මගේ දරුවා මතක් වෙන වාර අනන්තයි - ලෝචනා ඉමාෂි

Thursday, September 23, 2021 , 0 Comments





කටකාර ලෝචනාගේ හිත හොඳ බව කලා ක්ෂේත්‍රයේ උදවිය නම් හොඳින්ම දන්නවා. ලෝචනා අනුන්ගේ දුකකදි ‍කොන්දේසි විරහිතව උදව් කරන බව දන්නේ ඇයව සමීපව ඇසුරු කරන අයයි ඇයගෙන් උදව් ලබාගත් අයයි විතරයි. මේ කොරෝනා කාලේ අසීරුවෙන් ඉන්න හුඟාක් අයට කිසිම ප්‍රසිද්ධියක් නැතුවම ලෝචනා උදව් කළා. ඒ අතරෙ දරුවන් වෙනුවෙන් උදව් කරන්න ඇය Child Care By Lochana පදනම පිහිටුවා ගත්තා. ඇගේ  අලුත් විස්තර ගැන ෙමලස පුවත්පතක් සමඟින් පවසා තිබුනා.


කොහොමද ලෝචනා?

තාම පණ කෙන්ද රැකගෙන ජීවත් වෙනවා ඉතිං.


කෝරෝනාවට හොඳටම බය වෙලා වගේ?

බය නෑ කිව්වොත් ඒක බො‍රුවක්. හැබැයි මම බය මං නිසා වෙන කවුරුහරි ආසාදිතයෙක් වෙනවා නම්. මොකද මගේ ගෙදර අම්මා, තාත්තා, ආච්චි ඉන්නවා. ඒ අයට මම නිසා කරදරයක් වෙනවට මම කොහෙත්ම කැමැති නෑ. ඒ වගේම වෙන කෙනෙක්ට වුණත් මම රෝග වාහකයෙක් වෙනවට කැමැති නෑ.


ඒ වුණාට පහුගිය දවස්වල කොරෝනා රෝගීන් සිටින වාට්ටුවකටත් ගියා නේද?

ඔව්. කළුබෝවිල රෝහලේ කොරෝනා වාට්ටුවට ගියා.


ලෙ‍ඩ්ඩු බලන්න දෙන්නෙ නැහැනේ?

ලෙඩ්ඩුන්ව බලන්න නෙමෙයි. ඒ අය වෙනුවෙන් පොඩි පරිත්‍යාගයක් කරන්න ගියේ.


මොකක්ද පරිත්‍යාගය?

ලෙඩ්ඩුන්ට උණුවතුර බොන්න විදුලි බොයිලේරුවක අඩුපාඩුවක් තියන බව මගේ හිතවතෙක් කිව්වා. මම මගේ ඥාති සහෝදරයා එක්ක කළුබෝවිල රෝහලට ගියේ බොයිලේරු දෙකක් දෙන්න. ඒක අවශ්‍ය වුණේ කොරෝනා වාට්ටුවට නිසා අපි ඒ වාට්ටුවටම ගිහින් දුන්නා.


බය හිතුණෙ නැද්ද?

බය හිතුණා. ඒත් අපි අවශ්‍ය සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කරලා ගියේ. පීපී කිට්ස් නම් ඇන්දෙ නෑ. මාස්ක්, ‍ෆේස් ෂීල්ඩ් දාලා පරිස්සමට ගිහින් ආවා.


රෝගීන්ගේ වේදනාව දැනුණද?

අපි යනකොටත් අසාධ්‍ය වුණ වයසක අම්මා කෙනෙක් ට්‍රොලියෙ දාගෙන අරන් යනවා. ඇඳන් උඩ, පුටුවල රෝගීන් ඉන්නවා දැක්කා. ගිහින් කතා කළේ නම් නෑ. ඇත්තටම මට ඒක දරා ගන්න බෑ. හැබැයි වෛද්‍යවරු සහ රෝහල් කාර්ය මණ්ඩලය කරන කැප කිරීම නම් අගය කරන්නම ඕනේ. අපි ගියේ බයෙන්. ඒත් ඒ අය රෝගීන් සමග හැසිරුණේ හරිම සාමාන්‍ය විදියට. අවශ්‍ය සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කරලා තමන්ට වඩා රෝගීන් ගැන සැලකිලිමත් වෙන ඒ අය ඇත්තටම දෙවිවරු.


කරාපිටියේ රෝහලටත් යන්න සූදානමක් තියනවා නේද?

ඔව්. කොරෝනා ළමයින් ඉන්න වාට්ටුවෙ දරුවන්ට කෑම වේලක් දෙන්න හිතුවා. ඒ දරුවන් දවස් ගාණක් කන්නේ රෝහලෙන් දෙන කෑම එකනේ. පොඩි දරුවො එකම විදියට වඩා වෙනස් විදියට කන්න ආසයිනේ. මේ වෙලාවෙ කන්න අපහසුකමින් ඉන්න දරුවන්ට කෑම වේලක් දෙන එකත් ලොකු දෙයක්නේ. ඒ නිසා තව දවස් දෙක තුනකින් දරුවන්ට කෑම අරන් මම කරාපිටියේ රෝහලට යනවා.


ඇයි මේ තරම් පුංචි දරුවන්ට උදව් කරන්නේ?

ඇත්තටම මගේ පුතා නිසා. මට එයාව මතක් වෙන වාර අනන්තයි. අම්මෙක්ට දරුවෙක්ගෙන් ඈත් වෙලා ඉන්න බෑ. මම ඒ වේදනාව විඳිනවා. ඒ වේදනාවට පුංචි හරි සහනයක් වෙන්නයි මම අසරණ දරුවන්ට උදව් කරන්නේ.


ඇයි ලෝචනා පුතා ළඟට යන්නෙ නැත්තේ. නැත්නම් පුතා ගෙන්න නොගන්නේ?

ඒක කරන්න පුළුවන් නම් මම මෙච්චර වේදනා විඳින්නෙ නැ. නෙදර්ලන්තය තාමත් ලංකාවට රතු එළි පත්තු කරලා තියෙන්නේ. මම තාම එහෙ පුරවැසියෙක් නෙමෙයිනේ. ඒ නිසා මට යන්න බෑ.


ලසන්තට පුතාගෙ වැඩ කටයුතු තනියම කරන්න පුළුවන්ද?

ඒ නම් පුදුම තාත්තෙක්. පුතා තමයි එයාගෙ පණ. වෙන කෙනෙක් නම් මං ගැන කේන්ති ගන්නවානේ. ඒත් එයා දරුවගෙ වැඩ කටයුතු කිසිම කන්කෙදිරියක් නැතුව මටත් වඩා හොඳට කරනවා. ඒ නිසා තමයි මම සැනසීමෙන් ඉන්නේ.


පුතාගෙ උපන් දිනය වෙනුවෙනුත් ලෝචනා දරුවන්ට උදව් කළා?

ඔව්. රිජ්වේ රෝහලේ කොරෝනා හැදුණු දරුවන් 35 දෙනෙකුගේ පවුල්වලට උදව් කළා. ඒ අයට අවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය දුන්නා. ඇත්තටම මම ඒ දේවල් කළේ ප්‍රසිද්ධියක් ගන්න බලාගෙන නෙමෙයි.


එතකොට Child Care By Lochana පදනම කියන්නේ මොකක්ද?

මම මෙචචර දවස් උදව් කළේ මගේ වියදමින්. ඒත් මම ලොකු කෝටිපතියෙක් නෙමෙයිනේ. මම මේ පදනම හදා ගත්තේ දරුවන් වෙනුවෙන් උදව් කරන්න ඉදිරිපත් වෙන දානපතියන්ට ඒ සඳහා සහයක් ලබා දෙන්න. මොකද උදව් කරන්න අවශ්‍ය අයට දැන් තියන ප්‍රශ්නය තමයි හරියටම උදව් අවශ්‍ය කෙනා අඳුනාගන්න අපහසුකම. මගේ ‍ෆේස් බුක් එකට ඉන්ස්ටග්‍රෑම් එකට උදව් අවශ්‍ය අය ගැන ඕනෑ තරම් නිවැරදි තොරතුරු ලැබෙනවා. උදව් කරන්න කැමැති අයට මම අවශ්‍ය සම්බන්ධීකරණය කරනවා. මම ඒ අයගෙන් සල්ලි අරගෙන ගිහින් දෙන්නෙ නෑ. මගේ පදනමින් කරන්නෙ උදව් අවශ්‍ය අය හඳුනා ගෙන ඒ අයව සම්බන්ධීකරණය කරලා දෙන එක.


රංගනයට ආරාධනා ලැබුණෙ නැද්ද?

ආරාධනා ලැබෙනවා. ඒ චරිතෙට ඕනෙමයි කියනවා. ඊට පස්සෙ ගාණ කිව්වාම ආයෙ කෝල් එකක්වත් නෑ.


ඒ කියන්නෙ ලෝචනා හරි ගණන්?

මට ජනප්‍රිය වෙන්න අවශ්‍ය නෑනේ. ජනප්‍රිය වෙන්න අඩු ගාණට වැඩ කරන්නත් බෑනේ. වැඩ නැත්නම් ගෙදර ඉන්නවා. අඩු ගාණට වැඩ කරන්නේ නෑ.


හිමේෂා සවන්තී රාජපක්ෂ