මම කාජල් වගේලු ඒත් මම කැමති තරින්දිම වෙන්න - තරින්දි ප්‍රනාන්දු

gossiplanka image 1
 


තරින්දි ප්‍රනාන්දු ගැන අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැහැ. තමන්ට ලැබෙන ඕනෙම චරිතයක් තුළ හරි අපූරුවට ජිවත් විය හැකි දක්ෂ රංගන ශිල්පිනියක්. රිදී තිරයේ ඇයගේ අලුත්ම භූමිකාව ශාලු. ශාලු මුණගැහෙන්නේ අනුෂ සංජිව එදිරිමුණි කුලුදුලේ අධ්‍යක්ෂණය කළ ක්‍රිෂාන්ති කුලසූරිය කුලුදුල් තිර රචනාව සිදු කළ ඉශාන් පෙරේරා කුලුදුලේ නිෂ්පාදනය කළ මදර් ලංකා චිත්‍රපටය තුළින්.


රිදී තිරයේ අලුත්ම භූමිකාව ශාලු, මේ ඇරයුම ලැබුණේ කොහොමද?


මුලින්ම මට ෆිල්ම් එක කරනවා කියලා කිවුවේ චිත්‍රපටයේ අධ්‍යක්ෂ අනුෂ සංජිව එදිරිමුණි සහ ඔහුගේ බිරිඳ ක්‍රිෂාන්ති කුලසූරිය මහත්මිය. ඇය තමයි මදර් ලංකා චිත්‍රපටයේ තිර පිටපත් රචිකාව. ඒ එක්කම මේ වෙලාවේ නිලුෂා අක්කව ආදරෙන් මතක් කරන්න ඕනේ. මාව අනුෂ අයියාට සම්බන්ධ කර ගන්න නොහැකි අවස්ථාවක නිලුෂා අක්කා තමයි මාව අනුෂ අයියාට සම්බන්ධ කරලා දුන්නේ. ඊට පස්සේ අනුෂ අයියා තමයි මේ ශාලු කියන චරිතේ ගැන මුලින්ම මා එක්ක කතා කළේ. එදා මට කිවුවා ශාලු කියන්නේ අම්මා කෙනෙක්. ඒ එක්කම එයා ‘සිංගල් මාම්‘ කෙනෙක් කියන එක. එදා ඒ කතාව ඇහුවම ඒ චරිතය කරන්න මට ඉතා ලොකු ආසාවක් ආවා. මම බලාගෙන හිටිය තවත් එක් සුවිශේෂී අවස්ථාවක් තමයි ශාලු කියන චරිතය. ශාලු කියන චරිතයට මම සාධාරණයක් කරයි කියලා විශ්වාස කරලා මට මේ අභියෝගාත්මක චරිතය ලබාදීම ගැන අනුෂ අයියාට මම ස්තූතිවන්ත වෙනවා.


පිටපත මුලින්ම කියවපු දවසේ මොකක් ද හිතුණේ?


ශාලු කියන චරිතය මට හයිලයිට් වෙලා පෙනුණා. මම ශාලු කියන චරිතය කරද්දී මට යන්න පුළුවන් රංග පරාසයන් සහ විවිධ හැඟීම් ගැන හිතුවා. ඒ එක්කම එකම චරිතේ වයස් සීමාවන් දෙකක් මට නිරුපණය කරන්න තියෙනවා. නමුත් අංග රචනා ශිල්පී නයන උජිත් සහ අනුෂ අයියා ක්‍රිෂාන්ති අක්කා ඇතුළු මුළු ‘මදර් ලංකා‘ කණ්ඩායමම හැකි පමණින් ඒ වෙනස පෙන්නුම් කරලා තියෙනවා. පිටපත කියවද්දිම ශාලු කියන චරිතේ බර මගේ හිතට කා වැදුණා. අම්මා කියන චරිතය අපිට කොහොමත් සැහැල්ලුවට ගත හැකි චරිතයක් නෙවෙයි. මෙතැන තවත් විශේෂ වෙන්නේ ශාලු සිංගල් මාම් කෙනෙක් වීම. පිටපත කියවලා ඉවර වෙද්දී මට මගේ ගැනම ලොකු ආඩම්බරයක් ඇති වුණා. හේතුව ශාලු කියන චරිතයට තරින්දි ප්‍රනාන්දු වන මාව මතක් වුණානේ කියන එකත් එක්ක.


ඒ එක්කම ඒ පිටපත ෂූට් කරලා රිදී තිරයේ ශාලුව දකිද්දී තරින්දිට දැනුණ හැඟීමත් කොහොම එකක්ද?


මට මුලින්ම ඇති වුණේ ආශිර්වාදාත්මක හැඟීමක්. මේ ලෝකේ ඉන්න සියලුම අම්මාවරු නියෝජනය කරමින් මේ ලෝකේ ඉන්න සියලුම අම්මාවරුන්ට හයියක් වෙමින් ආශිර්වාදයක් වෙන ශාලු කියන පියෙක් නොමැතිව තම දරුවාව හදන මව කියන චරිතය මම කරන්නේ. ඒ නිසා ඒ චරිතෙට මේ ලෝකේ සියලුම අම්මාවරුන්ගේ ආශිර්වාදය ලැබෙනවා නේද කියන හැඟීම මට ආවා. මම ශාලු චරිතය කළේ මේ ලෝකේ ඉන්න සියළුම අම්මාවරුන් වෙනුවෙන්. මේ සමාජය තුළ ඕනෑ තරම් දරුවන් වදපු මවුවරු වගේම දරුවන් හදපු මවුවරු ඉන්නවා. ඒ හැම අම්මා කෙනෙක් වෙනුවෙන්ම ඉතාමත් භක්තියෙන් තමයි මම මේ ශාලු කියන චරිතය නිරුපණය කළේ. ඒ අම්මා විදියට මම මාව රිදී තිරෙන් දකිද්දී ලොකු ආඩම්බරයක් ආවා. මට මගේ අම්මාවත් සිහිපත් කරමින් මේ ලෝකේ සියලු මවුවරුන් වෙනුවෙන් මේ චරිතේ කරන්න ලැබීම කොයි තරම් භාග්‍යයක් ද කියලා මට දැනුණා.


ගැරහිලි, පීඩන හා දැඩි දරිද්‍රතාවයන් මැද කටුක මාවතක ජීවිතය දිය කළ දිරිය මවකගේ කතාවක් තමයි මදර් ලංකා තුළින් දිගහැරෙන්නේ, මෙවැනි මවුවරු මේ සමාජයේ නැතුවාම නෙවෙයිනේ… තරින්දිට මේ මාතෘත්වය ගැන කියන්න දෙයක් ඇති?


මාතෘත්වයට අපිට මට්ටමක් දෙන්න බැහැ. මවු පදවිය දුප්පත් පොහොසත් කියලා බෙදන්න බැහැ. මවක් වෙන්න දරුවෙක් වැදුවද, ස්වාමිපුරුෂයෙක් ඉන්නවද නැද්ද කියන එක වැදගත් වෙන්නේ නැහැ. මව නම් මව. මේ මාතෘත්වය කියන එක මේ සංසාරේ පුරාවටම කියා නිම කරන්න බැරි බැඳීමක්. මේ මාතෘත්වය ගැන මට මගේ පෞද්ගලික ජීවිතේ අත්දැකීමක් නැතත්, ටෙලි නිර්මාණ ක්ෂේත්‍රයේ මම මවගේ චරිත කරලා ලබපු අත්දැකීම් සහ මට චරිතයක් ලැබුණාම ඒ චරිත වෙනුවෙන් කරන හැදෑරීම් තුළින් මගේ හිතේ මාතෘත්වය ගැන ඉහළ තැනක් තියෙනවා. මම මාතෘත්වය කියලා දකින්නේ ශරීරේ ඇතුළෙන්ම එන උත්තරීතර හැඟීමක්. ඒ නිසා තමයි මේ ලෝකේ දරුවන් වදන අම්මලා වගේම දරුවන් කුසින් නොවැදුවත් දරුවන් හදන අම්මලා ඉන්නේ.


ශාලු ගොඩනඟද්දී තරින්දිට අභියෝග වුණු තැන් මොනවද?


මට තිබ්බ ලොකුම අභියෝගය වුණේ මම සැබෑ ජීවිතේ මවක් නොවීම. නමුත් කලාව තුළම මම මින් පෙර මවගේ චරිතේ කරලා තිබුණා. ඒ එක්කම විශේෂයෙන්ම මට ලැබුණු ආශිර්වාදය මගේ අක්කා. එයත් සිංගල් පේරන්ට් කෙනෙක්. ශාලුගේ චරිතේ ගොඩක් දේවල් මම මගේ අක්කා තුළින් දැක්කා. එයා එයාගේ පුතාව පුංචි කාලේ ඉඳන්ම හදාගත්ත හැටි. එයා එයාගේ රැකියාවත් කරන ගමන් අද වෙද්දී එයාගේ දරුවාව උපරිම හොඳ තැනකට අරගෙන ඇවිත් තියෙනවා. එයා දරුවා හදන්න විඳපු දුක් ඒ වගේම පියා දරුවා සහ බිරිඳ දාලා යද්දී සමාජයෙන් අහපු කතන්දර මේ සියල්ල මම ඇහින් දැකලා තියෙනවා. මම මගේ අක්කගේ ජීවිතේ දුක් තැන්වලදී මට පුළුවන් විදියට හයියක් වෙලා ඉඳලා තියෙනවා. ශාලු ගොඩනඟන්න ගොඩක් දේවල් මගේ අක්කාගෙන් ලබා ගත්තා. ඒ වගේම මගේ අම්මා තුළ තිබ්බ ශක්තිය ඒ මොරාල් එක ප්‍රශ්නවලට මුහුණදීමේ ශක්තිය මම ගත්තේ මගේ අම්මාගෙන්. ඇත්තටම ශාලු කියන්නේ මට අභියෝගයක් වුණා වගේ ආශිර්වාදයක් වුණු චරිතයක්.


ඒ එක්කම ශාලුට පිහිට වුණු සත්‍යා වැනි චරිත ත් අප සමාජයේ ඉන්නවා, ඒ ගැන කිවුවොත්


මදර් ලංකා හි ශාලුට පිහිට වෙන චරිතේ තමයි සත්‍යා කියන්නේ. සත්‍යාත් මේ නිර්මාණය තුළ එන අනිත් අභියෝගාත්මක චරිතය. සත්‍යා වුණේ ධනංජය සිරිවර්ධන අයියා. ඔහුගේ රංගනය ගැන අපිට කතා කරන්න දෙයක් නැහැ. ඔහුගෙන් මට ලැබුණු සහයෝගය ඉතා විශිෂ්ටයි. ඔහු කිසිම ඊගෝ එකක් තියාගෙන නැති නළුවෙක්. ශාලු මතුවෙන තැන්වලදී ඔහු මතු වෙන්න උත්සහ කරේ නැහැ. මම විශ්වාස කරනවා ඒකම තමයි මෙහි තියෙන සාර්ථකත්වය. ඒ වගේම සත්‍යා මතුවෙන තැන්වලදී මම ශාලුව මතු කරන්න ගියේ නැහැ. අපි දෙන්නා තුළ තිබ්බ ඒ අවබෝධය ලොකු සහයෝගයක් වුණා නිර්මාණයට. අපේ සමාජයේ ට්‍රාන්ස් ජෙන්ඩර් කෙනෙක්ව අපි දකින්නේ බොහෝ තැන්වලදී කොන් වෙනවා. නමුත් ඒ අයටත් මේ සමාජයේ ජිවත් වෙන්න අයිතීන් තියෙන්න ඕනේ. කාන්තා හෝමෝන වැඩි වීමත් එක්ක ඔවුන් ඒ තත්වයට පත් වුණත් දරුවෙක් කුසින් වදන්න බැරි වුණත් මාතෘත්වය කියන හැඟීම තියෙනවා. එයාලත් ආසයි අම්මා කෙනෙක් වෙන්න. විවේචන කරන්නේ ලිංගික ආසාවන් නිසා එහෙම වෙනස් වෙනවා කියන එකට මිසක් ඒ අය තුළ තියෙන මාතෘ හැඟීම ගැන කතා කරන්නේ නැහැ. නමුත් මේ මදර් ලංකා ෆිල්ම් එක ඇතුළේ ඒ අය වෙනුවෙනුත් හඬක් නැගෙනවා. ධනංජය පුදුම කැපවීමකින් කරපු චරිතයක්.


මදර් ලංකා බලද්දී නම් දැනුණු දෙයක් තමයි තරින්දිට තරම් ප්‍රේක්ෂකයින් අඬවන්න නම් කාටවත් බැහැ කියන එක, මේ තරම් හැඟීම් දනවන්නේ කොහොමද?


මගෙනුත් ගොඩක් අය අහන දෙයක් තමයි ඔයා කොහොමද මෙච්චර හොඳට අඬන්නේ කියලා. මගේ මුහුණේ පිහිටීම එක්ක මම අඬද්දී ඒක ගොඩක් දැනෙනවා ඇති. ඊට අමතරව මම මේ ක්ෂේත්‍රයට ආවට පස්සේ මේ ක්ෂේත්‍රයේ ඉන්න ප්‍රවීණයින්ගෙන් ලබා ගත්තු උපදෙස් අවවාද අත්දැකීම් එක්ක මම කරන චරිත එක්ක චරිතාංග රංගන ශිල්පිනියක් වෙන්න හැමවිටම උත්සහ කරනවා. ඒ නිසාම වෙන්න ඇති මම අඬද්දී ප්‍රේක්ෂකයින්ට දැනෙන්නේ.


“ඉන්දියාවට ඉන්නවා කාජල් ලංකාවට ඉන්නවා තරින්දි“ මෙහෙම කියනවා ඇහෙද්දී දකිද්දී මොකද හිතෙන්නේ


මම කාජල් වගේ කියන එකත් ගොඩක් අය කියනවා. නමුත් මම නම් කැමති මම මම ම වෙන්න. හැබැයි ඉතින් හින්දි නිළියක් වගේ කියනවා නම් ඉතින් අපි හැමෝම කැමතියිනේ. බොලිවුඩ් සිනමාව කියන්නේ අපි හැමෝම ආදරේ කරන කලාකරුවන් කලාකාරිනියන් ඉන්න තැනක්.


හීන දැක්කේ හොඳම නිළිය වෙන්න, පුංචි තිරයේ හොඳම නිළිය සම්මානයට නම කියවෙද්දී හිටියේ විදෙස්ගතවනේ, එදා මොකද හිතුණේ?


සුමති සම්මාන උලෙළේදී සුපුන් රත්නායකගේ තත්පරයක් දෙන්න නාට්‍යයේ පූජනී චරිතය වෙනුවෙන් හොඳම නිළිය ලෙස සම්මාන ලැබුවා. නාට්‍යයේ අධ්‍යක්ෂ සුපුන් රත්නායක, නිෂ්පාදක රුවන් චින්තක මහතා සහ තත්පරයක් දෙන්න නාට්‍යයේ කණ්ඩායම බොහොම ආදරෙන් මතක් කරනවා. ඒ වගේම තිලංග සුමතිපාල මහතා ඇතුළු සුමති සම්මාන උලෙළේ ජූරියට ස්තූතිවන්ත වෙනවා මට ඒ සම්මානය දුන්නට. එදා මම හිටියේ කැනඩාවේ. මම එන්න හිටිය ගුවන් යානය නොවැලැක්විය හැකි හේතුවක් නිසා එදා ඒ ගමන කැන්සල් කරනවා. මම ගොඩක් බලාපොරොත්තු තියන් හිටියා සම්මාන රාත්‍රියට එන්න. මට ඒ වෙද්දී ලැබුණු ප්‍රේක්ෂක ප්‍රතිචාර එක්ක මගේ හිතෙත් විශ්වාසයක් තිබ්බා පූජනී වෙනුවෙන් සම්මානය ලැබෙයි කියලත්. ඒ නැතත් සම්මාන තිබුණත් නැතත් මම හැම සම්මාන උලෙළකටම සහභාගී වෙන කෙනෙක්. එදා සම්මාන උලෙළට එන්න ඔක්කොම ලෑස්ති වෙලා තියෙන මොහොතක ගුවන් යානය ආපහු හරවද්දී දැනුණු හැඟීම වචන කරන්න බැහැ. මට එදා ඇත්තටම ඇඩුණා. මාව ගුවන් යානයේ හිටි හැමෝම හොඳින් බලා ගත්තා. හැමදේම වෙන්නේ හොඳටයි කියලා මගේ අක්කා තමයි මගේ සම්මානය භාර ගත්තේ. මගේ දෙවැනි අම්මා මගේ අක්කා. මගේ අම්මා මට නැති වුණාට පස්සේ මගේ අම්මා වුණේ මගේ අක්කා. ඇය කෑගහලා කිව්වේ නැති වුණත් හැමෝම ඇයව නොදැක්කත් මගේ මේ ගමනේ ලොකුම ශක්තිය මගේ අක්කා. එයාව තමයි මම ෆලෝ කරන එකම චරිතය. දෙවියන් වහන්සේ සහ මගේ අම්මා කොහේ හරි ඉඳන් හිතන්න ඇති ඇයට ඒ ගෞරවය දිය යුතුයි කියලා. ඒ නිසා වෙන්න ඇති එහෙම වෙන්න ඇත්තේ. එයා ගොඩක් ආඩම්බරෙන් සම්මානය අතට ගත්තා. මාව මේ තාක් දුර ගෙනාවට මට දෙන්න පුළුවන් තෑග්ග ඒක කියලා මම විශ්වාස කරනවා.

gossiplanka image 2
Previous Post Next Post