අලෙවිය අඩාල කරන්න පැණි බීම වර්ගවලට බදු වැඩි කරයි

ලෝක සෞඛ්‍ය සංවිධානය සකස් කළ පැණි බීම වර්ග සඳහා බදු වැඩි කිරීමේ යෝජනාවලිය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ බාරදීම පසුගිය
දා සිදු විය.

එම යෝජනාවලිය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත Dr. Razia Pendse මහත්මිය විසින් සෞඛ්‍ය අමාත්‍යවරයාට එම යෝජනාවලිය භාරදුන් අතර සෞඛ්‍ය අමාත්‍යවරයාගේ විශේෂ ඉල්ලීම මත මෙම යෝජනාවලිය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සකස් කර ඇත.

දියවැඩියාව වැඩිහිටියන් සහ ළමා පරපුර අතර පැතිර යන රෝගයකි. ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට 10 ක් දියවැඩියාවෙන් පෙළෙන අතර, සෑම වසරකදීම සෞඛ්‍ය සම්පන්න ජීවන වර්ෂ 52,000ක් පැණිබීම පරිභෝජනය හේතුවෙන් අහිමි වෙයි. සෑම වසරකදීම පැණි බීම පරිභෝජනය හේතුවෙන් රුපියල් බිලියන 28 ක මුදලක් ද විනාශ වෙයි. අලෙවිකරණය හා දැන්වීම් කරණය හේතුවෙන් පැණිබීම පරිභෝජනය ඉහළ ගොස් ඇත. දිළිඳු නාගරික ජනතාව පැණිබීම වර්ග බහුලව භාවිත කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි. එම ජනතාව පළතුරු, කිරි වැනි සෞඛ්‍ය සම්පන්න ආහාර සදහා වැඩි අවධානයක් යොමු නොකරයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය ඉදිරිපත් කර ඇති යෝජනාවලියට අනුව බදු අය කිරීමේ විකල්ප ප්‍රතිපත්ති කිහිපයක් හඳුන්වා දී තිබේ.

මිලිලීටර් 100 පැණිබීම වර්ග බෝතල සඳහා එකතු කරන සීනි ග්‍රෑම් 01 වෙනුවෙන් රුපියලක නිෂ්පාදන බද්දක් අය කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය සිය යෝජනාවලියෙන් යෝජනා කර ඇත.

ඉදිරියේ දී මෙම යෝජනාවලිය අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරිමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි.
Previous Post Next Post