ප්‍රගතිශීලියි කියාගන්න මාධ්‍යත් වැඩ කරන්නෙ කාගෙ හරි පිටපතකට - නාරද බක්මීවැව

Thursday, September 16, 2021 , 0 Comments




අවුරුදු ගණනාවකට කලින් ලංකාවේ Chart show අතර පළමු ස්ථානයේ රැදෑදුණු වැඩසටහනක් තමයි ‘රස රිසි ගී’ කියන්නේ. ප්‍රේක්ෂක ජනතාවට නවමු අත්දැකීමක් වුණු  මේ වැඩසටහන සමඟ කරළියට පැමිණෙන ඔහු කවුද කියලා කියන්න අමුතුවෙන් හැඳින්වීමක් අවශ්‍ය නොවෙන තරමට ඔහු ප්‍රේක්ෂකයන් අතර අදටත් ජනප්‍රියයි.  මේ සොදුරු කලාකරුවා නමින් නාරද බක්මීවැව.


මේ දවස්වල කොහොමද ජීවිතේ ගෙවෙන්නේ?


ගොඩක් වෙලාවට ඉතින් ගෙදරම තමයි ඉන්නේ. කිසි දෙයක් අලුතින් පටන් ගන්න විධියක් නැහැ. මොකද පටන් ගත්ත ගමන්ම නතර කරන්න සිද්ධ වෙනවා. “රස රිසි ගී" වැඩසටහන් 25 වැනි වසර සපිරීම නිමිත්තෙන් වාර්තමය වැඩසටහනක් කරන්න සැලසුම් කරමින් ඉන්නවා. ඊට අමතරව මවිසින් පවත්වාගෙන යන නිෂ්පාදන ආයතනයේ වැඩටික කරගෙන Sri Lanka Together' YouTube නාළිකාවේ වැඩ ටිකත් කරගෙන ගෙදරට වෙලා ඉන්නවා.


“රස රිසි ගී' වැඩසටහන එක්ක නාරද - තනුජා' කියන නම් යුගලය ග්‍රෑන්ඩ් එකක් බවට පත් වුණා. ඒ ගැන මතක් කළොත්?


ඒක නම් ඇත්තටම බලාපොරොත්තු නොවුණු දෙයක්. අපිට අවශ්‍ය වුණා වෙනස් විධියේ දෙයක් කරන්න. සරල විනෝදාස්වාදය තුළින් හොඳ පණිවුඩයක් සමාජගත කළා. කැමරා ශිල්පීන්ගේ ඉඳලා වැඩසටහන් නිෂ්පාදකවරයා දක්වා වූ පිරිස සහයෝගයෙන් තමන්ගේ කාර්යභාරය ඉටු කළා. වැදගත්ම දේ තමයි වෙනස් විධියේ දෙයක් කරන්න අවශ්‍ය කරන නිදහස අපිට ලැබුණා. වර්තමානය වෙනකොට අපි දකිනවා සාමූහික ප්‍රයත්නය කියන දේ ටිකක් බැහැර වෙලා තනි තනි මිනිස්සු වැඩ කරන්න පටන් අරන් තියෙනවා. මම අදහස් කරන්නේ නැහැ ඒක සම්පුර්ණයෙන්ම අසාර්ථක ක්‍රියාවක් කියලා. නමුත් අර සාමූහිකත්වය කියන දේ තුළින් අපිට පුළුවන් සාර්ථක නිර්මාණයක් බිහි කරන්න. 'රස රිසි ගී වැඩසටහන හරහා ටෙලිවිෂන් ඇතුළේ ඒ වෙනකොට ගොඩනැඟිලා තිබුණ ආකෘතිය වෙනස් වුණා කියලා මම හිතනවා. ඒ වෙනස දරාගන්න බැරි වුණු පිරිසකුත් හිටියා.'


‘නාරද බක්මීවැව” කියන පුද්ගලයා මාධ්‍යයට සම්බන්ධ නොවුණා නම් අද මොනවගේ පුද්ගලයෙක්ද?

මාධ්‍යයට සම්බන්ධ වෙනවා කියන එක මගේ තුන් හිතකවත් නොතිබුණු දෙයක්. මම මාධ්‍යයට සම්බන්ධ නොවුණා නම් අද මොනවගේ පුද්ගලයෙක් වෙලා ඉඳිද කියන එකට මට සෘජු පිළිතුරක් දෙන්න අමාරුයි. මම ගොඩක් ආස කළා තාක්ෂණික දේවල් ගැන ඉගෙනගන්න. සමහරවිට විශ්වවිද්‍යාල උපාධියත් එක්ක පරිපාලන සේවයේ හෝ  ගුරුවරයෙක් ලෙස හෝ සේවය කරමින් ඉන්න තිබුණා. නමුත් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබමින් ඉන්න අවධියේදිම මාධ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණු නිසා මම නිරායාසයෙන්ම මාධ්‍යයට යොමු වුණා. සමහරවිට මම මාධ්‍යවේදියකු නොවුණානම් දේශපාලනයට යොමු වෙන්න අවස්ථාවකුත් තිබුණා. මොකද මගේ තාත්තා දේශපාලනයට සම්බන්ධ වෙලා හිටපු නිසා.


මවුපියන්ගේ ඇරියස් වුණු හීන තම දරුවන් තුළින් සපුරා ගැනීමට උත්සාහ ගැනීම අනාගත පරපුරේ නිර්මාණශීලීත්වයට වැට බැඳීමක් වෙන්ද?


ඒක මම හිතන්නේ වර්තමාන සමාජය තුළ බහුලව දකින්න තියෙන දෙයක්. මවුපියෝ ළමයින්ට අරක කරන්න මේක කරන්න මෙහෙම කරන්න තව පාඩම් කරන්න කියලා මාර පීඩනයක් දෙනවනේ. එහෙම කළාම සමාජයට නිරාවරණය වෙන්නේ නිර්මාණශීලී මිනිස්සු නෙමෙයි. එකම රාමුවකට කොටු වුණු චින්තන ශක්තියක් නැති ඒකාකාරී ක්‍රියාපටිපාටියක් සහිත පිරිසක් තමයි බිහි වෙන්නේ. මෙතැනදී අධ්‍යාපන ක්‍රමයේ සහ මවුපියන්ගේ ප්‍රශ්නයකුත් තියෙනවා. මේක්ක හරියට ගාර්මන්ට් එකක රෙදි මහනවා ව කට්ටියක් කොලර් එක මහනවා. කට්ටියක් අත මහනවා. කට්ටියක් බොත්තම් අල්ලනවා. බහුතරයකට සම්පූර්ණ කමිසයක් මහලා නිම කරන්න බැහැ. මම හිතන්නේ බහුතරයකට සීමාවන් කඩා බිඳ දාලා ඉදිරියට යන්න උත්සාහ කරන්නෙත් නැහැ අවශ්‍යතාවයකුත් නැහැ. මේ ලෝකෙ බිහි වෙන හැම මනුෂ්‍යයෙක්ටම ආවේණික වුණු කුසලතාවක් තියෙනවා. මම කියන්නේ මවුපියන්ගේ හීන ප්‍රමෝට් නොකර දරුවන්ගේ කුසලතාව ප්‍රමෝට් කිරීම තුළින් සමාජයට වැඩදායි පුරවැසියෙක් නිර්මාණය කරන්න පුළුවන්.



කාලෙන් කාලෙට මාධ්‍ය තුළින් බිහිවෙන රැලි නිසා මිනිස්සුන්ගේ චින්තනයට වන බලපෑම සම්බන්ධව ඔබේ අදහස?


අපිත් රැල්ලක් නිර්මාණය කළාන්නේ “රස රිසි ගී වැඩසටහන හරහා අපිත් අලුත් රැල්ලක් හැදුවා. ඒක සමාජයට යම් තාක් දුරට බලපෑම් කළා. එතකොට ඒ නිර්මාණය වෙන රැල්ලේ අන්තර්ගතය ගැන තමයි අපි සැලකිලිමත් වෙන්න ඕනි. ඇත්තටම ඒක මිනිසුන්ගේ චින්තනයට බලපෑම් කරනවා. සමාජයට බලපෑම් කරනවා. කෙනෙක් ඒක අනුමත කරනකොට තව කෙනෙක් ඒක විවේචනය කරන්න පුළුවන්. ප්‍රශ්නේ තියෙන්නේ නිර්මාණය වුණු රැල්ලට කෙනෙක් විරුද්ධ වෙනවා නම් විවේචනය කරනවා නම් ඒකට ප්‍රති රැල්ලක් හදන්න කවුරුත් උත්සාහ කරන්නේ නැති එක. මම හිතන්නේ ප්‍රති රැලි නිර්මාණය වෙන්න ඕනි. රැල්ල හොඳ නම් කමක් නැහැ. නමුත් අපි රැල්ලට යට වෙනවද නැත්තන් ඒක අභිභවා යනවද කියන එක හොඳට හිතලා බලන්න ඕනි.


වර්තමාන ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිත්වය ගැන මොකද හිතන්නේ?


අපි ඉගෙනගත්ත මාධ්‍ය ආචාරධර්මවලින් එහාට ගිහිල්ලා දේශපාලන බල ව්‍යාපෘතිවලට හිර වෙලානේ තියෙන්නේ. ඒක බොහොම පැහැදිලිව පේන කතන්දරයක්. ප්‍රගතිශීලියි කියන මාධ්‍ය වුණත් තව කාගෙහරි පිටපතකට අනුව තමයි වැඩ කරන්නේ. ලංකා ඇතුළේ ආදර්ශයට ගත හැකි මාධ්‍ය සදාචාරයක් සහිතව කටයුතු කරන සමූහ නැහැ. නමුත් ජනමාධ්‍යවේදීන් ඉන්න පුළුවන්. සමාජ මාධ්‍ය කියන දේ මිනිස්සුන්ට හ4දුන්වලා දෙනකොට අපි හරි සතුටු වුණානේ.



මොකද මේ හරහා මිනිස්සුන්ට ඔවුන්ගේ හැකියාවන් ඉදිරිපත් කරන්න වේදිකාවක් නිර්මාණය වුණා. මේ වෙනකොට අර අපි හොඳයි කියලා හිතපු දේ අනෙක් පැත්තට කැරකිලා තියෙන්නේ. ඒ කාලේ කෙළින් කතා කරන්න බැරි කොන්ද පණ නැති මිනිස්සු කැලෑ පත්තර ගැහුවා වගේ දැන් සමාජ මාධ්‍ය ඇතුළේ ෆෙක් ප්‍රොෆයිල්ස් සෑහෙන තියෙනවා. ඒ හරහා වෛරීසහගත, අනවශ්‍ය දෙල් සමජගත කරනවා. මේ තත්වය සමනය කරන්න පුළුවන් වෙනත් නිර්මාපකයන්ට විතරනේ. මම හිතන්නේ අපි සමාජ මාධ්‍ය සාක්ෂරතාවයක් ගොඩනඟාගන්න ඕනි. පුරවැසියෝ විධියට අපි තේරුම් ගන්න ඕනි අපිට අවශ්‍ය ගැළපෙන දේ පමණක් තෝරා ගන්න.