කුසල් කොහොමද වේදිකා නාට්‍ය වැඩකටයුතු එහෙම?
මේ දවස්වල උදයසිරි වික්‍රමරත්නගේ ‘හරිම බඩු තුනක්’ නාට්‍ය සමග රට පුරා වගේම ලෝකය පුරා යන ගමන් ඉන්නේ. ඊට පස්සේ චාලක රණසූරියගේ ‘සඳුදා වැටෙන්නේ සිකුරාදාට’, ධර්මප්‍රිය ඩයස්ගේ ‘මම නෙමෙයි වෙන කෙනෙක්’, සචිත්‍ර රාහුබද්ධගේ ‘හිතට වැදුණු මිසයිල’ කියන නාට්‍යවල දර්ශනවාර සඳහා සහභාගි වෙලා ඉන්නවා.
‘හරිම බඩු තුනක්’ වේදිකා නාට්‍යයට ප්‍රේක්ෂකාගාරයෙන් ලැබෙන සජීවී ප්‍රතිචාර අත්දැකීම මොනවගේද?
වේදිකා නාට්‍යයක් කියන්නේ ඇත්තටම සජීවී මාධ්‍යයක්. ඒක හැම වෙලාවෙම වෙනස් හැඟීමක් අපට ගෙනත් දෙනවා. අපි දර්ශනවාර සියයක් කළා නම් විධි සියයක් තමයි දකින්න ලැබෙන්නේ. සෑම දර්ශන වාරයකදීම
‘හරිම බඩු තුනක්’ කියන්නේ කාලීන ප්‍රහසනයක්ද?
මේ නාට්‍යයේ තුන් දෙනෙක් Pub එකක හරි මොකක හරි තැනක මත්පැන් පානය කරමින් වෙරිමතින් කියන කතා ටිකක් තමයි අඩංගුවෙලා තියෙන්නේ. ඒකට මේ මොහොතේ ලංකාවේ තිබෙන දේශපාලනික කෑලි, මේ මොහොතේ ලංකාවේ තියෙන දේවල් නිරන්තරයෙන් රචකයා සමග කතා බහ කරමින් අප්ඩේට් වෙමින් යන නිර්මාණයක්. මේක ප්‍රේක්ෂකය අතරට යන්න ඒක තමයි දැඩිම හේතුව.
මේ නාට්‍ය තුනෙන් වැඩිපුරම ප්‍රතිචාර ලැබෙන්නේ මොන නාට්‍යයටද?
ඇත්තටම මේ මොහොතේ මම ඉන්න නාට්‍යවලින් හරිම බඩු තුනක් වේදිකා නාට්‍යයට ඉහළම ප්‍රතිචාර ලැබෙනවා.
ඔය අතරේ ‘සඳුදා වැටෙන්නේ සිකුරාදා’ නාට්‍යයටත් ඉහළ ප්‍රතිචාර ලැබෙනවා නේද?
අනිවාර්යයෙන් චාලක රණසූරිය කියන්නේ ඉතාමත් දක්ෂ පිටපත් රචකයෙක් සහ අධ්‍යක්ෂවරයෙක්. මේ වෙද්දිත් ඔහුගේ නවතම වේදිකා නාට්‍යයේ පුහුණුවීම් කටයුතු කරගෙන යන්නේ. ඔහුගේ නවතම නිර්මාණයටත් දායක වෙන්න ලැබීම ගැන මම සතුටු වෙනවා. ඉදිරියේදී ඒ නිර්මාණය ප්‍රේක්ෂකයාට නරඹන්න පුළුවන්. පෝරකේක මඟුස්කෑම තමයි එහි නම.
‘පෝරකේක මඟුල්නෑම’ පුහුණුවීම් එහෙම කොහොමද?
ඒකත් හතර දෙනෙක්ගෙන් යන නිර්මාණයක්. ඇත්තටම ඒකේ පුහුණුවීම් කටයුතු සහ පිටපත් කියැවීම සිදුවෙමින් පවතිනවා. චාලක අයියාගේ රචනාව හරි ලස්සනට දකින්න පුළුවන් වේදිකා නාට්‍යයක්. පුහුණුවීම් සිදුකරලා ප්‍රේක්ෂකයන්ට ගෙනඑන්න සුදුසුම වෙලාවේදී මංගල දර්ශනය පවත්වන්න සූදානමින් ඉන්නේ.
එතෙර ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකාගාරයෙනුත් මේ වෙනකොට වේදිකා නාට්‍යවලට හොඳ ප්‍රතිචාර ලැබෙනවා නේද?
ඒක විශේෂයි. මීට කලින් හිටපු ජ්‍යෙෂ්ඨ නළු නිළියන්, අධ්‍යක්ෂවරුන් කරපු නාට්‍ය විදෙස්ගත වෙලා ඒ දර්ශනවාර වලටත් ඉහළ ප්‍රතිචාර ලැබිලා තිබෙනවා. හැබැයි පසුගිය කාලයේ ඒක යම්කිසි මට්ටමකට ගිලිහිලා තිබුණු වෙලාවක නැවතත් විදෙස් සංචාර සඳහා හොඳ වටපිටාවක් නිර්මාණය වුණා. ඒ වගේම කිලෝමීටර් දෙසීය තුන්සිය දුර කතර ගෙවාගෙන ඇවිත් නාට්‍ය නරඹලා යන පිරිසකුත් ඉන්නවා.
වේදිකා නාට්‍යකරුවෙක් විදිහට අපි හැමදාම බලාපොරොත්තු වෙච්ච තැන නැතිනම් යම් මට්ටමක් තමයි අපේක්ෂා කළේ. ඒ මට්ටම බිහිවෙමින් තිබෙනවා කියලා හිතෙනවා.
මෑත කාලයේ වේදිකා නාට්‍යවලට ලොකු පිබිදීමක් තිබෙනවා. ඒ වගේම වේදිකාවට ඇල්මක් දක්වන ප්‍රේක්ෂකාගාරයක් නිර්මාණය වෙමින් පවතිනවා. මොකද ඒ ගැන හිතෙන්නේ?
ඒක තමයි ඇත්තටම ජීවිතයේ තිබෙන විශේෂම දෙය. වේදිකා නාට්‍යකරුවෙකුටත් වැඩිය අපේ අම්මලා, තාත්තලා, පුංචිලා, බාප්පලාගෙන් අහල තිබුණ සිනමාවේ එක වකවානුවක තිබුණු පිබිදීම මෑත යුගයේ අපි ජීවත්වෙලා ඉන්නකොටම අපිට අත්විඳින්න ලැබුණා. චිත්‍රපටයක් බලන්න ටිකට් එකක් වෙන් කරගන්න සෑහෙන පෝලිමක ඉන්න සිද්ධ වෙනවා. අපේ අම්මලා කිව්ව හා සමාන වේදිකාවේ පිබිදීම ඒ වගේම වේදිකාවේ පිබිදීමත් සිද්ධ වුණා. ප්‍රේක්ෂකයෝ නිර්මාණවලට ආදරය කරන්න පටන් අරගෙන තිබෙනවා. ඒක හොඳ තත්ත්වයක්.
කුසල් මධුරංග කියන තරුණ නාට්‍යකරුවා වේදිකාව උඩ තමන්ගේ ජවය මුදා හරින්න නිතරම උත්සාහ කරනවා. ඇයි ඒ?
මේ මොහොතේ තමයි කරන්න පුළුවන්. මම හැමදාම කියන කාරණාවක් තමයි අපි ටෙලිනාට්‍යයකට රංගනයෙන් දායකවීම මත වේදිකාවේ ප්‍රේක්ෂකාගාරයට ගෙන්නවා ගන්න පුළුවන් වුණා. අපි මුලින්ම වේදිකා නාට්‍යකරුවෝ. පස්සේ තමයි අපි ටෙලිනාට්‍ය රංගන ශිල්පියෝ වුණේ. නමුත් අපි ටෙලිනාට්‍යය රංගනයෙන් දායකවීම දැකලා ඒ පුද්ගලයා වේදිකා නාට්‍යයක පෝස්ටරයක ඉන්නවා දැකලා ඒ හින්ද අපි වේදිකා නාට්‍යයක් බලන්න එනවා කියන තැනටත් ආවා. මට වේදිකාව ඉවහල් වුණා පුංචි තිරය දිනන්න. එක මොහොතක වේදිකාව දිනන්න පුංචි තිරය ඉවහල් වුණා.
පුංචි තිරයේ ‘පාරදිගේ බණ්ඩාගේ’ චරිතය ඔබේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් වුණා කියලා හිතෙනවාද?
අනිවාර්යයෙන්ම. අදටත් හම්බවෙන ප්‍රේක්ෂකයෝ සියයක් හම්බ වුණොත් ඒකෙන් හැත්තෑවක් කියන්නේ බණ්ඩා ගැන.
බණ්ඩා ගැන අද වෙනකොට මොකද හිතෙන්නේ?
ඔන්න දැන් ආයෙමත් ඒ රූපවාහිනි ආයතනය පාර දිගේ නාට්‍යය දහවල් වරුවේ ප්‍රදර්ශනය කරනවා. ආපහු දවල් වරුවට යන නාට්‍ය නරඹලත් ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් බණ්ඩාගේ චරිතයට තිබෙනවා.
බණ්ඩා ජනප්‍රිය නළුවා කළ රයිගම් ටෙලි සම්මාන උළෙල මතකද?
භෞතික දේවල් පවා පරණ වෙන්න පරණ වෙන්න තමයි අපිට වටිනාකම වැඩි වෙන්නේ. සමහර මතක ඒ සම්මාන උළෙලේ ජනප්‍රියම නළුවා වීම. පාර දිගේ නාට්‍යය කියන දේවල් පරණ වෙන්න වෙන්න තමයි වටිනාකම තියෙන්නේ. සමහර වෙලාවට ඒ සම්මානය ගත්ත වීඩියෝව යූටියුබ් එකේ, ටික්ටොක් එකේ සර්චි කරලා නරඹලා නිදිය ගන්න වාරත් අනන්තයි. අප්‍රමාණයි. මොකද ඒක ජීවිතයේ අමුතුම අත්දැකීමක්. ඒකට මුළු රටක් ලෝකයක් ආශිර්වාද කළා. ඒ සම්මානය සම්බන්ධයෙන් මේ ලංකාවේ සතුටුනොවිච්ච පුද්ගලයෙක් නැති තරම්. ඒ වගේ සම්මානයක් ලැබීම ගැන මම හරියටම සතුටු වෙනවා.
ඔබව මේ දිනවල අපූරු ටෙලිනාට්‍ය දෙකකින් දකින්න ලැබෙනවා?
ඇත්තටම පාර දිගෙන් පස්සේ විශාල ප්‍රේක්ෂකාගාරයක් හැදිච්ච හොඳම නාට්‍යයක් තමයි පාට කුරුල්ලෝ. ඉතිං ඒ නිර්මාණයටත් ඉතා හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒ කියන්නේ බණ්ඩාව අමතක වෙමින් මංජිතගේ පිබිදීම සිද්ධ වුණේ, පාට කූරුල්ලෝ ටෙලිනාට්‍ය තුළින්. අපිත් ඒක හරි ආසාවෙන් කරන නාට්‍යයක්. දැන් ඒකේ කොටස් සෑහෙන ප්‍රමාණයක් විකාශය වෙලා තිබෙනවා. එක පවුලක් වෙලා තියෙන්නේ. ඒ දර්ශන තලයත් දැන් අපිට හුරු පුරුදු තැනක් වෙලා. මෙහි රංගන දායකත්වය ලබාදෙන පිරිසකුත් දැන් අපේ පවුලේ කොටස්කාරයෙක් වෙලා තියෙන්නේ. ඔය අතරේ විවේචනත් තියෙනවා.
ඔය අතරේ අනුෂ ප්‍රියබාහු අධ්‍යක්ෂණය කරන ලද තුසිත පෙරේරා නිෂ්පාදනය කරන ටැක්සිකාරයා ටෙලිනාට්‍යයත් මේ දිනවල විකාශය වෙනවා. ටැක්සිකාරයා ගැන කතාබහ කරද්දී මට කියන්න තියෙන එකම දෙය තමයි මිෂෙල් දිල්හාරා සෑහෙන්න මේ වැඩේට උදව් කරන රංගන ශිල්පිනියක්. එහි පිරිසත් ඉතාම හොඳයි. මීට ගොඩාක් කාලෙකට කලින් කරපු ටෙලිනාට්‍යයක්. ඒකටත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.
මරදාන ‘ටවර් එකේ, එල්ෆින්ස්ටන් එකේ නාට්‍ය නරඹලා රාත්‍රියට පයින් ගෙදර ගිය අතීතයට ගියහම අද වෙනකොට මොනවගේ හැඟීමක්ද තියෙන්නේ?
අපිව අදටත් ජීවත් කරන්නේ ඒ අත්දැකීම් තමයි. ජීවිතයට පන්නරය ගන්න පුළුවන් අදටත් මොන මහන්සිය තිබුණත් උදේට නැඟිටින්න පුළුවන්. මේ විදිහට කොහොම හරි වැඩ කළමනාකරණය කරන්න පුළුවන් හැකියාව ලැබුණේ ඒ කාපු කටු එක්කයි. ඒ කාපු කටුවල ප්‍රතිඵල අද ලැබෙමින් පවතිනවා.
ඔබ වේදිකාවෙන් ජීවිතය ජයගන්නවා කියන අභිප්‍රාය අතහැරියේම නැහැනේද?
දන්න කියන කලෙ ඉඳලම වේදිකාව එක්කයි ඔට්ටු වුණේ. මෑත කාලයේ මට එංගලන්ත සවාරියක් යන්න හම්බ වුණා, උදයසිරි අයියාගේ නාට්‍ය කණ්ඩායම සමග. එහිදී උදයසිරි අයියා, නිලාන් වර්ණජිත් වගේම ඉෂාර අයියාට, මට ලොකු අවස්ථාවක් ලැබුණා ලෝක ප්‍රසිද්ධ ශේක්ස්පියර්ගේ ගෙදරට යන්න. ශේක්ස්පියර් විලේජ් එකේ තියෙන ශේක්ස්පියර්ගේ ගෙදරට ඕනෑම කෙනෙකුට ටිකට් එකක් අරගෙන ගිහිල්ලා බලන්න පුළුවන්. ඉතිං අපිත් ශේක්ස්පියර්ගේ කතාන්දර ඇහැව්වේ පොත්පත්වලින්. ජුලියස් සීසර් වගේ නාට්‍ය ඇහැව්වේ අපි විෂය නිර්දේශ ඇතුළේදී. ශේක්ස්පියර්ගේ ගෙදරට යන්න ලැබුණේ මම වේදිකා නාට්‍යයක් කරපු හින්දා. මම වේදිකා නාට්‍යයක් කරපු හින්දානේ මාව එංගලන්තයට ගෙන්නුවේ. ඉතිං මම කවදාවත් හිතපු නැති දෙයක්. ශේක්ස්පියර්ගේ ගෙදර බලන්න පුළුවන් වෙනවා කියන්නේ වාසනාවක්. වේදිකාවට කරපු මහන්සියට වේදිකාවට කරපු භක්තියට පෙරළා දුන්න ත්‍යාගයක් හැටියට තමයි මම ඒ දේ දකින්නේ. වේදිකාවට හලපු දහදිය ටික ආපහු එයා ආපස්සට අපිට දුන්නා.
මට ඇත්තටම පිටරටකට එන්න කිව්වේ ටෙලිනාට්‍යයක් කරන්නවත් සින්දුවක් කරන්නවත් නෙමෙයි. වේදිකා නාට්‍යයක් රඟපාන්නයි. ඉතිං කොහොමද වේදිකාව අමතක කරන්නේ.
සෑහෙන කාලයක ඉඳලා වේදිකා නාට්‍ය රඟපානවනේ. අධ්‍යක්ෂණය කිරීම කියන අභියෝගය භාරගන්න සූදානම් නැතිද?
මම කෙටිනාට්‍ය තුනක් විතර කරලා තියෙනවා. ලියලා අධ්‍යක්ෂණය සිදු කළේ මීට ගොඩාක් කාලයකට කලින්. ඇත්තටම අද වේදිකා නාට්‍යයක් කරන්න ආසාවක් තියෙනවා. අපි ඉදියේදී බලමු. එහෙම කරනවා නම් නිෂ්පාදකවරු පවා හම්බ වෙලා තියෙනවා. හුඟ දෙනෙක් ඒ කාර්යය දිහා බලාගෙන ඉන්න හින්දා වගේම මගේ කාර්යබහුල තත්ත්වයත් එක්ක මොකක්ද ඒ නිර්මාණය. ඒක පරිවර්තනයක් ද ඒක ස්වතන්ත්‍රයක් ද මූල්‍යමය අරමුණක් උදෙසා ද යන්න බුද්ධිමය ගනුදෙනුවක් උදෙසා ද යන්න කියන හැම කාරණාවක් ගැනම හිතන්න වෙලා තියෙනවා. ඒ ඔක්කොම ටික බලලා ප්‍රේක්ෂකයන්ගේ ඔළුවට යන්න ලස්සන නිර්මාණයක් කරන්න ලොකු ආසාවකින් ඉන්නවා. ඉදිරියේදී බලමු.