මම නැති කාලෙකත් තරින්දි කියන නම මතක් වෙන චරිතයක් කරන්න ඕනේ- තරින්දි ප්‍රනාන්දු

gossiplanka image 1
 


තරින්දි ප්‍රනාන්දු ගැන අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැහැ. ඇය තමන්ට ලැබෙන ඕනෙම චරිතයක් තුළ හරි අපූරුවට ජීවත් විය හැකි දක්ෂ රංගන ශිල්පිනියක්. ඒ නිසාම පසුගිය වර පැවතී සුමති සම්මාන උළෙලේ දී හොඳම නිළිය ලෙසත් සම්මාන ලබන්නට තරින්දි ප්‍රනාන්දු වාසනාවන්ත වුණා. පුංචි තිරෙන් අසීමිත ආදරේ දිනාගෙන තියෙන තරින්දි ප්‍රනාන්දු මේ දිනවල රිදී තිරයෙන් මුණ ගැහෙන්නේ ශාලු නම් අභියෝගාත්මක චරිතයෙන්.


මුලින්ම අපි සම්මානය ගැන කතා කරමුද?




සුපුන් රත්නායකගේ තත්පරයක් දෙන්න නාට්‍යයේ පූජනී චරිතය වෙනුවෙන් තමයි මෙවර සුමති සම්මාන උළෙලේ දී හොඳම නිළිය ලෙස සම්මාන ලබන්න මම වාසනාවන්ත වුණේ. තරින්දිට පුජනී වෙන්න අවස්ථාව සලසා දුන් නාට්‍යයේ අධ්‍යක්ෂ සුපුන් රත්නායක, නිෂ්පාදක රුවන් චින්තක මහතා සහ තත්පරයක් දෙන්න නාට්‍යයේ කණ්ඩායමම මේ මොහොතේ බොහොම ආදරෙන් මතක් කරනවා.


එම සම්මානය ලබන මොහොතේ ඒ සම්මානය ගන්න වේදිකාව මතට එන්න බැරි වෙනවා, එන්න හිටිය ගමනක් නේද එදා වැළකෙන්නේ.




ඇත්තෙන්ම ඔව්. මම හිටියේ කැනඩාවේ. හැබැයි එදා මම සම්මාන රාත්‍රියට එන්න හිටියේ. ඒත් එදා මම එන්න පිටත් වුණු ගුවන් යානයේ හිටිය සීරියස් ලෙඩෙක් නිසා ආපසු ගුවන් යානය හැරෙව්වා. එදා මම සම්මාන උළෙලට එන්න ඔක්කොම ලෑස්ති වෙලා තියෙන මොහොතක ගුවන් යානය ආපහු හරවද්දී දැනුණු හැඟීම වචන කරන්න බැහැ. මට එදා ඇත්තටම ඇඬුණා. මාව ගුවන් යානයේ හිටි හැමෝම හොඳින් බලා ගත්තා. හැමදේම වෙන්නේ හොඳටයි කියලා මගේ අක්කා තමයි මගේ සම්මානය භාර ගත්තේ. මගේ දෙවැනි අම්මා මගේ අක්කා. මගේ අම්මා මට නැති වුණාට පස්සේ මගේ අම්මා වුණේ මගේ අක්කා. ඇය කෑගහලා කිව්වේ නැති වුණත් හැමෝම ඇයව නොදැක්කත් මගේ මේ ගමනේ ලොකුම ශක්තිය මගේ අක්කා. මම අද තැනක ඉන්නේ මගේ අක්කා නිසා. එයා තමයි මම ෆලෝ කරන එකම චරිතය. දෙවියන් වහන්සේ සහ මගේ අම්මා කොහේ හරි ඉඳන් හිතන්න ඇති ඇයට ඒ ගෞරවය දිය යුතුයි කියලා. ඒ නිසා වෙන්න ඇති එහෙම වෙන්න ඇත්තේ. එයා ගොඩක් ආඩම්බරෙන් සම්මානය අතට ගත්තා.


මේ දිනවල රිදී තිරෙන් දිග හැරෙන මදර් ලංකා චිත්‍රපටයේ ශාලු ගැන කතා නොකර බැහැ නේද?




අධ්‍යක්ෂ අනූෂ සංජීව එදිරිමුණි ඔහුගේ බිරිඳ ක්‍රිෂාන්ති කුලසූරිය මහත්මිය ලියූ තිර රචනාවක් ඔස්සේ මෙහෙම ෆිල්ම් එකක් කරන්න යනවා ඒකට මාව සම්බන්ධ කරලා දෙන්න කියන එක කියලා තිබ්බේ නිලුෂා අක්කට. ඊට පස්සේ අනූෂ අයියා තමයි මේ ශාලු කියන චරිතේ ගැන මුලින්ම මා එක්ක කතා කළේ. එදා මට කිව්වා ශාලු කියන්නේ අම්මා කෙනෙක්. ඒ එක්කම එයා සිංගල් මාම් කෙනෙක් කියන එකත්. එදා ඒ කතාව ඇහුවම ඒ චරිතය කරන්න මට ඉතා ලොකු ආසාවක් ආවා. මොකද මම බලාගෙන හිටිය තවත් එක් සුවිශේෂී අවස්ථාවක් තමයි ශාලු කියන චරිතය. ශාලු කියන චරිතයට මම සාධාරණයක් කරයි කියලා විශ්වාස කරලා මට මේ අභියෝගාත්මක චරිතය ලබා දීම ගැනත් අනූෂ අයියාට සහ ක්‍රිෂාන්ති අක්කාට මම ස්තුතිවන්ත වෙනවා.




පිටපත ලැබුණ මොහොතේ දැනුණ හැඟීම කොයි වගේද?




මදර් ලංකා පිටපත ලැබිලා ඒ පිටපත මම කියවද්දී ශාලු කියන චරිතය මට හයිලයිට් වෙලා පෙනුණා. ශාලු කියන චරිතය කරද්දී මට යන්න පුළුවන් රංගන පරාසයන් සහ විවිධ හැඟීම් ගැන මම හිතුවා. පිටපත කියවද්දිම ශාලු කියන චරිතේ බර මගේ හිතට කා වැදුණා. අම්මා කියන චරිතය අපිට කොහොමත් සැහැල්ලුවට ගත හැකි චරිතයක් නෙවෙයි. මෙතන තවත් විශේෂ වෙන්නේ ශාලු සිංගල් මාම් කෙනෙක් වීම. පිටපත කියවලා ඉවර වෙද්දී මට මගේ ගැනම ලොකු ආඩම්බරයක් ඇති වුණා. මොකද ශාලු කියන චරිතයට තරින්දි ප්‍රනාන්දු වන මාව මතක් වුණානේ කියන එකත් එක්ක.




කොහොම හරි අවසානයේ මම ශාලුට ජීවය දීලා ශාලු රිදී තිරයෙන් මම නැවත දකිද්දී මට මුලින්ම ඇති වුණේ ආශිර්වාදාත්මක හැඟීමක්. මොකද මේ ලෝකේ ඉන්න සියලුම අම්මාවරු නියෝජනය කරමින් මේ ලෝකේ ඉන්න සියලුම අම්මාවරුන්ට හයියක් වෙමින් ආශිර්වාදයක් වෙන ශාලු කියන පියෙක් නොමැතිව තම දරුවාව හදන මව කියන චරිතය මම කරන්නේ. ඒ නිසා ඒ චරිතෙට මේ ලෝකේ සියලුම අම්මාවරුන්ගේ ආශිර්වාදය මට ලැබෙනවා නේද කියන හැඟීම මට ආවා. මම මේ චරිතය කළේ මේ ලෝකේ ඉන්න සියලුම අම්මාවරුන් වෙනුවෙන්.


සැබෑ ජීවිතේ ඔබ මවක් නොවී මේ චරිතය ගොඩනගන්නේ කොහොමද?




මාතෘත්වයට අපිට මට්ටමක් දෙන්න බැහැ. දුප්පත් පොහොසත් කියලා හෝ කරන වෘත්තීය අනුව මව් පදවිය බෙදන්න බැහැ. මවක් වෙන්න දරුවෙක් වැදුවද හැදුවද, ස්වාමිපුරුෂයෙක් ඉන්නවද නැද්ද කියන එක වැදගත් වෙන්නේ නැහැ. මව නම් මව. මේ මාතෘත්වය කියන එක මේ සංසාරේ පුරාවටම කියා නිම කරන්න බැරි බැඳීමක්. මගේ හිතේ මාතෘත්වය ගැන ඉහළ තැනක් තියෙනවා. මම මාතෘත්වය කියලා දකින්නේ ශරීරේ ඇතුළෙන්ම එන උත්තරීතර හැඟීමක්. ඒ නිසා තමයි මේ ලෝකේ දරුවන් වදන අම්මලා වගේම දරුවන් කුසින් නොවැදුවත් දරුවන් හදන අම්මලා ඉන්නේ.




ශාලු ගොඩ නගද්දී තරින්දි විදියට මට අභියෝග වුණු තැන වුණේ මම සැබෑ ජීවිතේ මවක් නොවීම. නමුත් කලාව තුළම මම මින් පෙර මවගේ චරිතේ කරලා තිබෙනවා. ඒ එක්කම විශේෂයෙන්ම මට ලැබුණු ආශිර්වාදය මගේ අක්කා. එයත් සිංගල් පේරන්ට් කෙනෙක්. ශාලුගේ චරිතේ ගොඩක් දේවල් මම මගේ අක්කා තුළින් දැක්කා. එයා එයාගේ පුතාව පුංචි කාලේ ඉඳන්ම හදා ගත්ත හැටි. එයා එයාගේ රැකියාවත් කරන ගමන් අද වෙද්දී එයාගේ දරුවාව උපරිම හොඳ තැනකට අරගෙන ඇවිත් තියෙනවා. එයා දරුවා හදන්න විඳපු දුක් ඒ වගේම පියා දරුවා සහ බිරිඳ දාලා යද්දී සමාජයෙන් අහපු කතන්දර මේ සියල්ල මම ඇහින් දැකලා තියෙනවා. මම මගේ අක්කගේ ජීවිතේ දුක තැන් වලදී මට පුළුවන් විදියට හයියක් වෙලා ඉඳලා තියෙනවා. ඉතින් ශාලුගොඩ නගන්න මම ගොඩක් දේවල් මම මගේ අක්කාගෙන් ලබා ගත්තා.


මදර් ලංකා බලන අපිට මුණගැහෙන තවත් සුවිශේෂී චරිතය වෙන්නේ සත්‍යා, ඒ ගැන කතා නොකරොත් අඩුවක් නේද?




මදර් ලංකා හි ශාලුට පිහිට වෙන චරිතේ තමයි සත්‍යා කියන්නේ. සත්‍යාත් මේ නිර්මාණය තුළ එන අභියෝගාත්මක චරිතයක්. මම විශ්වාස කරනවා මෙහි එන අමාරුම චරිතය කළේ ධනංජය සිරිවර්ධන අයියා. ඔහුගේ රංගනය ගැන අපිට කතා කරන්න දෙයක් නැහැ. ඔහුගෙන් මට ලැබුණු සහයෝගය ඉතා විශිෂ්ටයි. ඔහු කිසිම ඊගෝ එකක් තියාගෙන නැති නළුවෙක්. ශාලු මතුවෙන තැන්වලදී ඔහු මතු වෙන්න උත්සහ කරේ නැහැ. මම විශ්වාස කරනවා ඒකම තමයි මෙහි තියෙන සාර්ථකත්වය. ඒ වගේම සත්‍යා මතුවෙන තැන් වලදී මම ශාලුව මතු කරන්න ගියේ නැහැ. අපි දෙන්නා තුළ තිබ්බ ඒ අවබෝධය ලොකු සහයෝගයක් වුණා. අපේ සමාජයේ ට්‍රාන්ස් ජෙන්ඩර් කෙනෙක් බොහෝ තැන් වලදී කොන් වෙනවා. නමුත් ඒ අයටත් මේ සමාජයේ ජීවත් වෙන්න අයිතීන් තියෙන්න ඕනේ. කාන්තා හෝමෝන වැඩි වීමත් එක්ක ඔවුන් ඒ තත්වයට පත් වුණත් දරුවෙක් කුසින් වදන්න බැරි වුණත් මාතෘත්වය කියන හැඟීම තියෙනවා. එයාලත් ආසයි අම්මා කෙනෙක් වෙන්න. මේ මදර් ලංකා ෆිල්ම් එක ඇතුළේ ඒ අය වෙනුවෙනුත් හඬක් නැගෙනවා. ධනංජය පුදුම කැපවීමකින් කරපු චරිතයක්.


තරින්දිගෙ අනාගත බලාපොරොත්තු මොනවද?




අරමුණු බලාපොරොත්තු අතරේ ඉලක්ක, හීන සහ ආසාවන් තියෙනවා. ඒ සියල්ල එකිනෙක සැබෑ කර ගනිද්දී ඒ දේවල් මම මගේ ප්‍රේක්ෂකයින් එක්ක බෙදා ගන්න මම කැමතියි. චරිතාංග රංගන ශිල්පිනියක් වෙන්න මම කවදත් ආස කළේ. මම නැති කලෙකත් තරින්දි ප්‍රනාන්දු කියන මගේ නම ගැන කතා වෙන ආදර්ශමත් චරිතයක් වෙන්න තමයි සරලව මගේ බලාපොරොත්තුව.



gossiplanka image 2
Previous Post Next Post