස්සේ යටපත්ව තිබූ අතිශය මධුර හඬකට හිමිකම් කී ගාමිණී ජීවරත්න නම් ගායකයා පිළිබඳව තොරතුරු හෙළිදරව් වුණා.
මෙම සොඳුරු කලාකරුවා අසූව දශකයේදී ලාංකික සංගීත ක්ෂේත්රයට පිවිසියේ කැලණිය පුරවරයෙන්. ඔහු ප්‍රවීණ ගී පද රචක කුමාරදාස සපුතන්ත්‍රි සහ සංගීතවේදී රෝහණ වීරසිංහ යන අයගේ නිර්මාණ ඔස්සේ ඉදිරියට පැමිණ තිබෙනවා. “සින්ගි ලංකා” සමාගම විසින් පටිගත කරනු ලැබූ “දොරට වැඩුම” නම් කැසට් පටය තමා ඔහුගේ මංගල කැසට් පටය වුණේ. දීපිකා ප්‍රියදර්ශනී පීරිස් වැනි අය මේ කලා ක්ෂේත්රයට අවතීර්ණ වුණේ ඔහුත් සමඟමයි.
ඔහු ගැයූ “මේ සඳ සෙවණේ නැගී, මේ තරු රැහැනේ රැඳී” යන ගීතය එවක තරුණ හදවත්වලට සමීප වුණා.
“මේ සඳ සෙවණේ නැගී
මේ තරු රැහැනේ රැඳී
සිව් සිය ගව් සුවඳ දී ඇදී
මේ තුරුනිල්ලේ වෙලී”
මෙම ගීතය සහ “පාළොස්වක පුරා හඳට” වැනි ගීත ඔස්සේ ගාමිණී ජීවරත්න තම අනන්‍යතාව නිර්මාණය කරගන්න උත්සාහ කළා. ඔහු ගුවන්විදුලියේ ‘B’ ශ්‍රේණියේ ගායකයකු ලෙස තේරීපත් වුණත්, ඔහුගේ ගමන එතැනින් ඉදිරියට ගියේ නැහැ. ඔහු ගැයූ ගීත සුභාවිත සහ සාම්ප්‍රදායික ගීත ශෛලියට අයත් වීම නිසා ඒවාට වාණිජමය වටිනාකමක් (Commercial Value) ලැබුණේ නැහැ.
ඒ පිළිබඳව මෑත කාලීනව ඔහුගේ මිතුරන් සහ සමීපතමයන් විග්රහ කරලා තියෙනවා. එම යුගයේම ක්ෂේත්රයට පැමිණි එඩ්වඩ් ජයකොඩි වැනි ගායකයන්, ‘කැරකෙන රෝදේ’ වැනි වාණිජමය වශයෙන් සාර්ථක ගීත ඔස්සේ විශාල ජනප්‍රියත්වයක් ලබාගත්තත්, ගාමිණීගේ ගීතවලට එම ඉරණම අත්වූයේ නැහැ.
ආර්ථික අපහසුතා සහ නිසි මඟපෙන්වීමක් නොමැතිවීම නිසා ගාමිණී ජීවරත්නගේ කලා ජීවිතය ක්‍රමයෙන් යටපත් වුණා. ඔහුට ස්වතන්ත්‍ර ගීත නිර්මාණය කිරීමට තිබූ හැකියාව සහ ආත්ම විශ්වාසය හීන වී ගියේ, ඔහු තම ජීවිතය ගැටගසා ගැනීමට අන් අයගේ ගීත ගයන්න පටන් ගැනීමත් සමඟයි.
අන් අයගේ ගීත ගායනා කිරීම නිසා ඔහුට ප්‍රසංග සඳහා ඇරියුම් ලැබුණත්, ඔහු තමාගේ වටිනාකම දැනගෙන සිටියේ නැහැ. ඔහු මුදලට වඩා වැඩේ හොඳින් කිරීම ගැන අවධානය යොමුකළ අතර, ලැබෙන මුදලින් සතුටු වූවා මිස තමාට මිලක් නියම කර ගැනීමට නොදත් පුද්ගලයෙක් වුණා. මේ නිසා ඔහුගේ කලා ජීවිතය සහ පෞද්ගලික ජීවිතය යන දෙකම යටපත් වුණා.
කොහොම නමුත් ඔහු පිළිබඳ කියවෙන තොරතුරු අනුව පහුගිය කාලය පුරාවටම ඔහු විවිධ ප්‍රසංග සහ සාජ්ජවල විවිධ අයගේ ගීත ගායනා කිරීමට ඉදිරිපත් වෙලා තියෙනවා. මුදල් හදල් පිළිබඳව ලොකුවට නොහිතා තමන්ගේ වැඩේ ගැනම හිතපු ඔහු, තමන්ට ආදරය කරන තමන්ගේ ගීත අහපු පිරිසක් ලෝකය පුරා ඉන්නවා කියන එක දැනගෙන හිටියේ නැහැ කියලා තමා කියවෙන්නෙ. ඇත්තටම ඔහු පිළිබඳ අද ඔහුගේ සමීපතමයන් කියන විදිහට ඔහුගේ මධුර හඬ පිළිබඳව මේ සොඳුරු මිනිසාට නිසි තක්සේරුවක් තිබිලා නැහැ.
ඇතැම් විට මුල් කාලීනව ඔහු දැරූ දැඩි වෙහෙස මෙම පසුබෑමට හේතු වෙන්න ඇති. අපේක්ෂාභංගත්වය, පසුබෑම පිටුපස තිබුණු බවට ඔහු අද කියන කතා සාක්ෂි දරනවා. තමන්ගේ ආච්චිඅම්මාගෙන් ලැබුණු ඉඩමක් විකුණලා ඒ කාලේ සින්දු හතරක් කළ බව ඔහු කියලා තිබුණා. ඒත් ඇත්තටම ඒ ගීත නිර්මාණ ඔස්සේ ඔහු අපේක්ෂා කරපු ජනප්‍රියත්වය ඔහුට හිමිවෙලානම් නැහැ. එක්තරා ආකාරයකට මේ සමස්ත කතාවම දෛවය විසින් ලියූවක් බව අපිටත් හිතෙනවා.
වසර ගණනාවකට පසු එක් රූපවාහිනී නාලිකාවක් සංවිධානය කළ වැඩිහිටියන්ගේ රියැලිටි වැඩසටහනකට සහභාගි වීම නිසා නැවතත් ඔහු අවධානයට ලක්වුණා. එකල ඔහු සමඟම සංගීත ක්ෂේත්රයට ආ එඩ්වඩ් ජයකොඩි වැනි ගායකයන් ඉදිරියේ තරගකරුවකු ලෙස සිටීම දෛවය ඔහුට කළ සරදමක් වගේ වුණා. කෙසේ වෙතත්, නලින් පෙරේරා වැනි කලාකරුවන් “ඔබ මේ තරගවලට පැමිණිය යුතු කෙනෙක් නොවෙයි, ඔබ සැබෑ ගායකයෙක්” යැයි පැවසීමෙන් ඔහුගේ වටිනාකම තේරුම්ගත් බව පෙනී ගියා.
අද වන විට ගාමිණී ජීවරත්න මහතා යළිත් කලා ක්ෂේත්රයේ කරළියට පැමිණ සිටිනවා. මෑතකදී සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ වීඩියෝවක් ඔස්සේ ඔහු පිළිබඳ තොරතුරු යළිත් කරළියට ආවා. ලංකාවේ ප්‍රධාන මාධ්‍ය ආයතන රැසක රූපවාහිනී වැඩසටහන් සඳහා ඔහුට ආරාධනා ලැබී තිබෙනවා. ඔහු නැවත ප්‍රසංග වේදිකාවට නැගීමට සූදානම් වන බවටද තොරතුරු පළ වෙනවා. මේ නව පිබිදීමත් සමඟම ඔහුට නව ගීත නිර්මාණ සඳහා අවස්ථාව ලැබෙමින් පවතින බව පෙනී යනවා. රවීන්ද්‍ර රන්දෙණිය මහතාගේ බිරිඳ වන ප්රිති රන්දෙණිය විසින් ඔහු වෙනුවෙන් රචනා කළ නව ගීතයක් පටිගත කිරීමට නියමිත බවද වාර්තා වුණා.
කෙසේ වෙතත් මෙම තත්ත්වයත් සමඟම අපට අවදානම් කිහිපයක්ද පෙනී යනවා. සමාජ මාධ්‍ය ඔස්සේ හදිසියේ ජනප්‍රියත්වයට පත් වූ වැඩිහිටි කලාකරුවන්ට පසුගිය කාලයේ අත්වූ ඉරණම ගාමිණීටත් අත්විය හැකිද යන බිය ඒ අතරින් ප්‍රධානයි. ලංකාවේ වගේම ඉන්දියාවෙත් මීට සමාන සිදුවීම් කිහිපයක් දැකගන්න ලැබුණා. සමහර අය ජනප්‍රියත්වය සමඟ පිරිහුණා. තවත් සමහරු ඉහළටම ඔසවා සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් විසින් පහළට විසිකර දැමුවා. බලාපොරොත්තු ගොන්නක් එක්ක ජීවිතේ අවසන් කාලයේ පීඩාවට පත්වෙන්න ඒ අයට සිද්ධ වුණා.
මේ වෙනකොට ඇතැම් රූපවාහිනී ආයතන ගාමිණී ජීවරත්න වීඩියෝ කැබලි යොදාගෙන තම සමාජ මාධ්‍ය පිටු ප්‍රවර්ධනය කරගන්න ආකාරයත්, ව්‍යාපාරික අරමුණු ඇති පුද්ගලයන් ඔහු දෙස මුදල් උල්පතක් ලෙස බලන ආකාරයත් දැකිය හැකියි. මෙම තත්ත්වයත් සමඟ මනාව ගනුදෙනු කිරීමට මේ සොඳුරු මිනිසා පරිස්සම් විය යුතුයි. ඔහු වටා සිටින සැබෑ ලෙස ඔහුට ආදරය කරන පිරිස ඔහුව ආරක්ෂා කරගත යුතුයි. මොකද මේ හෙමිහිට එළිය වෙන්නේ දශක ගණනාවක සිහිනයක්. පරිස්සමට මේ හීනය හැබෑ කරගන්න ඕනෑ.
ඔහුගේ ජනප්‍රියත්වය තිරසාරව පවත්වාගෙන යාම සහ ඔහුගේ ආර්ථික සුරක්ෂිතතාව වෙනුවෙන් YouTube ඇතුළු සමාජ මාධ්‍ය තුළ ඔහුගේම නමින් ගිණුම් සකස් කරගෙන එමගින් ලැබෙන ආදායම ඔහුටම ලැබෙන ක්‍රමවේදයක් සකස් කිරීම ඉතා වැදගත්. ඒ වගේම මේ සොඳුරු ගායකයාගේ නිර්මාණ හිමිකම් පිළිබඳවත් ප්‍රවේසම් විය යුතුව තිබෙනවා. ගාමිණී ජීවරත්නගේ මේ දෙවැනි කලා ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා අප සියලු දෙනාගේම අවංක සහයෝගය අවශ්‍යයි.
• චමිඳු නිසල් ද සිල්වා
