මැලේසියා ගමනින් පසු– ලොකු අයියාට උපහාරයක්

gossiplanka image 1
2017 වසරේදී සමාරම්භය සනිටුහන් කළ මැලේසියා අන්තර්ජාතික සිනමා උළෙල (MALAYSIA INTERNATIONAL FILM FESTIVAL( MIF Fest), 2025 වසර වනවිට ආසියානු භූ කලාපයේ ප්‍රමුඛතම අන්තර්ජාතික සිනමා උළෙල 20 අතරට එක්වීමට සමත් විය.


පසුගිය ජුනි 18 වැනිදා එහි 09 වැනි අදියර ආරම්භ වූ අතර ජූලි 25 වැනිදා ක්වාලාලම්පූර්හිදී පැවැත්වුණු මැලේසියා ගෝල්ඩන් ග්ලෝබල් සම්මාන උළෙල (MALAYSIA GOLDEN GLOBAL AWARDS ( MGG) සමග එහි නිමාව සටහන් විය. මෙම සම්මාන උළෙලේ ශ්‍රී ලංකාව නියෝජනය කළ ‘රිවර්ස්ටන්‘ චිත්‍රපටය ‘හොඳම චිත්‍රපටය’, ‘හොඳම අධ්‍යක්ෂක’, ‘හොඳම තිර රචනය’, ‘හොඳම නළුවා’ සහ ‘හොඳම සහාය නළුවා’ යන සම්මාන 05 වෙනුවෙන් නිර්දේශ වී තිබුණි.


9 වැනි මැලේසියානු ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙල2026(09th Golden Globe Award -2026), මැලේසියානු ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලේ දී (Malaysia InternatIonal FIlm Festival) ශ්‍රී ලංකාවේ ‘රිවස්ටන්’ චිත්‍රපටයේ රඟපෑ මහේන්ද්‍ර පෙරේරා හොඳම නළුවාට හිමි සම්මානයත්. ප්‍රියන්ත සිරි කුමාර හොඳම සහාය නළුවාට හිමි සම්මානයත් දිනාගත්හ. ජයග්‍රහණයෙන් පසුව මහේන්ද්‍ර පෙරේරා දිනපතා දිවයින සිනමා කලා සංග්‍රහයට පැවසුවේ මෙවැන්නකි.


‘ඇත්තටම සන්තෝසයක් ආවා. ලලිත් රත්නායක හොඳම අධ්‍යක්ෂවරයාට, හොඳම පිටපත් රචකයාට නිර්දේශ වෙලා තිබුණා. රන්දිකත් හොඳම නළුවාට නිර්දේශ වෙලා තිබුණා. ඔය අතරේ ප්‍රියන්ත සිරිකුමාර හොඳම සහාය නළුවාට නිර්දේශ වෙලා තිබුණා. හොඳම චිත්‍රපටයට හිමි නිර්දේශයත් එක්ක සම්මාන පහකට නිර්දේශවෙලා තිබුණා. අපි එක පවුලක් වගේ තමයි රිවස්ටන් චිත්‍රපටයේ වැඩ කරගෙන ගියේ. අපි හතතරදෙනාම මෙහෙම නිර්දේශවීම ගැන ලොකු සතුටක් වගේම ආඩම්බරයක් ආවා. මොකද ජාත්‍යන්තර සිනමා උළෙලක් සහ එම චිත්‍රපට උළෙල නියෝජනය කළ චිත්‍රපට බහුතරයක් කෑන්ස් වගේම ඇකඩමි ෆිල්ම් එවෝර්ඩ්වලට තරග කරපු චිත්‍රපට. ඒවාට නිර්දේශ වෙච්ච නළුවො සෙට් එකක් එක්ක තමයි මේ සම්මානය දින්නේ. මෙහිදී විශේෂයෙන් කියන්නම ඕනෑ කාරණාව තමයි අපේ ඇතුළත තිබුණ නිර්මාණශීලි කුසලතාවයන් එළියට අරගෙන ඇවිත් නිර්මාණශීලි අධ්‍යක්ෂණ කාර්යයක නිරත වුණු ලලිත් රත්නායක වගේම කැමරා අධ්‍යක්ෂවරයෙක් වශයෙන් විශාල කැපකිරීමක් කළ ප්‍රභාත් රෝෂන් වගේම නිෂ්පාදිකාවක් ලෙස අපිව කිසිම අපහසුතාවකට පත් නොකර අපිට උපරිම සහයෝගය ලබාදීපු නිමන්ති පෝරගේට මේ අවස්ථාවේ විශේෂ ස්තූති කිරීමක් සිදුකරන්න ඕනෑ.


සම්මාන උළෙලේදී ලද ඇගැයීම් ගැනත් කතා කළොත්?


ඒක මහ විශාල සම්මාන උළෙලක්. විශාල නළු නිළියෝ ප්‍රමාණයක් සහභාගි වෙලා හිටියා. ඒක අනෙත් එක හරි විසිතුරුයි, හරි ආකර්ෂණීයයි. දිලිසෙනවා. ඒ වගේම ලස්සනට එම සම්මාන උළෙල සංවිධානය කරලා තිබුණා. සම්මානය ලැබුණාට පසුව හැම නළු නිළියකගෙන් වගේම ජූරියෙන් ලොකු අගයකිරීමක් ලැබුණා. මෙහිදී විශේෂයෙන් කියන්න ඕනෑ ඉන්දියාවේ අනුරාග් කාශ්‍යප් මාව ලොකු අගයකිරීමක් කළා. මාව බදාගෙන සුභ පැතුවා. ඔහුත් ඔහුගේ බිරිඳත් කිව්වෙ මම කැමැතිම නළුවා කියලා.ඒ වගේම උඹ ලංකාවේ Legendary ඇක්ටර් කෙනෙක් කියලා කිව්වා.


ඔබ රංගනයෙන් දායක වුණු සංජීව පුෂ්පකුමාරගේ අලුත්ම චිත්‍රපටයෙත් පොලිස් නිලධාරියාගේ චරිතය රඟපානවා ?


මම මුලින්ම කොස්තාපල් පුඤ්ඤසෝම කියලා කොමඩි පොලිස් නිලධාරියකුගේ චරිතයක් කළානේ. ඒකට පසුව තමයි සංජීව පුෂ්පකුමාරගේ මේ පොලිස් නිලධාරියාගේ චරිතය රඟපෑවේ. හැබැයි මේ පොලිස් නිලධාරියා සාජන්ට් කෙනෙක් නෙමෙයි. ඊට වඩා ඉහළ ලොකු නිලයක් හොබවන පොලිස් නිලාධාරියකුගේ චරිතයක්. ඉතිං සන්තෝසයි. මොකද පොලිස් නිලධාරීන්ගේ චරිත හතරක් පහක් මම විවිධ ආකාරයන්ට නිරූපණය කරන්න උත්සාහයක් දැරුවා. ඒකෙ යම්කිසි ප්‍රතිඵලයක් පේන්න තියෙනවා.


සංජීව පුෂ්පකුමාරගේ ගේ විහඟ ප්‍රේමයත් පසුගිය 07 වැනිදා ඉඳලා තිරගතවීම ආරම්භ වුණා නේද?


සංජීව පුෂ්පකුමාර සිනමා ජීවිතය පටන්ගන්න කලින් මම හුඟාක් ළඟින් ඇසුරු කළා. මගේ, නාවින්නෙ වැඩමුළු පවත්වන ස්ථානයට ඔහු නිතර එන යන පුද්ගලයෙක්. ඊට පසුව සංජීව කෙටි චිත්‍රපටයක් නිර්මාණය කළා, ඒකේ මමයි, වසන්ති රංවලයි රඟපෑවා. සංජීව පුෂ්පකුමාරගේ එදා ඉඳලා අවශ්‍යතාවයක් තිබුණා හොඳ අධ්‍යක්ෂවරයෙක් වීමට. කෙටි චිත්‍රපටයෙන් පසුව තමයි ඔහුගේ ගමන්මග පටන්ගත්තේ. මීට පෙර මම සංජීව පුෂ්පකුමාරගේ ‘දැවෙන විහඟුන්’ චිත්‍රපටයෙත් රඟපෑවා. ඒකෙත් දර්ශන පහක හයක විතර මම රඟපෑවා. ඒකටත් ලංකාවේ සිනමා සම්මාන උළෙලක මට හොඳම නළුවා සම්මානය හිමිවුණා. ඊට පසුව මම ඔහුත් එක්ක මේ සම්බන්ධ වන තුන්වැනි චිත්‍රපටය. ‘විහඟ ප්‍රේමය’ වෙනස්ම කතාවක්. ඔහු හරි ආදරයෙන් සහ කැමැත්තෙන් තමයි මට මේ චරිතයට ආරාධනා කළේ.


ඔබ වෙනුවෙන් චිත්‍රපට උපහාරයක් සංවිධානය වෙනවා නේද?


ඔව්, මට වයස දැන් අවුරුදු හැත්තෑවක්. සිනමාවට ඇවිත් අවුරුදු පණහක් වෙනව. මේ වෙනුවෙන් තමයි මහේන්ද්‍ර පෙරේරා උපහාර චිත්‍රපට සතිය කියල අගෝස්තු මාසේ 10 වැනිදා ඉඳන් 16 වැනිදා දක්වා පවත්වන්න මේක සංවිධානය වෙන්නෙ. දිනපතා හවස 6.30ට ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේ දී තමයි මේ චිත්‍රපට තිරගත වෙන්නෙ.


අගෝස්තු 10 බූඩි කීර්තිසේන අධ්‍යක්ෂණය කළ මිල්ලෙ සොයා, අගෝස්තු 12 ප්‍රසන්න ජයකොඩි අධ්‍යක්ෂණය කළ 28, අගෝස්තු 14 විමුක්ති ජයසුන්දර අධ්‍යක්ෂණය කළ සුළඟ එනු පිණිස, අගෝස්තු 15 ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ පැරඩයිස්, අගෝස්තු 15 අතුල ලියනගේ අධ්‍යක්ෂණය කළ බඹරවළල්ල, අගෝස්තු 16 ප.ව. 3.30 ට සුදත් මහදිවුල්වැව අධ්‍යක්ෂණය කළ කළු සුදු සහ අළු, සහ ප.ව. 6.30 ට අශෝක හඳගම අධ්‍යක්ෂණය කළ සඳ දඩයම. මගේ රසික රසිකාවියන් හැම දෙනාටම මේ චිත්‍රපට සියල්ලම නොමිලේ නරඹන්න පුළුවන්.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
Previous Post Next Post