මම වේගෙන් වැඩ කරන්නේ නැහැ-නිලක්‍ෂණී රත්නායක

gossiplanka image 1
ඩිංගා ආදරය හොයමින් 16 වැනිදා ඉඳලා කොළඹ සැරිසරන්න පටන් ගත්තා. ‘ඩිංගා’ ඔබේ කතාව නොවුණට ඔබේ ළඟම එක්කෙනෙකුගේ ඔබේ හිතවතකුගේ මල්ලියෙකුගේ කතාව වෙන්න පුළුවන්. ඉතිං කොළඹ ආදරය හොයාගෙන යන ඩිංගාට හේෂානිව හම්බ වෙනවා. ඊට පස්සේ හරි අපූරු වැඩ තමයි සිද්ධ වෙන්නේ. ඉතිං මේ ඩිංගා ගැන හරියට ම දන්නේ හේෂානි. හේෂානි අපිට ඩිංගා ගැන කියන්නයි හදන්නේ. ඩිංගා කතාවේ හේෂානි කවුද කියලා දන්නවාද එයා තමයි නිලක්‍ෂණී රත්නායක. මෙතැනින් එහාට තියෙන්නේ නිලක්‍ෂණී ඩිංගා ගැන කියන කතාව.


“ඩිංගා කියන්නේ මීට අවුරුදු අටකට විතර කලින් කරපු වැඩක්. මේ වැඩේ කරද්දි අපිට ලොකු විශ්වාසයත් තිබුණා. ඒ මොහොතෙන් මිනිස්සු මේක වැලඳ ගනිවී කියලා. දැන් කාලය වෙනස්. 2018 ඉඳලා මේ වෙනකම් පසුගිය අවුරුදු අට ඇතුළේ මොනතරම් නම් දේවල් සිද්ධ වුණාද? ගිය අවුරුද්දේ ඇති වුණ සිනමාවේ පිබිදීමත් එක්ක අපිට විශ්වාසයක් තිබුණා ඩිංගා මිනිස්සු බලයි කියලා. හැබැයි මේ කතාව අදට පරණයි ද වගේ අදහසක් තිබුණා නමුත් පසුගියදා පවත්වපු මංගල දර්ශනය වගේම මාධ්‍ය දර්ශනයේදී ඒ අදහස සම්පූර්ණයෙන් වෙනස් වුණා.


හේෂානිට හම්බවුණ ඩිංගා ගැන දැන් නිලක්‍ෂණී කියන්නයි හදන්නේ.


ඩිංගා කියන්නේ ඩිලංග රංගනාත්ගේ පළමු අධ්‍යක්‍ෂණය, 2018 වසරේ මට මේ සඳහා ආරාධනා කරද්දීත් විශේෂයෙන් මම සිනමා තීරයේ රඟපාපු කෙනෙකුත් නෙමෙයි. හැබැයි ජ්‍යෙෂ්ඨ අධ්‍යක්‍ෂවරුන් වන අශෝක හඳගම, ප්‍රසන්න විතානගේ,


ලලිත් රත්නායක වගේ අධ්‍යක්‍ෂවරු සමග වැඩ කරලා තිබුණට ලොකු අත්දැකීමක් තිබුණ කෙනෙක් නෙමෙයි. හරි පොඩි සීමිත ධාවන කාලයත් තිබුණ චරිත තමයි කරලා තිබුණේ. අවදානමක් අරගෙන ඩිලංකගේ පළමු වැඩේට මාව විශ්වාස කරලා එච්චර ලොකු තිරධාවන කාලයකට තෝරාගැනීම පිළිබඳව ඔහුට ස්තුතිවන්ත වෙනවා.


ඩිංගාගේ කතාව නිලක්‍ෂණී අතට අරගෙන කියවාගෙන යනකොට කිසිම බයක් දැනිලා නැහැ.


හරිම පිළිවෙළකට ලියපු පිටපතක් තමයි මගේ අතට හම්බවුණේ. මේක ඇතුළේ කතා කරන හැම වචනයක්ම පිටපතේ තිබුණ කතාව කියවගෙන යනකොට ඩිංගා හරියට ම පැහැදිලියි. මට ඇත්තට ම තේරුම්ගන්න බැරිවුණේ හේෂානිව. ඩිලංග පිටපතේ ලියපු හේෂානි කවුද එයා හිතන ගෑනු ළමයා කවුද කියලා එයාගේ ඇස් දෙකෙන් හොයා ගන්න මට සෑහෙන මහන්සි වෙන්න වුණා.


ඩිංගාට හමුවුණු හේෂානි වගේ චරිත නිලක්‍ෂනීට සැබෑ ජීවිතයේ මුණ ගැසිලා තියෙනවාද?


හේෂානි මේ වගේ මනුස්සයෙක් කියලා මට එක මනුස්සයෙක් හම්බවෙලා නැහැ. හේෂානි කියන්නේ මිශ්‍රණයක්. මගේ වටා ඉන්න ගැහැනු ළමයින්ගේ මිශ්‍රණයක් තමයි හේෂානිට පාවිච්චි කළේ.


දිගු කාලයකට පස්සේ ඩිංගා එක්ක නිලක්‍ෂණී හෝල්වලට ඇවිත්,


මම රංගනයෙන් දායක වුණු චිත්‍රපටයක් තිරගත වෙන්නේ අවුරුදු දෙකකට විතර පස්සේ. ඇත්තට ම මම නිහැඬියාවක් කියලත් හිතන්නේ නැහැ. මම අවුරුද්දෙන් අවුරුද්ද නිතිපතා මගේ නිර්මාණයක් එන්න ඕනෑ කියලා හිතන කෙනෙක් නෙමෙයි. 2018 අවුරුද්දේ ඩිංගා චිත්‍රපටය කරනකොටත් මම හිතුවේ නැහැ 2019 එළියට ඒවි කියලා. දුස්රා රූගත කළේ 2019 අවුරුද්දේ. තිරගත වුණේ 2024 අවුරුද්දේ. විෂම භාග රූගත කළේ 2017 අවුරුද්දේ තිරගත වුණේ 2019. අපේ රටේ සිනමාව හරියට ම ක්‍රියාත්මක වෙන විදිහේ ක්‍රමවේදයක් හැදිලත් නැහැනේ. ගිය අවුරුද්දේ තමයි මේ ගැන කතා බහක් ඇති වුණේ. ඇත්තටම දැන් තමයි ක්‍රමවේදයක් ගැන කතාබහ වෙන්නේ. ඉතිං එහෙම නිර්මාණයක් ඇතුළේ මම කොහොමත් බලාපොරොත්තු වෙන්නේ නැහැ අවුරුද්දෙන් අවුරුද්ද මගේ වැඩ එළියට ඒවි කියලා. මම කොහොමටත් එච්චර වේගෙන් වැඩ කරන්නේ නැහැ. රංගන ශිල්පනියක් විදිහට නිර්මාණකරණය සතුට විඳිනවා. අපි ඉගෙන ගත්තු දෙයක් චරිතයක් ඇතුළට දාලා ඒක නරඹලා මම විඳිනවා ඒක වෙනම එකක්. ඩිංගා එනකම් ඇත්තට ම ඇඟිලි ගැන ගැන හිටියේ.


ඩිංගා ලංකාවේ නැහැ. හැබැයි ඩිංගා හෝල්වලට ඇවිත්. තුසිත් ලක්නාත් එක්ක රූගත කළ අත්දැකීම් ගැනත් නිලක්‍ෂණී කතාබහ කළා.


මම වේදිකාවෙන් රඟපෑම පටන් ගත්තු කාලයේ ඉඳලා දන්න මනුස්සයෙක්. මට තුසිත්ව මුලින්ම මුණ ගැසුණේ වේදිකා නාට්‍යවලින්. මම වේදිකාවේ රඟපාන්න එනකොට තුසිත අයියා ජ්‍යෙෂ්ඨ නළුවෙක්, රචකයෙක්, අධ්‍යක්‍ෂවරයෙක්. මම ඔහුගෙන් ගොඩක් දේවල් ඉගෙන ගෙන තියෙනවා. මට ඔහු කූඹියෝ ටෙලි නාට්‍යයට රඟපාන්න කතා කළා. මොකද ඔහු තමයි කාස්ටින් ඩිරෙක්ටර් විදිහට වැඩ කළේ. ලක්මාල් ධර්මරත්න අයියාගේ කූඹියෝ ටෙලි නාට්‍යයේ උළුගෙදර සෙව්වන්දිගේ චරිතයට ආරාධනාව ලැබුණේ තුසිත අයියා ගෙන්. ඊට පස්සේ තිරයේ ලොකු ධාවන කාලයක් තියෙන චිත්‍රපටයක ඔහුත් එක්ක එකට වැඩ කරන්න හම්බවුණේ ඩිංගා චිත්‍රපටයේ තමයි.


නිලක්‍ෂණී සද්ද බද්දයක් නැතිව හෙමින් ගමනක් තමයි යන්නේ. ඒ කතාවටත් ඇයට හොඳ උත්තරයක් තිබුණා.


මම එහෙම වැඩ නොකර ඉන්නවත් නෙමෙයි. අනික මට හැමදේට ම කියලා ආරාධනා ලැබෙන්නේ නැහැ. ලැබෙන ආරාධනාවලින් මට කරන්න පුළුවන් කියලා හිතෙන දේවල් ටික විතරයි මම භාර ගන්නේ. ඒක හිතලා මතලා කරන දෙයක් තමයි ඒක ස්වාභාවිකවම වෙන දෙයක්.


ඩිංගා එක්ක කාලෙකින් නිලක්‍ෂණීට නිලක්‍ෂණීවම තිරයෙන් දකින කොට ඇතිවන හැඟීම මොනවගේ ඇතිද? ඒ ගැනත් ඇයට අදහසක් තිබුණා.


මේ වැඩ කරන කොට හිටපු නිලක්‍ෂණී නෙමෙයි දැන් ඉන්නේ. මම දැන් අත්දැකීමෙන් ජීවිතෙන් පරිණතයි. ඒ හිටපු කෙනා එක්ක මම කල්පනා කරන්නේ මම මොනවා හිතලද ඒ දර්ශන කළේ කියලා. එතකොට මගේ ඔළුවේ ගිය සිතුවිලි මොනවද? මම මේ විදිහේ චරිතයක් භාරගත්තේ මොකක් නිසාද කියලා මම දන්න හින්දා මම ඇත්තටම සතුටු වෙනවා ඒ මොහොතේ මම ඉගෙන ගත්තු හැමදේම ඒ චරිතයට යොමු කරලා තියෙනවා කියලා. මට දැන් තේරෙනවා දැන් මම නිළියක් විදිහට ඒ චරිතය දිහා බලද්දි ඒ චරිතයෙනුත් මම ගොඩක් දේවල් ඉගෙන ගන්නවා.


නිලක්‍ෂණී මේ දවස්වල ටෙලි නාට්‍යයක රූගත කිරීම්වලට සහභාගි වෙලා ඉන්නවා. ඒ ටෙලිනාට්‍ය කොටස් 40-ත් 60ත් අතර කෙරෙන වැඩක්. පසුගිය දවස්වල මම විශේෂ වැඩක් කළේ නැහැ. ඊට අමතරව මම කාලක් නර්තන සම්ප්‍රදාය ඉගෙන ගනිමින් ඉන්නවා. විනෝදාංශයක් විදිහට කළාට මම හිතනවා මගේ රංගනයට ඒක පිටිවහලක් කරගන්න පුළුවන් කියලා අපි රඟපානවා නම් තව විෂයන් ඉගෙන ගන්න ඕනෑ කියලයි මම විශ්වාස කරන්නේ. මම 2011 ඉඳලා වැඩ කරනවා දැන් අවුරුදු 15ක් විතර වෙනවා. නමුත් රඟපානවා කියන එක මොකක්ද කියලා දැන් තමයි තේරෙන්නේ. දැනුත් මට තේරෙන්නේ මදි කියලා. ඒක වැඩිදියුණු කරගන්න විවිධ විෂයන් අපි ඉගෙන ගන්න ඕනෑ. ඒකෙනුත් සෑහෙන හොඳ අත්දැකීමක් ගන්න පුළුවන්. ඉතිං මම ඒ දේවල් කරමින් ඉන්නවා.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
Previous Post Next Post