අපට විධිමත් බෙදාහැරීමේ ක්‍රමවේදයක් නැහැ – චත්‍ර වීරමන්

gossiplanka image 2
 


ආලෝකෝ උදපාදී සිනමා නිර්මාණය ඔබ වෙත තිළිණ කළ චත්‍ර වීරමන්ගේ දෙවැනි සිනමා නිර්මාණය ‘ආයු’ පසුගිය 02 වැනිදා සිට ඊ.ඒ.පී. මණ්ඩලය හරහා රටපුරා සිනමාහල් රැසක තිරගත කිරීම ආරම්භ කළා. ජෙනරාල් දයා රත්නායක සහ යසස් රත්නායක නිෂ්පාදනය කළ ආයු සිනමා නිර්මාණය ගැන එහි අධ්‍යක්ෂ චත්‍ර වීරමන් සමග පුංචි සංවාදයක නිරත වුණා.



ආලෝකෝ උදපාදි නිර්මාණයෙන් පසුව අපි ඔබගේ දිගු නිහැඬියාවක් දුටුවා. මෙච්චර කල් මොනවද කළේ?


ආලෝකෝ උදපාදි අවසන් වුණු ගමන්ම මම ආයු චිත්‍රපටයේ වැඩ ආරම්භ කළා. මෙහි කතාව මගේ තාත්තා වන සමන් වීරමන් මහතාගේ. මේක සත්‍ය සිදුවීම් කිහිපයක් එකතු කරලා හදපු කතාවක්. ඒකෙන් චිත්‍රපටයක් කරන්න ඕනෑ කියන අදහස තාත්තා අරගෙන ආවට පස්සේ නිෂ්පාදකවරු විදිහට ජෙනරාල් දයා රත්නායක සහ යසස් රත්නායක සම්බන්ධවෙලා ආයු නිර්මාණය කරනවා. කෝවිඩ් සමයත් එක්කයි මෙහි පෙර සහ පසු නිෂ්පාදන කටයුතු සිදුකරන්නේ. ඊට පසුව ආපු රටේ ප්‍රශ්නත් එක්ක මේක තිරගත කරන්න පුළුවන් වුණේ නැහැ. දැන් මේ මොහොත් ආයු චිත්‍රපටය තිරගත කරනවා. ඉතිං ඔය කාලවකවානුවේ මම වෙනත් චිත්‍රපටවලටත් දෘශ්‍යප්‍රයෝග අංශයෙන් සම්බන්ධ වුණා.



ආයු කියන්නේ වෙනස්ම ශානරයක සිනමා නිර්මාණයක්. ඇයි මේ වගේ කතාවක් සිනමාවට ගෙනඑන්න හිතුවේ?


අපේ කණ්ඩායමටම වුවමනාව තිබ්බේ වෙනස් විදිහේ නවමු සිනමා අත්දැකීමක් ප්‍රේක්ෂකයන්ට ලබාදෙන්න. අපිට ගොඩක් වෙලාවට එකම රාමුවකට කොටුවෙලා දකින්න ලැබෙන සිනමා නිර්මාණ ඇතුළේ, වෙනස් විදිහේ ආකෘතියක් අරගෙන එන්නයි. එතකොට නිර්මාණය ඇතුළේ කුතුහලය නිරන්තරයෙන්ම අපිට තියාගන්න පුළුවන්. වෙනස් විදිහේ අත්දැකීමක් තමයි අපි බලාපොරොත්තු වුණේ. ඉතිං ඒ සඳහා මමයි ගතික වීරසිංහයි එකතු වෙලා තමයි තිර පිටපත ලියන්නේ. අපිට ඒක ලේසි වුණේ නැහැ. මොකද මේකෙ තියෙන ආකෘතිමය ලක්ෂණ නිසා.



මේ වගේ සංකීර්ණ ප්‍රශ්නයක් කතා කරන්න ගියහම සමාජය ඒක මොන විදිහට භාරගනීවිද කියන ප්‍රශ්නය ඔබේ හිතට ආවේ නැතිද?


ඒ අභියෝගය අපි භාර අරගෙන ඊට ලබාදුන්නු පිළිතුරු තමයි මේ නිර්මාණයේ තිබෙන්නේ. සමාජය ඇතුළේ කතා කරන්න පැකිළෙන මාතෘකාවක් කොහොමද අපි සරල විදිහට, හරි ලස්සන හැඟීම්බර විදිහට ඉදිරිපත් කරන්න ඕනෑ කියන එක ඇතුළෙයි අපි ඒ අභියෝගය ජයග්‍රහණය කරන්නේ. ඇත්තටම මට ඕනෑ වුණේ මිනිස්සුන්ගේ ඇතුළේ තිබෙන ගැටුම්, අර්බුදකාරී තත්ත්වයත් ඔවුන්ගේ ජීවිත සම්පූර්ණයෙන්ම කණපිට හරවන සිද්ධීන් හැඟුම්බරව ඉදිරිපත් කරන්නයි.





ආයු සිනමා නිර්මාණය පුරාවට ඔබ ‘සිනමා රූපී බව’ තබාගන්න ලොකු ප්‍රයත්නයක් දරලා තිබෙනවා නේද?


පෙර නිෂ්පාදන අවධියේදී අපි මේ චිත්‍රපටයට ගෙන එන්න ඕනෑ හැඩය සම්බන්ධයෙන්ි සියලුම ශිල්පීන් සමග දීර්ඝව කතාබහ කළා. එහිදී හැමෝම එක තැනකට ආවා මේකට අපි මොනවගේ හැඩයක් ද මොනවගේ ප්‍රකාශන විලාසයක් ද පාවිච්චි කරන්න ඕනෑ කියලා. එතකොට අපි මේකෙදි කරපු විශේෂිත වූ දෙය තමයි චිත්‍රපටයේ මූලික රූගත කිරීම්වලට පෙර පූර්ව ප්‍රචාරක පටයක් නිර්මාණය කරනවා. ඒකෙන් අපි මේ චිත්‍රපටයේ මූලික හැඩය හඳුනා ගන්නවා. එතැනින් එහාට තමයි මේ කතාව තවදුරටත් වර්ධනය කරලා නිර්මාණය කරන්නේ.


හරිම සංයමයකින් නිරත වන ක්‍රීඩාවක් වන දුනු විදීමේ ක්‍රීඩාවේ නිරත, දුනු විඳින්නියක් තමයි ප්‍රධාන භූමිකාව රඟ දක්වන්නේ?


ආධුනික ශිල්පිනියක් පාවිච්චි කරනකොට ඒක ඇතුළේ අභියෝගයක් තිබෙනවා. නැත්තේ නැහැ. මට හිතුණේ මේ චරිතයට උපරිම සාධාරණයක් ඉෂ්ට කරන රංගන ශිල්පිනියක් අපිට ඇත්තටම මේ වැඩේට සම්බන්ධ කරගන්න පුළුවන් නම් ඇය චරිතය ඇතුළෙන් ප්‍රේක්ෂකයාව ග්‍රහණය කරගන්න තියෙන ඉඩකඩ වැඩියි කියලයි. ඒක සැන්ඩ්‍රාට ඉතාම හොඳට කරන්න පුළුවන් වෙලා තියෙනවා. චිත්‍රපටය නැරඹුවාට පස්සේ අපි හැමෝම පිළිගත්ත කාරණය තමයි චිත්‍රපටය ඉතාම ලස්සනට කරලා තිබෙනවා කියලා. නිෂ්මිගේ චරිතයට ඇය උපරිම සාධාරණයක් ඉෂ්ට කළා.


මේ සිනමා නිර්මාණයේ සෙසු කුඩා චරිතවලට පවා ඔබ ක්ෂේත්‍රයේ සිටින ප්‍රවීණ නළු නිළියන් භාවිතා කළේ ඇයි?


මම හිතනවා ඒක ඇතුළේ වෙන ප්‍රේක්ෂක ආකර්ෂණයක් තිබෙනවා කියලා. විශේෂයෙන් ප්‍රේක්ෂකයන් මේ වෙලාවේ විශ්වාස කරන නළු නිළියන් පිරිසක් ඉන්නවා. ඒ වගේම මම විශ්වාස කරන දෙයක් තමයි මේ වගේ ප්‍රවීණ රංගධරයන් මේ චිත්‍රපටයට සම්බන්ධ කිරීම ඇතුළේ ඔවුන්ගෙන් චිත්‍රපටයට එන ආලෝකය ඉතාම විශාලයි. අනික ඔවුන් සමග ඒ වෙලාවේ වැඩ කරන්න ලැබීමත් අධ්‍යක්ෂවරයෙක් විදිහට මම ලබපු භාග්‍යයක්.


වර්තමානයේ ලංකාවේ ප්‍රේක්ෂකාගාරය සම්ප්‍රදායෙන් ඔබ්බට විවිධ ශානාරයන්වල නිර්මාණවලට තමයි වැඩිපුර ආකර්ෂණයක් දක්වන්නේ. තරුණ නිර්මාණකරුවෙක් විදිහට ඔබ මේ තත්ත්වය දකින්නේ කොහොමද?


ඔය ප්‍රශ්නය ගොඩක් තැන්වලදී මගෙන් විටින් විට අහලා තියෙනවා. මේ වෙලාවේ නිර්මාණකරුවන් විදිහට තරුණ නිර්මාණකරුවන්ගේ වර්ධනයක් සිද්ධ වෙනවා කියන කාරණයම නෙමෙයි. ඇත්තටම ප්‍රේක්ෂකයන්ගේ පැත්තෙනුත් පැහැදිලි පිබිදීමක්, වර්ධනයක් සිද්ධ වෙමින් පවතිනවා. ඉතා දියුණු ප්‍රේක්ෂකාගාරයක් වර්ධනය වෙමින් පවතින මොහොතක පැහැදිලිවම නිර්මාණකරුවන්ගෙනුත් ඒ වර්ධනය සිදුවෙමින් පවතිනවා.


චිත්‍රපට මුදාහැරීමෙන් පවතින අර්බුදය තරුණ නිර්මාණකරුවන්ට ලොකු අවාසියක් නේද?


පැහැදිලිවම. මට දැන් ඊළඟ නිර්මාණයට අවධානය යොමු කරන්න බැරි තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා මේ චිත්‍රපටය ප්‍රේක්ෂකයන්ට මුදා හරින්න විදිහක් නැතිව. නිර්මාණකරුවෙක් විදිහට මේ වෙලාවේ මගේ සම්පූර්ණ ප්‍රයත්නය මේ නිර්මාණය සමාජගත කරන්න. ඉතිං ඒ අවස්ථාවේ තව නිර්මාණයකට එළැඹෙන්න බැරි වෙනවා. ඊට අමතරව ෆිල්ම් එකක් රිලීස් කරන්නේ නැතිව එතැනින් එහාට ආයෝජකයෙක් අපිට සම්බන්ධ කරගන්න බැරි වෙනවා. ඒ නිර්මාණ ඇතුළේ තමයි අපේ වර්ධනයක් සිද්ධ වෙන්නේ. ඉතිං එහෙම අවාසිදායක තත්ත්වයක් තිබෙනවා. බෙදාහැරීමේ ක්‍රමවේදයේ ඉස්සර ඉඳලා අර්බුදකාරී ගැටලු, ප්‍රශ්න තිබුණා. හැබැයි ඒක ගොඩක් උත්සන්න වුණා කෝවිඩ් තත්ත්වය වගේම ආර්ථික අර්බුදයත් එක්ක. දැන් දැන් තත්ත්වය හොඳ අතට හැරෙමින් පවතිනවා. ඒ වුණාට තවමත් අපට විධිමත් හා ක්‍රමවත් බෙදාහැරීමේ ක්‍රමවේදයක් නැහැ. අවුල්සහගත තැන් තිබෙනවා. මේ වෙලාවෙත් අපි ඉන්නේ පුනරුද අවස්ථාවක. ඉස්සරට වඩා තිබුණු ප්‍රශ්න කෙමෙන් කෙමෙන් පහවෙලා යනවා. නමුත් තවමත් බෙදාහැරීමේදී යම්කිසි නියාමනයක් නොවීමේ ගැටලුව නිසා පවතින ගැටලු ටික තිබෙනවා. ඉදිරියේදී ඒ ප්‍රශ්න විසඳුණොත් යම්කිසි සුබදායක තත්ත්වයක් ඇතිවේවි.


සත්‍ය සිදුවීමක් අළලා සිනමා නිර්මාණයක් බිහි කිරීමට විශේෂ හේතුවක් තිබුණද?


සත්‍ය සිදුවීමක් හැටියට මට ඒක හරියට තදින් දැනිච්ච සිද්ධියක්. ඊට සමාන දේවල් අපි හැමෝගෙම ජීවිතවල තිබෙනවා. පැහැදිලිවම අපේ ජීවිත ඇතුළෙත් අපිට ඒ දේවල් හම්බවෙනවා. අපේ ජීවිතවලදීත් අපිට නිෂ්මිලා, සචින්ලා හම්බවෙනවා. මම කියන්නේ ඒක අපිට පැහැදිලිවම බය නැතිව කතා කරන්න පුළුවන් කාරණාවක්. අපි බය වෙන්නේ අපේ ඒ කාරණාව ඇතුළේ ප්‍රේක්ෂකයා කොහොම වැලඳ ගනියිද කියන කාරණාව ඇතුළේ තමයි. නමුත් රූපමය මාධ්‍යයක් ඇතුළේ ඒකට සිනමාවෙන් උත්තර තිබෙනවා. ඒ උත්තරය තමයි මට හොයන්න ඕනෑ වුණේ කොහොමද අපි ප්‍රේක්ෂකයාට ඒක ගෙනියන්නේ කියලා. ඒක හරි අමු විදිහට ගෙනියනවද සිනමාත්මක භාෂාවකට ඒක ගෙනියනවද කියලා නළු නිළියන්ට අමතරව මේකට ගොඩාක් ශිල්පීන් සම්බන්ධ වෙනවා. මේ හැමෝගෙම සංකලනය තියෙන්නේ කොහොමද මේ මාතෘකාව ප්‍රේක්ෂකයන්ට ආකර්ෂණීය විදිහට ගෙනියන්නේ කියලා.


ප්‍රධාන භූමිකාවට ජගත් මනුවර්ණ තෝරා ගැනීමට විශේෂ හේතුවක් තිබුණද?


චිත්‍රපටයේ තිරපිටපත ලියනකොට කවුරු හරි චරිතයක් මවාගෙන චරිතයක් ලිව්වා නම් ඒ ජගත් තමයි. අනෙක් ඔක්කොම ගැන ලියද්දී එහෙම අදහසක් තිබුණේ නැහැ. හැබැයි පිටපත ලිව්වේ ජගත්ගේ නම ඔළුවේ තියාගෙන තමයි. මට ලොකු අදහසක් තිබුණා ජගත් මේ චරිතයට උපරිම සාධාරණයක් ඉෂ්ට කරාවි කියලා. චරිතය වෙනුවෙන් ඔහුගේ කැපවීමට කිසිම විවාදයක් තිබුණේ නැහැ. මේ චිත්‍රපටය වෙනුවෙන් ඔහුගේ කැපවීම හොඳාකාරවම දැක්කා. ඔහුගේ කැපවීම දැක්කට පස්සේ අපිට තේරුණා අපි ගත්තු තීරණය හරියටම හරි කියලා.


දිනේෂ් විතාන

gossiplanka image 1
Previous Post Next Post