
සප්නා, මේ දවස්වල මොකද වෙන්නේ?
මේ දවස්වල ආලවන්ති සහ රට පවුල යන නාට්‍ය දෙකේ ෂූටිං වැඩවලට සහභාගි වෙනව. තව අලුත් ටෙලි නාට්‍ය දෙකක් ලබන මාසයේදී පටන්ගන්නව. ඒ කටයුතු-වලටත් සූදානම් වෙන ගමන් ඉන්නෙ.
‘රට පවුල’ නිසා බැනුම් අහන්නත් වෙලාලු?
එහෙමමත් නැහැ. ගොඩක් දෙනෙක් ඒ චරිතෙට කැමතියි. නමුත් එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නව බණින අය. මම දැකපු දෙයක් තමයි ලංකාවේ ගොඩක් කපල්ස් මේ වගේ රණ්ඩුවෙවී තමයි ඉන්නෙ කියන එක. මොකද ගොඩක් අය තමන්වම මෙන්ෂන්කරගන්නව අපි දෙන්න වගේ කියල.
කොහොමද රට පවුලට ආරාධනා ලැබුණේ?
මට මේ නිර්මාණයට ආරාධනය එන්නෙ අශාන් අයියා හරහා. ඔහු තමයි හසුන් අයියට මාව හඳුන්වල දෙන්නෙ. ප්‍රාර්ථනා සහ රට පවුල යන නාට්‍ය දෙකේම කොස්ටියුම්ස් කළෙත් අශාන් අයියා.
නිශානි ගැන රසිකයො මොනවද කියන්නෙ?
මම දකින විදිහට නිශානි කියන්නෙ දැන් සමාජයේ නිතර දකින්න ලැබෙන චරිතයක්. මොකද මමත් දැකල තියෙනව ගොඩක් ගැහැනු ළමයි පිරිමි ළමයින්ට ගොඩක් රූල්ස් දානව. බහුතරයක් අය එහෙමයි.
ඔබත් නිශානි වගේද?
මම නිශානි කෙනෙක් නෙමෙයි. මම ආදරේ කරන කෙනෙක්ව නීති දාල තද කරල තියාගන්නෙ නැති කෙනෙක්. මේ කියන නිශානි ගතිගුණ මගේ නැති නිසා චරිතයත් මට අභියෝගයක් වුණා. ඒ නිසා මම මගේ යහළුවන්ගෙන්, සමාජයෙන් මේ ගැන අත්දැකීම් අරගෙන තමයි නිශානි කියන චරිතය ක්‍රියේට් කරන්නෙ. හසුන් අයියත් මේ වෙනුවෙන් ලොකු සහයෝගයක් ලබාදෙනව.
පිටපත කියවල බැලුවාම මොකද හිතුනෙ?
මේ කතාවෙ මුලින් තිබුණෙ හරිම සංවේදී සිදුවීමක්. එතැනදි මට දැනුණ නිශානි නෙමෙයි පහුවෙනකොට පිටපත ලැබෙද්දි හිටියෙ. වෙනම කෙනෙක්. මුල් දවස්වල මම හිතුවෙ හරිම ඉමෝෂනල් කැරැක්ටර් එකක් කියල. නමුත් පහුවෙද්දි මට දැනුණ ඒක වෙනස්ම චරිතයක් කියල.
සප්නා නිශානිව දකින්නෙ කොහොමද?
මම දකින විදිහට නිශානි කියන්නෙ සැර පරුෂ වුණත් මාර විදිහට ධනුකට ආදරෙයි. සැරත් එක්ක යන අමුතුම ලව් එකක් තමයි මම මේකෙදි ක්‍රියේට් කළේ. නිතරම බණින්නෙත් නැහැ, ආදරය තියෙනව, හැබැයි ඒක පෙන්නන්නෙත් නැහැ. ඒ සමහර අයගෙ හැටි. ඒ අය රූඩ් නැහැ. ඒ කතාකරන හැටි. මගෙත් එහෙම ගතිගුණ තියෙනව. මම රූඩ් නැහැ. කතාකරන විදිහ සමහර අයට ෆ්‍රෙන්ඩ්ලි නැහැ වගේ හිතෙනව. ඒක ටිකක් තදට අගෙන තමයි මම නිශානිට යූස් කළේ. නිශානි නිතරම බැනගෙන කතා කළත් හිත ඇතුළෙ ආදරය තියෙනව.
නිශානි මේ තරම් ජනප්‍රිය වෙයි කියල හිතුවද?
මට ගොඩක් වෙලාවට ලැබෙන්නෙ කෑගහගන්න, දඩබ්බර චරිත. නමුත් මම ඒ හැම චරිතයක් තුළම ආවේනික මොකක් හෝ දෙයක් මේන්ටේන් කරන්න බලනව. අනිවාර්යයෙන්ම මම හිතුවා නිශානි ජනප්‍රියවෙයි, මිනිස්සු ආදරය කරයි කියල.
ඉරගිරි මද්දහනේ ජයංගා ගැනත් කතා නොකරම බැහැ?
ඉරගිරි මද්දහනේ ජයංගා කියන්නෙ මගෙ හදවතටම දැනුණ චරිතයක්. ඒ වගේම මගේ ජීවිතයේ ලොකු හැරවුම් ලක්‍ෂ්‍යයක්. ඒ වෙනුවෙන් ලලිත් රෝහිත අයියා, බුද්ධික මංගල අයියා, කැළුම් අයියා, තරංගා අක්කා වගේම හැම දෙනාටමත් ගොඩක් ස්තූතිවන්ත වෙන්න ඕන.
ඉරගිරි මද්දහන කියන්නෙ ලොකු කැපකිරීමක් කරන්න සිදු වුණ නිර්මාණයක්?
ඔව්, ඉරගිරි මද්දහන කියන්නෙ වර්තමාන කතාවක් නෙමෙයි. ඒ වෙනුවෙන් අපේ කොණ්ඩය, නියපොතු වගේම බොහෝ දේවල් වෙනස් නොකර ස්වාභාවික විදිහට අපිට ඉන්න සිදු වුණා. මේකෙ කොටස් ගණනක් ෂූට් කළේ අවුරුදු දෙකකට විතර කලින්. අවුරුදු දෙකකට පස්සෙ ෂූටිං ඔන් වෙද්දි ඒ විදිහටම කන්ටිනිව් කරගෙන යන්න අපේ මුළු නිෂ්පාදන කණ්ඩායම ම ඇත්තටම ලොකු කැපකිරීමක් කළා.
සප්නා කියන්නේ මොන වගේ චරිතයක්ද?
මම කතාකරනව හරි අඩුයි. පාඩුවේ ඉන්න චරිතයක්. මට ලොකු සම්බන්ධතා, යාළුවො නැහැ. නිතර නිතර එළියට පහලියට යන කෙනෙක් නෙමෙයි. මගේ වැඩක් කරගෙන මේ ගමන යනව.
පවුලේ විස්තර?
මගේ පවුලෙ ඉන්නෙ මමයි, අම්මයි, තාත්තයි, අයියයි. අම්මයි තාත්තයි සේවය කළේ නාවික හමුදාවෙ. අයියා ගුරුවරයෙක්. ඔහු දැන් විවාහකයි. මාව පොඩිකාලෙ ඉඳන් බලාගත්තෙ ආච්චියි ලොකු අම්මයි. ඒ දෙන්නවත් ආදරෙන් මතක් කරන්න ඕන.
රංගන වැඩ වලට ගෙදරින් මොන වගේ සහයෝගයක්ද ලැබෙන්නෙ?
මම ෂූටිං යද්දි අම්මත් මගෙත් එක්ක යනව. මගේ ගොඩක් දේවල් හොයල බලල කරල දෙනව. තාත්තත් ඒ වගේ පුළුවන් හැම වෙලාවකම මට උදව් කරනව.
මේ වෙනකොට ඔබේ වෘත්තිය මොකක්ද?
මේ වෙනකොට මම වෘත්තියෙන් රංගන ශිල්පිනියක්. එතැනින් එහා කිසිම ජොබ් එකක් නැහැ, කරන්න බලාපොරොත්තුවකුත් නැහැ.
ගොසිප් ගැන මොකද හිතන්නෙ?
මම ගොසිප් ගණන් ගන්නෙ නැහැ. බලන්නෙත් නැහැ. මට ලොකුවට කටකතා හැදෙන්නෙත් නැහැ. මොකද මම ගොඩක් දුරට ඉන්නෙ තනියමනෙ.
සප්නා රංගන ශිල්පිනියක්නොවුණා නම්?
ගොඩක් දුරට මම ෆැෂන් ඩිසයිනර් කෙනෙක් වෙයි. මම නාවල විවෘත විශ්වවිද්‍යාලයේ ඒ වෙනුවෙන් උපාධියක් කළා. නමුත් රංගනය නිසා ඒක අතරමග නවත්තන්න සිදු වුණා.
රඟපෑමට සීමා මායිම් තියෙනවද?
ගොඩක් වෙලාවට මම උත්සාහ කරන්නෙ පවුලේ හැමෝටම බලන්න පුළුවන් විදිහේ නිර්මාණවලට දායක වෙන්න. නමුත් සිනමාවේදි ඒක ටිකක් වෙනස් වෙන්න පුළුවන්.
මහේෂ් එදිරිසිංහ
