එයා ඇහුවම මම එක පයින් කැමති වුණා - අසන්ති රණසිංහ

අසන්ති හොරෙන්ම විවාහ වුණා නේද?

මෙහෙමයි මගේ බර්ත්ඩේ පාටි එක ජනවාරි මාසෙ ගොඩක්‌ ලොකුවට ගත්තා. ඒ වෙලාවෙ මම හැම යාළුවෙකුටම මේ ගැන කිව්වා.

අඩු ගානෙ ක්‍ෂේත්‍රයේ අයටවත් කියල නැහැනෙ

ඇත්තටම කියනවා නම් අපි දෙන්නට ඉන්න යාළුවෝ බැලුවම ඒ හැමෝටම කියලා වෙඩින් එකක්‌ ගන්න වෙනම හෝල් එකක්‌ හදන්න වෙනවා. ඒ නිසා අපි තීරණය කළා දෙපැත්තෙ නෑදැයින්ට විතරක්‌ ආරාධනා කරන්න.

මේ වෙන කොට මිතුරු මිතුරියන්ගෙන් දොaෂාරෝපණ ගලා ගෙන එනවා ඇති.

ඒක නම් එහෙම තමා ඒත් ඉතින් ඇත්ත තත්ත්වය පැහැදිලි කරල දුන්නම හැමෝම ඒක පිළිඅරන් සුබ පතනවා.

ඔබේ අතගත් ඒ වාසනාවන්තයා කවුද?

ඔහු ප්‍රශාන් නානායක්‌කාර. බොහෝ ව්‍යාපාර කටයුතුවලට සම්බන්ධ වෙලා ඉන්න අතරතුර ගී්‍රන් ලංකා සමාගමේ අධ්‍යක්‌ෂ ධුරය දරනවා.

ඔබ දෙදෙනා දැන හඳුන ගන්නේ

ප්‍රශාන් අවුරුදු ගානක ඉඳලා අපේ පවුලේ හිතවතෙක්‌. මුලින් අපි යාළුවෝ විදියටයි ආශ්‍රය කළේ පස්‌සේ පෙම්වතුන් වුණා.

කවුද මුලින්ම විවාහ යෝජනාව ගෙනාවෙ

ප්‍රශාන්. මං ගැන තිබුණ අවබෝධය නිසා මාව විවාහ කර ගන්න ලැබුණොත් හොඳයි කියලා එයා හිතුවලු.

ඒ වෙලාවෙ අසන්ති මොකද කිව්වෙ

එක පයින්ම කැමති වුණා. දන්න කියන අදහස්‌ ගැලපෙන කෙනෙක්‌ගෙන් විවාහ යෝජනාවක්‌ ආවම මොනවද තව හිතන්න තියෙන්නෙ. ඒක මගේ ලොකු වාසනාවක්‌.

ගෙදරින් මේ සම්බන්ධයට කැමති වුණාද?

ඔව්. පවුලේ හිතවතෙක්‌ විදියට ප්‍රශාන් ගෙදර හැමෝගෙම හිත දිනාගෙන ඉන්න කෙනෙක්‌නෙ.

ජනප්‍රියත්වය නිසා ඔහු ඔබට සහකාරිය ලෙස තෝරා ගත්ත කිව්වොත්

අනේ නෑ. මට වඩා සමාජයේ වැඩිය ජනප්‍රිය එයා. අවුරුදු ගානක ඉඳලා තිබුණ හිතවත්කම් තුළින් මං ජීවත් වෙන ක්‍රමය හැම අතින්ම තේරුම් ගත්ත කියලා තමයි සැමියා කියන්නෙ.

ඔහු සතු ඔබ දකින විශේෂ ගුණාංග

අසාමාන්‍ය විදියට අවංකයි. යාළුවන්ට, ඥතීන්ට හරිම හිතවත්. හැමෝටම එක වගේ ආදරෙයි. ලොකු පොඩි භේද එයා ගාව කොහොමටවත් නෑ.

තනිකඩ ජීවිතේට වඩා විවාහ දිවිය සුන්දරයි කියල හිතනවද?

අනිවාර්යයෙන්ම. විවාහයත් එක්‌ක ආදරය ආරක්‌ෂාව වගේ දේවල් අපිට වැඩියෙන් ලැබෙනවා. එහෙම වෙද්දී ජීවිතේ නිකම්ම සුන්දර වෙනවා. ඒ සුන්දරත්වය රැක ගන්න අපිත් දැනගන්න ඕන.

ඔබේ රඟපෑම්වලට ඔහු කැමතිද?

හරිම කැමතියි. මගේ හොඳම විවේචකය වගේම හැම අතින්ම මාව දිරිමත් කරන්නෙ ඔහු.

ඒත් ඉදිරියේදී කලා කටයුතුවලට තහංචි වැටෙයිද?

කලා කටයුතුවලට මම තහංචි දාගත්තොත් මිසක එයා නම් කවදාවත් එහෙම කරන කෙනෙක්‌ නෙමෙයි. ප්‍රශාන් කලාව ගැන අවබෝධයන් තියන ඊට ආදරය කරන කෙනෙක්‌.

සැමියාගේ කටයුතුවලට ඔබ ලබා දෙන්නෙ මොනවගේ සහයෝගයක්‌ද?

ව්‍යාපාරික කටයුතුවලදී තීරණ ගන්න බැරුව ඉන්න කොට ඒ සඳහා මගේ දැනීමේ හැටියට මම ඒ සඳහා අදහස්‌ යෝජනා ගේනවා. ඒක එයාට ලොකු සහනයක්‌ වෙන බව මම දන්නවා. ඉදිරියේදීත් එයාගෙ මානසිකත්වය හරියට තියා ගන්න හැම උදව්වක්‌ම කරනවා.

විවාහ උත්සවය මීට වඩා ඉහළින් සැමරුවා නම් හොඳයි කියලා දැන් හිතෙන්නෙ නැද්ද?


නැහැ. අපි දෙන්නගෙම තීරණය වුණේ අඩු පිරිසකගේ සහභාගිත්වයෙන් වුණත් කරන ටික ඉහළින්ම කරන්න. ඒ දේ ඉෂ්ට වුණා. ආයෙ හිතන්න දෙයක්‌ නෑ.

සැමියගෙ දෙමව්පියන් ඔබ ගැන මොනවද කියන්නෙ

ඒ අය මට සියයට සියයක්‌ කැමතියි කියලවත් සියයට සියයක්‌ අකමැතියි කියලවත් නෑ. අවස්‌ථාවට අනුව මට හොඳ ලේලියක්‌ වෙනවා ඒ අයට.

සද්ද බද්ද දාලා ගන්න වෙඩින්වල පැවැත්ම අඩුයි කියන කතාවට බයද?

ඕවා මොන බොරු කතාද? නිකම්ම නිකන් රෙජිස්‌ටාර් ළඟට ගිහින් කසාද බඳින අයගේ විවාහ ජීවිතත් අවුල් වෙන වෙලාවල් තියෙනවා. කොහොම වෙඩින් ගත්තත් ඉන්න අය එකට ඉන්නවා. බැරි අය වෙන් වෙනවා.

ඔබට හොඳ බිරිඳක්‌ වෙන්න පුළුවන්ද?


ඇයි බැරි. මා ළඟ ඊට සුදුසුකම් තියන නිසානෙ ප්‍රශාන් මාව ඒ සඳහා තෝරා ගත්තෙ. මම හැම වෙලාවෙම ඔහුගේ ඒ තෝරා ගැනීමට නිසි වටිනාකමක්‌ දීලා හොඳ බිරිඳක්‌ වෙනවාමයි.











ධම්මික හේවාවසම් (දිවයින)
ඡායාරූප - නදුන් බදුගේ
Previous Post Next Post