මට මේ කුමරු කවුදෝ දුන්නේ කියා අදත් මා හිත­නවා - සබීතා පෙරේරා

Monday, May 17, 2021 , 0 Comments




කිසිදු රිදුමක් සීරුමක් නැති සුමුදු මල් ඕවිල්ලක දරුවන් හොවා නළවන්නට හැම අම්මා කෙනකුටම සිහිනයක් තිබේ. සිතට කයට කිසිදු වේදනාවක් නොදැනෙන සුවපහසු දිවියක් දරුවන් වෙනුවෙන් දෙන්නට අම්මා කෙනකු දකින සිහින තුළ දරුවා වෙනුවෙන් ඇයට දරා ගන්නට හැකි උපරිමය ද රැඳී පවතී. කුසෙන් ඇකයට පැමිණි බිලිඳු පුතු ගැන ප්‍රවීණ රංගන ශිල්පිනී සබීතා පෙරේරා  ෙමලස පුවත්පකට විස්තර කියා තිබුනා.


අක්කා ලා දෙදෙනාත් නංගිත් සමඟ ගැහැනු ළමයින්ම හතර දෙනකු සිටින පවුලක දැරියක් ලෙස ඉපදුණු මම පිරිමි සහෝදරයෙකුගේ ආදරයක් විඳ ගත්තා නම් ඒ නෑදෑ සහෝදරයකුගෙන් පමණයි. පවුලේ පිරිමි දරුවෙක් නොවීම හේතුවෙන්ම පිරිමි සහෝදරයන්ට, පිරිමි දරුවන්ට මගේ හිතේ විශේෂ කැමැත්තක් තිබුණා. ජීවිතයේ එක්තරා අවස්ථාවක හමු වූ නිවැරදිවම මතකයේ නැතත් මතක් වෙන විදියට විශ්වාස කළ හැකි කවුරුන් හෝ පුද්ගලයෙක් දිනෙක පැවසුවා ඉදිරියේ දී මට ගුණයහපත් සුන්දර පිරිමි දරුවකු හිමිවෙන බව. පිරිමි දරුවන් නැති පවුලක ඉපදීමත් ඒ පුද්ගලයා ගේ ප්‍රකාශයත් යන හේතු දෙකම ඉතා තදින් හිතේ රැඳී තිබූ නිසාම දවසක මට පුතෙක් ලැබෙනවා නම් කෙතරම් අපූරුද කියන සිතිවිල්ල හැමදාමත් මගේ හිතේ කොනක තිබුණා. ඒ දැකපු හීනය ඒ විදිහටම සැබෑ කරමින් මගේ පුතා මා ළඟට ආවා.


පුතු ඉපදුණු මුල් දිනවල සිටම මම පුතා නළවන්න නිතරම වගේ ගැයූ ගීතයක්, සිසිර සේනාරත්නයන් ගේ ‘මාගෙ පුතුට මල් යහන සදන්නේ‘..... පුතාට තේරෙන වයසට එනකන්ම  මම හැමදාම  පුතා නළවන්න ඒ ගීතය ගායනා කළා. එහි මුල් කොටසේ පදවැල් මගේ පුතු වෙනුවෙන් ගයන්නට මටම ලියූ ලෙසින් මට දැනුණා. හැම අම්මා කෙනෙක්ම දරුවන් වෙනුවෙන් සුවපහසු ජීවිතයක් සකස් කරන්නට සිහින දකිනවා. ඒ ගීතයේ මුල් පද මගේ සිත බෙහෙවින් ඇද බැඳ තබා ගත්තා.


මම ඒ ගීතය කියමින් පුතුන් නැළවූ බව දැනුත් පුතාට කියන විට ඔහු බොහොම සංවේදීව මා දෙස බලා සිටිනවා. ඒ ගීතය සමඟ කුමක්දෝ සාංසාරික හැඟීමක් මගේ හිතට තදින්ම දැනුණා. පුතා ගැන දැනෙන ආදරය ඔහු ටිකෙන් ටික වැඩෙන විට හිතට දැනෙන හැම සංවේදී හැඟීමක් ම ඒ අපූරු ගී පදවැල් තුළ සහ මියුරු සංගීතය තුළ කැටි වී තිබුණා.


ඒ ගීතය චිත්‍රපට ගීතයක්. ජෝ අබේවික්‍රමයන් කුඩා දරුවකු සමඟ පෙනී සිටින ඒ ගීතයේ රූප රාමුවලින් කියැවෙන කතාවෙන් අම්මා කෙනකුගේ හැඟීම් කියවෙන්නේ නැති වුණත් ඒ පදවැල ආදරේ ගැන කියවෙන අපූරු සංකල්පනාවක්.


මම හැමදාමත් වගේ පුතාලට වැඩිපුර ඇලුම් කරපු කෙනෙක්. මට ඉන්නෙ එක පුතෙක් විතරක් වුණාට තව දරුවෙක් ලැබුණා නම් ඒත් පුතෙක් වෙනවට මම කැමැතියි. දුවලාට තිබෙන අකමැත්තක් නෙවෙයි. නමුත් පුතාලට මගේ හිතේ විශේෂ ආදරයක් කැමැත්තක් තිබෙනවා.


හැම මොහොතකම පුතාව ආදරය කරුණාව පිරුණු, මිනිසුන් වටහාගන්න, මහ පොළොවේ පය ගසා ජීවත්වන මිනිසෙක් කරන්නට මම හැමදාමත් උත්සාහ දැරුවා. පුතා තවමත් අධ්‍යාපනය හදාරනවා. මේ වන විට ඔහු ඔහුගේ උසස් අධ්‍යාපන කටයුතු ඔස්ට්‍රේලියානු විශ්වවිද්‍යාලයකින් හදාරන අතර covid virus තත්ත්වය නිසා දැනට ලංකාවේ සිට ඔන්ලයින් ඉගෙනීමේ කටයුතු සිදු කරනවා.


මොන වැඩ කටයුතු තිබුණත් ඔහු යාළු මිත්‍රකම්, නෑදෑකම් අලුත් කරගනිමින් ඒ හැම දෙනා සමඟම බොහොම සමීපව කටයුතු කරන සංවේදී දරුවෙක්. එදා මම ගී ගයා නැළවූ පුංචි පුතු දැන් ලොකු මිනිහෙක්. ඒත් තවමත් මල් යහන් තනන්නට සිහින දුටු ඒ පුංචි කුමාරයා මගේ හදවතේ ජීවත් වෙනවා. ඔහුගෙන් මා විඳගත් කිරි සුවඳ ඒ ළපටි සිනාව තවත් මට දැනෙනවා, පෙනෙනවා. කිරි දරුවකුගේ සිට කඩවසම් තරුණයෙක් දක්වා වැඩුණු පුතු දිහා බලාගෙන මට මේ කුමරුන් කවුදෝ දුන්නේ කියා අදත් මම හිතනවා.