
මේ හැත්තෑව දශකය අළලා කළ නිර්මාණයක්. හැත්තෑව දශකයේ සංගීතය පැත්තෙන් සිදුවුණු දේවල් හැම දෙයක් ගැනම කතා කරන්න පුළුවන්, හැත්තෑව මතක් කරන්න පුළුවන් නිර්මාණයක් කරන්න මගේ තාත්තාට ඕනෑ වුණා. ඒක ඇත්තටම තාත්තාගේ හීනයක්. තාත්තා ක්ලැරන්ස් ගැන හොඳින් දන්නවා වගේම ඔහුගේ සංගීත ඇසුර ලැබුවා. ඔහු සංගීතයට එන්න දරපු උත්සාහය තාත්තා ඇත්තටම දැක්කා. ක්ලැරන්ස් විජේවර්ධන මේ සංගීත ක්ෂේත්‍රයේ ඔහුගේ නම හදාගන්න, කණ්ඩායම් සංගීතය ඉදිරියට ගෙන යන්න දරාපු උත්සාහය තාත්තා දැක්කා. මගේ තාත්තා ක්ලැරන්ස්ගේ සංගීත ආභාෂය ලබපු කෙනෙක්. ඔහුව හොඳින් දන්නවා. තාත්තා ක්ලැරන්ස්ගේ ගෝලයෙක් කිව්වොත් නිවැරදියි. තාත්තා ඔහුගේ ගීත පටිගත කිරීම්වලට යම් විදිහකින් සම්බන්ධ වෙලා තියෙනවා. සංගීතය කරගෙන හිටපු තාත්තාට වෙළෙඳ දැන්වීම් ක්ෂේත්‍රයට යන්න කියන්නෙත් ක්ලැරන්ස් විජේවර්ධනයි. ඒ තාත්තාගේ තිබුණු හැකියාවන් ඔහු හඳුනාගත්ත නිසයි.
මේ සිනමා පටයේ තිර රචකයාත් තේජා ඉද්දමල්ගොඩ. එහෙම නේද?
ඔව්... මේ පිටපත තාත්තා ලියලා ඉවර වුණේ 2022 අවුරුද්දෙ. තාත්තා අධ්‍යක්ෂණය කළ ආශාවරී සිනමා පටය තිරගත වෙනවාත් සමඟ මෙම චිත්‍රපටයේ සෑහෙන කොටසක් තාත්තා ලියා අවසන් කළා. ක්ලැරන්ස් විජේවර්ධනගේ සංගීත රසය මුසු කරපු නව නිර්මාණයක් කරන්න තාත්තට ඕනෑ වුණා. හැත්තෑව පරණ විදිහට පෙන්වන්න තාත්තාට ඕනෑ වුණේ නැහැ. ඒක තමයි තාත්තාගේ හිතේ තිබුණු හීනය.
සිනමා පටයට නළු නිළියන් තෝරා ගනිද්දී තේජා ඉද්දමල්ගොඩ ප්‍රධාන චරිත දෙකකට අලුත් මුහුණු දෙකක් තෝරාගෙන තිබුණා. මේක අභියෝගයක් නේද?
ඔව්... නිර්මාණයේදී චරිතවලට නළු නිළියන් තෝරා ගනිද්දී තේජා ඉද්දමල්ගොඩ තරම් හිතන කෙනෙක් මම දැකලා නැහැ. මේ වෙනකොට ලංකාවේ පිළිගත් ප්‍රධාන පෙළේ වෙළෙඳ දැන්වීම් දාහකට අධික ගණනක් තාත්තා අධ්‍යක්ෂණය කරලා තියෙනවා. තාත්තාට ක්ලැරන්ස් විජේවර්ධන වගේ මුහුණක් ඕනෑ වුණේ නැහැ. මේ චිත්‍රපටයට නළු නිළියන් තෝරා ගනිද්දී තාත්තා සෑහෙන්න මාත් එක්ක කතා කළා. ක්ලැරන්ස් විජේවර්ධනගේ ජීවිත කතාවක් කරන්න අපිට ඕනෑ වුණේ නැහැ. අපිට ඔහුගේ සංගීත රසය මුසුවුණු කතාවක් නිර්මාණය කරන්නයි ඕනෑ වුණේ. ක්ලැරන්ස්ගේ චරිතයට රඟපෑවේ දමිත් විජයතුංග. අපිට ඒ චරිතයට අලුත් මුහුණක් ගෙන එන්න ඕනෑ වුණා. හැමෝම ආදරය කරන හොඳ මුහුණක් ගේන්න ඕනෑ වුණා. තාත්තා දමිත්ට වගේම නිහාරිටත් මහේන්ද්‍ර පෙරේරා යටතේ පුහුණුවීම් කළා. තාත්තා දමිත්ව ගිටාර් ඉගෙන ගන්න පන්තියකට යැව්වා. ඒ ක්ලැරන්ස්ගේ සමකාලීන ගිටාර් වාදන ශිල්පියෙක් යටතේයි. ක්ලැරන්ස් විජේවර්ධන කතා කරන විදිහ, ගිටාරය පුහුණු වන විදිහ, ඔහු බලන විදිහ පවා තාත්තා දමිත්ට ළඟ ඉඳලා කියලා දුන්නා. තාත්තාට අලුත් නළු නිළියන් සිනමාවට හඳුන්වා දෙන්න ඕනෑ වුණා. නිහාරි පෙරේරා කියන්නෙත් ලංකාව නියෝජනය කළ දක්ෂ ක්‍රීඩිකාවක්.
ප්‍රධාන චරිත දෙකට අමතරව සාරංග සහ දිනක්ෂි මෙම චිත්‍රපටයට සම්බන්ධ වෙලා තියෙනවා. මේ තෝරා ගැනීමට හේතුව කුමක්ද?
දමිත් සහ නිහාරිට සහයෝගය ලබා දෙන්න පුළුවන්, එයාලගේ අඩුපාඩු හදන්න පුළුවන්, සහයෝගයෙන් වැඩ කරන, අත්දැකීම් තියෙන, මිනිසුන්ගේ ආදරය දිනාගත්ත කලාකරුවන් කලාකාරියන් කිහිප දෙනෙක් සම්බන්ධ කරගන්න තාත්තාට ඕනෑ වුණා. සාරංගගේ පෙනුමෙන් ඇනස්ලි මාලවනවත් දිනක්ෂිගේ පෙනුමෙන් ඉන්ද්‍රානි පෙරේරාවත් පෙන්නන්න තාත්තාට ඕනෑ වුණේ නැහැ. ඒ චරිත දෙකට හොඳ සිනමා තරු දෙකක් ගෙන එන්න ඔහුට ඕනෑ වුණා. ඒ වගේ ලංකාවේ දක්ෂ නිර්මාණවේදීන් සිනමා පටයට සම්බන්ධ කරගන්න ඔහුට පුළුවන් වුණා.
තේජා ඉද්දමල්ගොඩ මෙම පිටපත ලියද්දී ඇනස්ලි මාලවන එක්ක කතාබහ කළාද?
ඔව්... ඇනස්ලි මාලවන කියන්නෙ ක්ලැරන්ස්ගේ ජීවිතය ගැන හොඳින් දන්නා කෙනෙක්. ඒ නිසා පිටපත ලියද්දී තාත්තා ඔහු එක්ක ඒ ගැන කතා කළා. ඒ වගේම ගීත තෝරා ගනිද්දී ඇනස්ලි එක්ක බොහෝ දේවල් කතාබහ කළා. ක්ලැරන්ස් විජේවර්ධනගේ ගීත බොහොමයක් අපේ තාත්තා ළඟ තියෙනවා. ඒක ගීත පුස්තකාලයක්. පිටපතේ සාරාංශය ලියද්දී ක්ලැරන්ස් විජේවර්ධනගේ ඉතිහාසය ගැන දැනගන්න ඔහු ගොඩක් උදව් වුණා.
මේ පිටපත ලියද්දී, රූගත කිරීම් කරද්දී සහ සිනමා පටයේදී ක්ලැරන්ස්ගේ බිරිඳ ශීලා සමඟ තිබුණු සම්බන්ධකම් කොහොමද?
මේ සිනමා පටය නිර්මාණය කරලා අවසන් වෙලා අපි චිත්‍රපටය ඇයට පෙන්නුවා. ඒ වගේම චිත්‍රපටය කරන්න පෙර අපි ඇයගෙන් පූර්ණ අවසරය ගත්තා. ඇය වගේම ඇයගේ දියණියවත් ආදරයෙන් මතක් කරන්න ඕනෑ. ඔවුන් චිත්‍රපටය කිරීමට අවසර ලබා දෙන්නෙත් තේජා ඉද්දමල්ගොඩ නිසයි.
චිත්‍රපටය රූගත කිරීම් අවසන් කිරීමට පෙර ඔබේ ආදරණීය පියා අසනීප වුණා. ඒ අවසාන කොටස් රූගත කිරීම් කළේ කොහොමද?
මේ චිත්‍රපටය සංස්කරණය කළේ යශෝධ දනුපමයි. චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කළේ සුරේෂ් මාලියද්ද. ඔවුන් දෙදෙනා මේ චිත්‍රපටය වෙනුවෙන් වෙහෙසුණු දෙන්නෙක්. තාත්තාගේ සිහිනය සැබෑ කරන්න ඔවුන් වෙහෙසුණා. අසනීප වෙලා ඉඳිද්දි පවා තාත්තා සිනමා පටයේ වැඩ කළා. සංස්කරණ ශිල්පියා එක්ක එකට ඉඳගෙන අසනීප වෙලා හිටියත් තාත්තා හැමදේම කතාබහ කරලා කළා. මේ අතරේ තාත්තාගේ සහාය අධ්‍යක්ෂවරයා වුණු නිරෝෂන් එදිරිමාන්න මතක් කළ යුතුමයි. මගේ තාත්තා අසනීප වෙලා තාත්තාගේ කටින් වචන එන්නෙ නැති වෙලාවේ තාත්තාගේ ඇඳ ළඟ පුටුවක් තියාගෙන දවස් දෙකක් නිරෝෂන් එදිරිමාන්න පිටපත අවසන් කොටස අමාරුවෙන් අහගත්තා. ඒ මනුස්සකමට අපේ මුළු පවුලම ඔහුට ණයගැතියි. තාත්තගේ හිත රිදවන්නේ නැතුව ලස්සනට මේ පිටපත අවසන් කළේ ඔහුයි.
තේජා ඉද්දමල්ගොඩගේ අවසන් කාලේදී ඔහුට හිතේ යම් කලකිරීමක් තිබුණද?
ඔව්... විශ්වාස කරපු සමහර මිනිසුන් හැසිරෙන විදිහ ගැන තාත්තාට කලකිරීමක් තිබුණා. තේජා ඉද්දමල්ගොඩ කියන්නේ හරිම ශක්තිමත් අධ්‍යක්ෂවරයෙක්. ඔහු ජීවිතේ වැටුණු වෙලාවේ එයාට හරියට දුක හිතුණු තැන් තිබුණා. මගේ තාත්තාට මොළයේ පිළිකාවක් තිබුණේ. එහෙම කෙනාට සමහරු ඔළුවටම වද දුන්නා. මේ චිත්‍රපටය ඇතුළේ තේජා ඉද්දමල්ගොඩ ලොකු දුකක් වින්දා.
තේජා ඉද්දමල්ගොඩගේ සිහිනය සැබෑ වුණා. නමුත් ඒ සිහිනය දකින්න ඔහුට ජීවතුන් අතර ඉන්න ලැබුණේ නැහැ?
චිත්‍රපටය දකින්න ඔහුට නොලැබුණු එක ගැන දුකයි. සමහර දේවල් ගැන හිතද්දී ඊටත් වඩා ගොඩක් දුක හිතෙනවා. තාත්තා චිත්‍රපටයට නම් තුනක් දාලා තිබුණා. මුලින්ම “සඳ එක් දිනක්” කියලා දාලා තිබුණා. ඊට පස්සේ “ආදරේට කියන කතා” නමත් තාත්තාගේ හිතේ තිබුණා. අවසානයේදී “සිහින ලොවින්” නම තියන්න තාත්තා හිතාගෙන හිටියා. තේජා ඉද්දමල්ගොඩ හිතාගෙන හිටපු සිහින ලෝකය ඔහුට දකින්න ලැබුණේ නැහැ.
• දිශානි ජයමාලි
