යාචකයෙක් වගේ පැය ගණන් පාරේ වාඩිවෙලා ඉන්න ලීලාවතී මට ලොකු අභියෝගයක් -අංජලී ලියනගේ

gossiplanka image 1
ස්වර්ණවාහිනී නාළිකාවේ විකාශය වන ‘මා’ ටෙලි නිර්මාණයේ ලීලාවතීගේ භූමිකාව මේ දිනවල ප්‍රේක්ෂක ඔබ සිත කම්පනයට පත් කරන්නට සමත්වී ඇතුවාට සැකයක් නැත. මවගේ සැබෑ ස්වරූපය මනාව පිළිබිඹු කරමින් තාත්වික රංගනයක යෙදෙන අංජලී ලියනගේ දෙවනි ඉනිම දෙව්මිගේ මව, රැල්ල වෙරළට ආදරෙයි යෙනුකිගේ මව ලෙස මින් පෙරද මාතෘත්වයේ සෙනෙහස රැගෙන ඔබ වෙත ආවාය. ඒ සියල්ල අබිබවා යමින් ඇය මේ දිනවල තේජාන්ගේ මවගේ භූමිකාවට මනා සාධාරණයක් ඉටු කරමින් සිටින්නීය. විටෙක අහිංසක ඇය තව විටෙක රුදුරු වන්නේද මවු භූමිකාව තුළමය. මනස විකල් වූ ලීලාවතීගේ මවු සෙනෙහස මේ සියල්ල අබිබවා ගොස් ඇත.


ඔබ මේ දිනවල දකින්න ලැබෙන්නේ වෙනස්ම භූමිකාවකින්. ‘මා’ ගැන කතා කළොත්?


‘මා’ කියන්නේ මේ දිනවල ස්වර්ණවාහිනියේ විකාශය වන වෙනස්ම කතා තේමාවක් ඔස්සේ ගලාගෙන යන හරිම ලස්සන ටෙලි නිර්මාණයක්. මහේෂ් රත්සර මද්දුමආරච්චිගේ හරිම ලස්සන තිර පිටපතක්. අධ්‍යක්ෂණය ඉරේෂ් ලොකුබණ්ඩාර. නිෂ්පාදනය නිශාන්ත ප්‍රදීප්. මම ප්‍රධාන චරිතය වන තේජාන්ගේ අම්මා. මහේෂ් අයියා කවදාවත් කිසිම කතාවක් ඒකාකාරිව ලියන්නෙ නෑ. චරිතයක් ගත්තත් උස් පහත් කරලා මිනිස්සුන්ට එපා නොවෙන්න ලියනවා. ඒ වගේම තමයි ඉරේෂ් අයියත් දක්ෂ විදිහට අපිව හසුරුවනවා. සහාය අධ්‍යක්ෂ සුරංග නිරුක්ෂාන්. වේශ නිරූපණ ශිල්පී මනුල විශේෂයෙන්ම මතක් කරන්න ඕන. හේෂාන් මනුල, ගීත්මා, සචින්තනී කෞෂල්‍යා ඇතුළු රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් දායක වෙනවා.


මනුස්සයෙකුගේ මනස අවුල් වෙනවා කියන්නේ ලොකු ඛේදවාචකයක්. ඔබත් මේ දිනවල ඒ අත්දැකීම ලබනවා නේද?


ඇත්තටම ඒක ඛේදවාචකයක්. ‘මා’ ටෙලි නිර්මාණයේ ලීලාවතී නිසා මේ දවස්වල මාත් ඒ අත්දැකීම ලබනවා. හීනෙකින්වත් මනුස්සයෙකුට එහෙම වෙන්න දෙන්න හොඳ නෑ. හොඳ මානසිකත්වයෙන් ඉන්න කෙනෙකුට ඒ තත්ත්වයට පත්වෙන්න එක සිදුවීමක් වුණත් ප්‍රමාණවත්. වැල්ලබඩ ප්‍රදේශයක කුලී වැඩ කරලා, තමන්ගේ පුතාව අමාරුවෙන් උස් මහත් කරමින් දුක්ඛිත ජීවිතයක් ගත කරන ධෛර්යවන්ත මවක් ඇය. එච්චර ආදරෙන් හදන දරුවා බොරු වරදකට සිරගත කිරීම දරාගන්න බැරුව ඇය මානසික වියවුලකට පත්වෙනවා. කොණ්ඩෙ අවුල් කරගෙන, අපිරිසුදු ඇඳුම් ඇඳගෙන තමන්ගේ පුතාව හොය හොයා පාරවල් ගානේ ඇවිදගෙන යනවා. මනස විකෘති වෙලා පාරේ යන අවස්ථා ජනාකීර්ණ තැන්වල ෂූට් කරන්නේ. යාචකයෙක් විදිහට මේක්අප් කරලා පැය ගණන් පාරේ වාඩිවෙලා ඉන්න වෙනවා. ඒ වෙලාවට බාහිර ලෝකය අමතක කරලා ඒ චරිතයට ප්‍රවිශ්ට වෙනවා. වෙනස්ම අත්දැකීමක් නිසා මම හරිම ආසාවෙන් සම්බන්ධ වුණා. ලීලාවතී මට ලොකු අභියෝගයක් වුණ චරිතයක්.


ලැබෙන ප්‍රතිචාර ගැන කතා කළොත්?


ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒ ප්‍රතිචාරත් එක්ක මේ දවස්වල මාත් හරිම සතුටින් ඉන්නවා. අම්මා කියන චරිතයේ වෙනස්ම පැතිකඩක් නිරූපණය කරන්න ලැබුණු අවස්ථාවක්. මටත් ලොකු ඕනකමක් තිබුණා ඒකාකාරීත්වයෙන් මිදිල මේ වගේ චරිතයකට පණ පොවන්න. ඒ නිසා හරිම ආසාවෙන් මේ චරිතයට සම්බන්ධ වුණා. ලැබෙන ප්‍රතිචාරත් එක්ක එය සාර්ථකව සිදුවුණා කියල දැනෙනවා. ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් කතා කරලා ඔයා ඒ චරිතයට සාධාරණයක් කරනවා කියලා කියනවා. මෙතන මේ විදිහට වුණානම් තවත් හොඳයි කියලා හරිම නිරහංකාරව ඔවුන්ගෙන් උපදෙස් ලැබෙන අවස්ථාත් තියෙනවා. ඒ ගැන හරිම සතුටුයි.


මෙහි වේශ නිරූපණය ගැන කතා නොකළොත් අඩුවක් වේවි?


වේශ නිරූපණය ගැන විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි. මේකෙ මගේ ස්වරූප දෙකක් තියෙනවා. වේශ නිරූපණ ශිල්පී මනුල සෑහෙන්න මහන්සි වුණා. පිස්සු හැදිල ඉන්න විදිහ ගන්න ගොඩක් කැපවෙන්න වුණා. ඒ වගේම පුතාගේ හිතේ ඉන්න රූපය තව විදිහක්. පිස්සු හැදිල ඉද්දි හමේ පාට, දත්, හිසකෙස් මේ සියල්ලම වෙනස් කරන්න ඕන. මාව වෙනස් කරන්න මනුල ලොකු වෙහෙසක් ගන්නවා. ඒ වගේම ප්‍රධාන චරිතය කරන හේෂානුත් ද්විත්ව චරිතයක් නිරූපණය කරනවා. අනෙක් රංගන ශිල්පීන් වුණත් ලොකු කැපකිරීමක් කරනවා. ඒ වගේම හොඳ දක්ෂ රංගන ශිල්පීන් පිරිසක් එකතු වෙලා ඉන්නවා. ඒ නිසා ගොඩක් සාර්ථකව මේ නිර්මාණය කරන්න හැකියාව ලැබිල තියෙනවා. මේ වෙද්දි කොටස් පනහකට වඩා විකාශය වෙලා තියෙනවා.


ඔබටත් ඒකාකාරී රංගන අත්දැකීමෙන් මිදෙන්න ලැබුණු අවස්ථාවක් නේද මේක?


මටත් මවගේ චරිතයේ ඒකාකාරී බවක් දැනිලා තිබුණා. ඒකෙන් මිදෙන්න ඕනෑකම තිබුණා. ඒ නිසා ආරාධනා ලැබුණු සමහර අවස්ථා ඉතාම සුහදව ප්‍රතික්ෂේප කළ අවස්ථාත් තියෙනවා. මේ චරිතයේ වෙනස නිසා මං ගොඩක් ආසාවෙන් සම්බන්ධ වුණා. මං මහේෂ් අයියට ගොඩක් ස්තුතිවන්ත වෙනවා මාව මේ චරිතයට තෝරාගැනීම සම්බන්ධයෙන්.


ඉදිරියේදී ඔබව දකින්න ලැබෙන්නේ මොන වගේ නිර්මාණවලින්ද?


යාත්‍රා කියලා අලුත් ටෙලිනාට්‍යක් ඉදිරියේදී ස්වාධීන රූපවාහිනියේ විකාශය වීමට නියමිතව තියෙනවා. ඒක රූගත කිරීම ඉතාම ඉක්මනින් ආරම්භ වෙනවා. ඒ වගේම මං කාලෙකින් වේදිකාවට සම්බන්ධ වුණා. නාලක විතානගේ මහතාගේ රෝමය ගිනිගනී වේදිකා නාට්‍යත් එක්ක මේ දවස්වල රට පුරා යනවා. මේ වෙද්දි දර්ශන වාර 8ක් වේදිකාගත වෙලා තියෙනවා. ඉදිරියට වේදිකාගත වෙන්න ආරාධනා ලැබිලත් තියෙනවා. ඒ වගේම අලුතින් ව්‍යාපාරික කටයුත්තකට සම්බන්ධ වෙන්නත් අදහසක් තියෙනවා. ඊට අමතරව මගේ සැමියා තරිඳුගේ සංගීත කණ්ඩායම අලුතින් පටන්ගන්න මේ දවස්වල සැලසුම් කරගෙන යනවා. ඒකටත් උදවු කරමින් ඉන්නවා. දුවත් දැන් උසස් අධ්‍යාපනය ලබනවා. ඒ හැමදේම එක්ක සතුටින් ලස්සනට ජීවත් වෙනවා

gossiplanka image 2
Previous Post Next Post