මේක ෆ්‍රේම් බයි ෆ්‍රේම් කොපියක් නෙමෙයි - චරිත් අබේසිංහ

gossiplanka image 2
 


චරිත් අබේසිංහ අධ්‍යක්ෂණය කළ රයිගම් සමූහ ව්‍යාපාරයේ අධිපති ආචාර්ය රවී ලියනගේ නිෂ්පාදනය කළ MR. මිසිස් සිනමා නිර්මාණය එළැඹෙන 20 වැනිදා සිට ඊ. ඒ. පී. මණ්ඩලය ඇතුළු රටපුරා සිනමාහල් රැසක තිරගත කිරීම ආරම්භ කිරීමට නියමිතය. ඉතිං චරිත්ගේ නවතම සිනමා නිර්මාණය ගැන ඔහුත් සමග මීවිත පුංචි කතාබහක නිරත වුණා. පහතින් පෙළගැසෙන්නේ ඒ සංවාදයේ සංක්‍ෂිප්තයකි.


ඔබ අධ්‍යක්ෂණය කළ MR. මිසිස් මිසිස් එළැඹෙන 20 වැනිදා සිට තිරගත කිරීම ආරම්භ කරනවා. මෙම නිර්මාණය අධ්‍යක්ෂණය සඳහා මුල පිරුවේ කොහොමද?


මේ චිත්‍රපටයේ පිටපත ගිරිරාජ් කෞෂල්‍ය ලියලා යම්කිසි කාලයක් වෙනවා. ඊට පස්සේ ඔය චිත්‍රපටයේ පිටපත නිෂ්පාදක ආචාර්ය රවී ලියනගේ මහත්මයා තෝරාගත්තාට පසුව මට ආරාධනා කළා මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්න කියලා. මම මීට කලින් ටෙලිනාට්‍යයකවත් හාස්‍යජනක චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරලා නොතිබීම තුළ මම ඒක සතුටින් භාරගත්තා. හැබැයි මීට කලින් මේ තේමාව යටතේ චිත්‍රපට නිර්මාණය වෙලා තියෙනවා කියලා මට පිටපත කියවාගෙන යනකොට තේරුණා. හැබැයි ඉතිං ස්වතන්ත්‍ර නිර්මාණයකටත් වඩා අපහසුයි, සමහර වෙලාවට ඒ ජාතියේ නිර්මාණ ඊට කලින් විවිධ රටවල්වල නිර්මාණය කරතිබීම. එතකොට ඒවත් එක්ක නිතර නිතර සංසන්දනය වෙන නිසා අපි කොහොමද ඒ සංසන්දනය කිරීම තුළ අපේ චිත්‍රපටය හොඳ තැනකට අනෙක් ඒවාට සාපේක්ෂව ගේන්නේ කියලා. ලංකාවේ රසිකයාට ඔබින විදිහට ඒක අනුගත කරගන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳ අවබෝධයක් තියෙන්න ඕනෑ. ඉතිං මම හිතනවා ඒකට උපරිම සාධාරණයක් කරන්න අපේ නිෂ්පාදන කණ්ඩායමේ සියලුදෙනාම සමත් වුණා කියලා.

ප්‍රතිනිර්මාණයක් කරනකොට සාමාන්‍යයෙන් මුල් නිර්මාණයත් එක්ක උපරිම සංසන්දනය කරන්න බලනවා. ඕක තමයි ලංකාවේ ප්‍රේක්ෂකාගාරයේ හැටි. මේක ලේසි නැහැ. ඔබට ඒ අභියෝගය ජයගන්න පුළුවන්ද?


මොන නමින් මොන නිර්මාණයෙන් ආවත් ඔය තියෙන්නේ පිය සෙනෙහසනේ. එතකොට පියසෙනෙහසට තව හෙට අනිද්දාත් ඒ වගේම මතු අනාගතයේදීත් ඕනෑ තරම් චිත්‍රපට නිර්මාණය වේවි. ඕනෑ තරම් කවි ගී නිර්මාණය වේවි. මොකද පියසෙනෙහස එකිනෙකාට දැනෙන විදිහ වෙනස්. ඒ නිර්මාණවල පිය සෙනෙහස කියන කාරණාව අඩංගු වුණාට ඒවා අඩංගු වෙන කතා සාරය වෙනස් වෙන්න පුළුවන්. මේකේදී අපි උත්සාහ කළා ඒ විදිහේ චිත්‍රපට නිර්මාණය වෙලා තිබ්බාට ඒ චිත්‍රපටයේ සමහරක් දර්ශන අපිට ඕනෑ විදිහට නැවත ලියාගන්න. ගිරා අයියා ඒ වෙලාවේ අසනීප වෙලා හිටියේ. ඒ නිසා අධ්‍යක්ෂවරයා විදිහට මේක රූපයට නගද්දී අපි ඒ රූපයට නැගීමේ කාර්යය සඳහා යම් යම් වෙනස්කම් සිද්ධ කරගත්තා. ඒ සිද්ධ කරගත් වෙනස්කම් එක්ක අපි මේකට වෙන ආකෘතියක් හදාගත්තා. ඒ ආකෘතිය තුළ අර ප්‍රතිනිර්මාණය කරන නිර්මාණයේ යම් යම් ලක්ෂණ තියෙනවා තමයි. නමුත් අපි මේක ආරම්භයත් අවසානයත් ඔබ මීට කලින් බලපු චිත්‍රපට දෙකේම ආරම්භයත් අවසානයත් නොවන විදිහට සහ සමහර අපිට හිතුන අනවශ්‍ය දර්ශන ලංකා සිනමාවට සහ ලංකා ප්‍රේක්ෂකාගාරයට ගැලපෙන්නේ නැති දර්ශන අපි ඉවත් කිරීමටත් සමහර යම් යම් දර්ශන අලුතෙන් ඇතුළත් කිරීමටත් අපි කටයුතු කළා. ඒක දැන් තියෙන වර්තමාන මොඩර්න් ආර්ට් එකේ දේවල් පාවිච්චි කළා මේ නිර්මාණයට යාවත්කාලීන ස්වභාවයක් අරගෙන දෙන්න. ඉතිං මම කැමරා අධ්‍යක්ෂවරයා විදිහටත් අධ්‍යක්ෂවරයා විදිහටත් ඒකට වගබලාගන්නවා කියලා ඒ අභියෝගය භාරගත්තා. ඒක දැන් ප්‍රේක්ෂකයා තමයි තීරණය කරන්න ඕනෑ මේක බැලුවාට පස්සේ ඒකට සාධාරණයක් කරලාද කියලා.


ඔබේ මේ නිර්මාණයට විවිධාකාර විවේචන, විචාර එල්ලවෙන්න පුළුවන්. ඔබ ඒවා මොන විදිහටද භාරගන්න සූදානමින්ද ඉන්නේ?


මෙහෙමනේ. විචාර, විවේචන කියන එක කලාව තුළ හෝ ඕනෑම වෘත්තියක් තුළ එන්න පුළුවන්. ඒක සාමාන්‍ය දෙයක්. නමුත් දැන් ලංකාවේ තියෙන්නේ වැඩිම ආදායම් ලබපු චිත්‍රපට තුන හතර ඇතුලේ තියෙන චිත්‍රපටයක් තමයි ධර්ම යුද්ධය. දැන් මම හිතන්නේ දෙවැනි චිත්‍රපටයත් එනවා. එතකොට ඒ චිත්‍රපටය ලංකාවේ කට් ටූ කට් කොපිකරලා කියලා තියෙන්නේ. ඒවාට අපි කියන්නේ ෆ්‍රේම් බයි ෆ්‍රේම් කොපිකරලා හදපු චිත්‍රපට. එතකොට මේක ෆ්‍රේම් බයි ෆ්‍රේම් කොපිකරලා හදපු චිත්‍රපටයක් නෙමෙයි. ඒත් රසාස්වාදය පැත්තෙන් මිනිස්සු ඒක විනෝදාස්වාදීව පැත්තෙන් වින්දනය කිරීම පැත්තෙන් ආදායම් වාර්තා තියන ලෙවල් එකට මිලියන දෙසීයකටත් වඩා ආදායමක් උපයන ලෙවල් එකට චිත්‍රපටයේ ආදායම ගියා.



ඊට පස්සේ අපි බලලා තියෙනවා මායා. අන්තිමට සිහිනයකි ආදරේ. එතකොට ප්‍රවේගය. තව චිත්‍රපට තියෙනවා. ඔය වගේ සිංහල සිනමාව ඇතුළේම ප්‍රතිනිර්මාණය තුළින්ම සාර්ථකවෙච්ච නිර්මාණ. සමහර වෙලාවට මේ සිනමා ක්‍ෂේත්‍රය දැන් ස්වතන්ත්‍ර නිර්මාණවලින් බැබළෙන අවස්ථාවක් වුණාට ලංකාවේ සිනමාවේ අසීරු යුගයන්වලදී සිනමාවට යම්කිසි ප්‍රේක්ෂකාගාරයක් එකතුකරලා දුන්නේ මේ ප්‍රතිනිර්මාණය වෙච්ච චිත්‍රපටවල තිබිච්ච ඒ ප්‍රතිනිර්මාණාත්මක ගුණය හේතුවෙනි. ඒ නිසා මම ස්වතන්ත්‍ර නිර්මාණවල මේ වෙලාවේ තියෙන සාධනීය ස්වභාවය ඉතාමත්ම ඉහළින් අගය කරන ගමන් ප්‍රතිනිර්මාණය කිරීම සම්බන්ධව එදත් මට ඒවත් එක්ක විවේචනයක් තිබ්බේ නැහැ. මම ඒ නිර්මාණ රසවින්දා. අදත් මට එහෙම නැහැ. ඕක සම්පූර්ණයෙන්ම ප්‍රේක්ෂක රසාස්වාදය මත තියෙන දෙයක්. විචාරකයෝ පිළිබඳව අපිට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. විචාරකයෝ සිනමාවත් එක්ක බද්ධවෙච්ච දෙයක්. සිනමාව සහ විචාරය කියන්නේ මොකක්ද කියලා සිනමාව ඉගෙනගැනීමේදීම උගන්වන දෙයක්. ඒක මුහුණදෙන්න හැම සිනමාකරුවකුටම ශක්තියක් තියෙන්න ඕනෑ. ඒක ගැටලුවක් නෑ. විචාරකයන්ට විචාරය කිරීමේ අයිතිය තියෙනවා. ප්‍රේක්ෂකයන්ට රසවිඳීමේ අයිතිය තියෙනවා.—


දිනේෂ් විතාන

gossiplanka image 1
Previous Post Next Post