මැලේසියාවේ ප්‍රධාන නගර කිහිපයක් වසා දැමේ

Tuesday, January 12, 2021 0 Comments

 


මැලේසියාවේ ප්‍රධාන නගර කිහිපයක් දින 14 ක කාලයකට වසා දැමීමට මැලේසියානු රජය තීරණය කර තිබේ. 

එරට කෝවිඩ් 19 වෛරස තත්ත්වය සීග‍්‍ර ලෙස ව්‍යාප්ත වීම හා ආසාදිතයන් ඉහළයාම හේතුවෙන් මැලේසියානු අගනුවර වන ක්වාලාලම්පූර් සහ තවත් ප‍්‍රාන්ත 5 ක් මෙලෙස වසා දමන බව මැලේසියානු අග‍්‍රාමාත්‍ය මුහායිදින් යසින් ප‍්‍රකාශ කර ඇත.

එබැවින් හෙට මධ්‍යම රාති‍්‍රයේ සිට අදාළ ප‍්‍රදේශවල සියළු සමාජ කි‍්‍රයාකාරකම් තහනම් කෙරෙයි. නමුත් කර්මාන්ත ශාලා, ඉදිකිරීම්, වෙළද හා බෙදාහැරීම්, වැවිලි යන අංශවල අත්‍යවශ්‍ය ආර්ථික කටයුතු අඩු ධාරිතාවකින් යුතුව සිදුකර ගෙන යාමට රජය අවසර ලබාදී තිබේ.

කොරෝනා වෛසරයේ මුල් අවධියේදී මැලේසියාව දැඩි සංචරණ සීමා පැනවුව ද රටේ වාර්තා වූ ආසාදිතයින් ක්‍රමයෙන් අඩු වීම හේතුවෙන් ඔවුන් එම සංචරණ සීමා යලි ලිහිල් කරන ලදි. නමුත් පසුගිය සැප්තැම්බරයේ සිට දෛනිකව වාර්තා වන ආසාදිතයින් ගණන යළි ඉහළ යාමත් සමඟ පසුගිය සතිය වනවිට මැලේසියාවෙන් දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයින් ගණන 3,000 සීමාව ද ඉක්මවා යන ලදි. 

මැලේසියානු රජය මෙම තීරණය ගෙන ඇත්තේ එම තත්ත්වය සැලකිල්ලට ගනිමිනි. මේ වනවිට මැලේසියාවෙන් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1,38,224 ක් වන අතර  මරණ සංඛ්‍යාව 555 ක් ලෙස වාර්තා වී තිබේ.