Breaking News

ඥානසාර හිමිගේ බන්ධනාගාර ඇඳුමට ජම්පරය වෙනුවට විකල්පයක්

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් බන්ධනාගාරය තුළදී අඳින ඇඳුම පිළිබඳව 1990 ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු යටතේ ශ්‍රේෂ්ඨාධිකරණ අර්ථ නිරූපණයක් ඉල්ලා සිටිමේ හැකියාවක් පවතින බව, කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය, ප්‍රතිභා මහනාමහේවා පවසයි.

චුදිත භික්ෂුන් වහන්සේ

වෙනුවෙන් ඇප ඉල්ලා සිටියදී එම අර්ථ නිරූපණය ඉල්ලා සිටීමේ හැකියාව පවතින බව ඔහු පැවැසුවේය. ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සිරදඬුවම් නියම වීමෙන් අනතුරුව බන්ධනාගාරය තුළදී 'ජම්පරය' ඇදීමට සිදුවේද යන කරුණ සම්බන්ධව කළ විමසුමකට ප්‍රතිචාර දක්වමින් ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා එසේ පැවසීය.

එසේම ඇප ඉල්ලීමක් සිදුකොට ඒ හරහා තමන් වහන්සේට 'ජම්පරයක්' නොව වෙනත් සුදුසු ඇඳුමක් දැරීමට බන්ධනාගාර කොමසාරිස්වරයාගෙන් අවසර ඉල්ලීමක් සිදුකිරීමේ ඉඩක් පවතින බවද ඔහු කීය. අධිකරණයට අපහාස කිරීම වැනි චෝදනාවක් එල්ල වීමෙන් භික්ෂුවකට සිරදඬුවම් නියම වූ අවස්ථා බන්ධනාගාර ඉතිහාසයේ අල්ප බව, අවශ්‍ය නම් සංඝයා වහන්සේට මැදිහත් වී බුද්ධශාසන අමාත්‍යංශය හරහා මේ සම්බන්ධයෙන් ඉල්ලීමක් කළ හැකි බවද හෙතෙම පැවැසීය.

මේවා විකල්ප ඉල්ලීම් පමණක් බවත්, බන්ධනාගාර නීතිය තුළ ඇඳිය යුතු ඇඳුම පැහැදිලිවම දක්වා ඇති අතර ස්වාමීන් වහන්සේට යැයි විශේෂයක් කොට වෙනත් ඇඳුමක් ඒ වෙනුවට සඳහන් කර නොමැති බවත්, ආචාර්යවරයා කීවේය. කෙසේ වෙතත් මෙහි අවසාන තීරණය බන්ධනාගාර කොමසරිස්වරයා සතුව පවතින බව වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

-හර්ෂනී අර්සකුලරත්න-