
ලෝචනාට ලසන්තව මුණගැහෙන පෙම්බර මොහොත උදාවුණේ කවදද ?
අපි හමුවුණේ 2015 වර්ෂයේ. කාලයක් මගේ දෙමවුපියන් මට විවාහයක් කරල දෙන්න උත්සාහ කරමින් සිටියේ. මට විවාහ වෙන්න කෙනෙක් හොයනව කියලා මගෙ යාළුවො දැනගෙන හිටියා. සේමිණි
ඉද්දමල්ගොඩ කියන්නෙ මගෙ යාළුවෙක්. සේමිණි අක්‌ක තමයි මේ විවාහ යෝජනාව ගෙනාවේ. සේමිනි අක්‌ක මට ලසන්තගේ දුරකථන අංකයවත් ලසන්තට මගේ දුරකථන අංකයවත් දුන්නේ නැහැ. දෙන්න මුණ ගැහිල ගැලපෙනවා නම් විතරක් කතා කරන්න කියලයි එයා කිව්වේ. සේමිණි අක්‌කා අපේ ගෙදරටත් ලසන්ත ගැන කියලා එක දවසක මම නුවර සජීවී වැඩසටහනක් කරමින් ඉන්න අවස්‌ථාවක අක්‌කා මාව මුණ ගැහෙන්න එක්‌ක ආවා.
එදා අපි දෙන්නටම මේක විවාහ යෝජනාවක් කියන හැඟීමක් තිබුණේ නැහැ. විහිළුවෙන් වගේ ඔහේ කතා බහ කළා. මගේ හිත වුණත් එක පාරටම එයාට ගියේ නැහැ. ඒ කතාබහෙන් පස්‌සේ මම මගේ වැඩසටහනට ගියා. ලසන්තට එදාම නැවතත් නෙදර්ලන්තයට පිටත්වීමට නියමිතව තිබුණ නිසා එයා නැවත නෙදර්ලන්තයේ රැකියාවට ගියා.
ඊට පස්‌සේ ?
අපි ස්‌කයිප් එකෙන් කතා කරන්න පටන් ගත්තා. අපි දෙන්න දැන හඳුනා ගත්තා. එයාලගේ ගෙදරින් හා අපේ ගෙදරින් අපි ගැන කතා බහ කළා. ලසන්ත ලංකාවට ඇවිත් අපිට ඇසුරු කරන්න කාලයක් තිබුණා. ඊට පස්‌සෙ අපි තීරණය කළා විවාහ වෙනව කියලා.
මේක කරදර බාධකවලින් තොරව ගලා ගිය ප්‍රේම කතාවක් වගෙයි?
අපිට ප්‍රශ්න ඇති වුණේ නැහැ. ඒත් හැම දෙයක්‌ම ගැලපුණේ නැහැ. නමුත් නොගැලපෙන තැන් හඳුනාගෙන ඒවා වෙනස් කරගෙන අපි දෙන්න සාමකාමී ජීවිතයක් අරගෙන යනවා.
රටවල් දෙකක ජීවත්වන ක්‍ෂේත්‍රයන් දෙකක රැකියා කරන දෙන්නෙක් එක් කෙනෙක් බවට පත් කළ අවස්‌ථාව?
එයාට මගේ ක්‌ෂේත්‍රය ගැන අවබෝධයක් තිබුණා. මොකද මම රංගන ශිල්පිණියක් වුණාට එයාට නිෂ්පාදකවරයෙක් විදිහට ක්‌ෂේත්‍රය ගැන අවබෝධයක් තිබුණා. ඒ වගේම බටහිර රටක ජීවත්වෙන කෙනෙක් විදිහට කෙනෙකුගේ නිදහස මෙන්ම වෘත්තීය ජීවිතය ගැන එයා තේරුම් අරන් හිටියේ.
නමුත් විවාහයත් එක්‌ක රංගන දිවියට බලපෑම් ඇතිවෙන්න ඇති නේද ?
අපි කතාබහ කරල තමයි හැම දෙයක්‌ම තීරණය කරන්නේ. ලසන්ත මට එහෙම නීති රීති දැම්මේ නැහැ. දැන් දරුවා ඉන්න නිසා ඒ ගැන හිතන්න කියනවා. මට නිර්මාණයකට ඇරයුමක් ලැබුණම මම එයාට ඒ ගැන කියනවා. එයා කවදාකවත් මට එපා කියල නැහැ. එයා මාව තේරුම් අරන් ඉන්නේ.
ඒත් අද දෙන්න දෙපළක ඉඳන් ආදරය විඳින්න සිද්ධ වෙලා නේද ?
තාක්‍ෂණය දියුණු නිසා ළඟ ඉන්නම ඕනෑ කියන එක දැනෙන්නේ නැහැ. නිතරම අපි අන්තර්ජාලයෙන් දකිනවා කතා කරනවා. දැන් දරුවා තමයි එයාගෙ මුළු ලෝකයම. එයාට හැමදාම දරුවගේ හොඳම කාලය. ඒ නිසා එයාට හැම වෙලාවම දරුවා බලන්න ඕනෑ. ඒ නිසා ඉන්ටර්නෙට් එකෙන් දරුවා බැලුවට එයාට මදි. එයාට දරුවා ළඟ ඉන්න ඕනෑ. අපි ළඟදිම නැවතත් එයා ඉන්න රටට යනවා.
බොහෝ දෙනකුගේ ආදරයට පාත්‍රවුණ හිතකට අයිතිකාරියක් වන ලෝචනා ගේ ලෝකයේ ඔහුගේ ප්‍රේමයට තියෙන ඉඩ ?
මට ඇත්තටම ආදරය කරන ගොඩක් දෙනෙක් ඉන්නවා. එහෙම කියල මට එයාගේ ආදරය කොතැනකදීවත් පුංචියට දැනිලා නැහැ. ලසන්ත මගේ පවුලේ අය මගේ රසිකයන් අතර මම හරි ආදරණීය ජීවිතයක් ගත කරනවා.
ඔබ ලද ආදරයේ නාමයෙන් ලද වටිනාම තිළිණය මොකක්‌ද ?
මට ලැබුණු වටිනාම තෑග්ග තමයි මගේ දරුවා. ඊට වඩා වටින තෑග්ගක් මට කවදාකවත් ලැබෙන එකක් නැහැ. ලැබිලාත් නැහැ.
ධම්මිකා සුරංජි පතිරණ (Divaina)


Tags:
Celebrity