පිස්සෙක්ගේ චරිතයක් රඟපාන්න ආසයි -සහීෂ සුපසන්

gossiplanka image 2
 


සහීෂ සුපසන් දිවාකර වයස අවුරුදු තුනේදී කලා ලෝකයට පායා ආ ළමා තරුවකි. එතෙක් මෙතෙක් කාලය තුළ ඔහු ටෙලි නිර්මාණ, වෙ‍ෙළඳ දැන්වීම් රංගනය, හඬ කැවීම්, නිවේදන ඇතුළු අංශ බොහෝ ගණනකට සිය හැකියාවන්ගෙන් දායකත්වය ලබා දී ඇත. අද රසඳුන පිටුවක් වෙන් වන්නේ ඔහු සමඟිනි.


සහීෂ කොහොමද තොරතුරු ?


මං දහය වසරේ ඉගෙන ගන්නේ. සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වෙන්න ඕන නිසා මං දැන් වැඩිය කලා නිර්මාණ භාර ගන්නේ නැහැ. හඬ කැවීම් කටයුතු, “පුංචි තරුත් එක්ක ආයුබෝවන් දෙරණ” රේඩියෝ හඬ කැවීම් වැඩ ටික කරගෙන ඉන්නවා. පහුගිය දිනක මම සම්බන්ධ වුණු ජාතික රූපවාහිනියේ විකාශය කළ “The Lake” ටෙලි නාට්‍ය අවසන් වුණා.


තව පෞද්ගලික විස්තර ටිකක් දැන ගන්න කැමතියි.


මං ඉන්නේ පිළියන්දල. මේ අවුරුද්දට මට වයස පහළොව ලබනවා. කොළඹ ලුම්බිණි විද්‍යාලයේ.


මගේ පවුලේ ඉන්නේ අම්මයි, තාත්තයි, නංගිලා දෙන්නයි, මමයි, තාත්තා විදේශගත වෙලා ඉන්නේ. විදේශගත වෙන්න කලින් නම් තාත්තා තමයි මාව රූගතකිරීම්වලට එක්ක ගෙන ගියේ. දැන් එක්ක යන්නේ අම්මා. අම්මටත් එන්න බැරිවෙන වෙලාවලදී මාව එක්ක යන්න එන්නේ ලොකුචූටි මාමා.


සහීෂ කලාවට සම්බන්ධ වුණේ කොහොමද කියලා මතක් කරමුද ?


පොඩි කාලේ ඉඳලම මම කලාවට හරිම ආසයි. ඉස්සර මට තැනක් නොතැනක් නෑ ටීවි එකේ යන වෙ‍ෙළඳ දැන්වීම්වල දර්ශන රඟපාලා පෙන්නනවා. දවසක් හර්ෂණ වික්‍රමසිංහ මාමා මගෙ වැඩ දැකලා ප්‍රවීණ චිත්‍රපට හා වේදිකා නාට්‍ය අධ්‍යක්ෂක සුගත් සමරකෝන් මාමාට මාව හඳුන්වලා දුන්නා. මුලින්ම මම සුගත් සමරකෝන් මාමා අධ්‍යක්ෂණය කරපු “ අපේ කාලේ පටාචාරා” චිත්‍රපටයට තමයි සම්බන්ධ වුණේ.


පාසලෙන් ලැබෙන සහයෝගය කොහොමද?


පාසලෙන් මට ඉතාම හොඳ සහයෝගයක් ලැබෙනවා මේ වැඩකටයුතු වලට. සමහර අවස්ථාවල්දී කලාකටයුතු වෙනුවෙන් මගේ බාහිර පෙනුම වෙනස් කරන්න වෙනවා. එහෙම අවස්ථාවල විදුහල්පතිතුමියට ඒ ගැන කීවම ඇය මට උපරිම සාධාරණයක් කරනවා. ඒ වගේම තමයි මගේ ගුරු මණ්ඩලයත් අධ්‍යාපන කටයුතුයි, කලා කටයුතුයි සමබරව කරගන්න කියලා උපදෙස් ලබා දෙනවා. මගේ යාළුවෝ ටික මට මඟහැරෙන සටහන් ටික එහෙම ලබා දෙනවා.


මේ වෙනකොට සැලකිය යුතු නිර්මාණ සංඛ්‍යාවකට ඔබ දායක වෙලා තියෙනවා. ඒ ගැනත් කතා කරමු.


නම් වශයෙන් කියන්න ගියොත් සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. ඒ අතරින් කීපයක් මම කියන්නම්. “සිල්ලර කාසි, ඉලංදාරි හැන්දෑව.පෝය ටෙලි නාට්‍ය වලින් අඳුරෙන් එළියට, The Lake, දෑස මත මොහොතක්, මිහි, අම්මා වගේ, ඒ හීනේ” වගේ ටෙලි නිර්මාණ මේ වෙලාවෙදි මතක් කරන්න පුළුවන්. ඒ වගේම ප්‍රසිද්ධ වෙළඳ සන්නාම රැසක වෙ‍ෙළඳ දැන්වීම්වලට මම දායක වෙලා තියෙනවා. “පුංචි තරුත් එක්ක ආයුබෝවන් දෙරණේ’ පුංචි නිවේදකයෙක් විදියට වැඩකටයුතු කරනවා. මම Fm දෙරණ එක්ක වසර දහයක ඉදන් සම්බන්ධ වෙලා වැඩ කරනවා. ඊට අමතරව කාටූන්වල සහ විදෙස් නාට්‍ය නිර්මාණ වල හඬ කැවීම් කටයුතු කරනවා. වෙ‍ෙළඳ දැන්වීම් වල හඬ කැවීම්වලටත්, රුවන්ති ද චිකේරා නැන්දගේ වේදිකා නාට්‍යයකටත් සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා.


ඒ වගේම ජනප්‍රිය මියුසික් වීඩීයෝ කීපයකටත් සම්බන්ධ වෙලා තියෙනවා. ඒ අතරින් “මං නුඹෙමද අහන සිතින්” කියන ප්‍රවීණ ගායන ශිල්පී ජගත් වික්‍රමසිංහ සර්ගේ ගීතයේ මියුසික් වීඩියෝව ගොඩක් ජනප්‍රිය වුණා. ඒකේ රඟපාන්නේ තාරුකා වන්නිආරච්චි නැන්දා, ධනංජය සිරිවර්ධන මාමා සහ මම. ඒ වීඩියෝ එකට මට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා.


කලා කටයුතු වලට අමතරව කරන දේවල් ගැනත් කියමුද?


විනෝදාංශයක් විදියට මම ලෝකේ අලුත් වන තොරතුරු හොයන එක තමයි කරන්නේ. මං ආසම විෂයය ගණිතය. කලාකටයුතුවලට අමතරව මම චෙස් සහ බැඩ්මිටන් ක්‍රීඩාවල නිරත වෙලා ඉන්නවා.


සහීෂ රංගනයෙන් දායක වුණු ටෙලි නිර්මාණ අතරින් ප්‍රේක්ෂකයා අතර වැඩියෙන්ම කතාබහට ලක්වුණු චරිතය මොකක්ද ?


ටීවි දෙරණ නාළිකාවේ විකාශය වුණු “මිහි” ටෙලි නාට්‍යයේ “සිතූප” ගේ චරිතය ප්‍රේක්ෂකයා අතර ජනප්‍රිය වුණු චරිතයක් විදියට හඳුන්වන්න පුළුවන්. මොකද ඒ දවස්වල ගොඩක් අය මට “සිතූප” කියලා තමයි කතා කළේ.


රඟපාන්න ආස කරන විදියේ විශේෂ චරිත එහෙම තියෙනවද ?


මම ආසයි මට අභියෝගයක්වෙන චරිතයක් කරන්න. උදාහරණයක් විදියට කීවොත් පිස්සෙක් ගේ චරිතයක්. එතකොට ඒ චරිතේ ගැන මම අධ්‍යයනය කරන්න ඕන, හොයන්න ඕන. අන්න එහෙම චරිතෙ ගැන පුළුල් හැදෑරීමක්, ගවේෂණයක් කරන්න ඕන විදියේ චරිත මට ලැබෙනවා නම් මං ගොඩක් ආසාවෙන් භාර ගන්නවා.


ඉදිරියේදි අපිට ටෙලි නිර්මාණවලින් ඔබව දකින්න පුළුවන්ද ?


මෙගා ටෙලි නාට්‍ය කීපයකට මට කතා කළා. නමුත් ඒ වැඩ භාර ගත්තෙ නැහැ. මොකද ලබන අවුරුද්දේ සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වෙන්න ඕන නිසා කලා නිර්මාණ එක්ක ගොඩක් කාර්යයබහුල වුණොත් අධ්‍යාපන කටයුතු මඟහැරෙනවා. ඉතින් මං හඬ කැවීම් සහ නිවේදන කටයුතු ටික තමා දැනට කරගෙන යන්නේ.


අනාගත බලාපොරොත්තුව මොකක්ද ?


ගුවන් නියමුවෙක් වෙන්න තමයි අනාගත බලාපොරොත්තුව. එහෙම වුණා කියලා මම කලාවෙන් නම් ඈත් වෙන්න බලාපොරොත්තුවක් නැහැ. හැමදාටම මම කලාවට ආදරෙයි, ගරු කරනවා. අම්මා කියන්නේ මම බහ තෝරන කාලේ ඉඳලම ගුවන් නියමුවෙක් වෙන්න ඕන කියලලු කීවේ. මගේ තාත්තත් ඒ ක්ෂේත්‍රයට සම්බන්ධ නිසා වෙන්නැති මටත් ඒ ආසාව එන්න ඇත්තේ.

gossiplanka image 1
Previous Post Next Post