4 ක් මියගිය වාද්දුවේ ෆෙස්බුක් සාදයේ සංවිධායක හා ප්‍රචාරක නිලධාරි අත්අඩංගුවට

වාද්දුවේ වෙරළාසන්න හෝටලයක පැවැති ෆෙස් බුක් සාදයේදී පුද්ගලයන් කීපදෙනකු මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් සාදයේ සංවිධායකවරයා හා ප්‍රචාරක නිලධාරියා ඊයේ (09) රාත්‍රි අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවැසීය. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ
සංවිධායක ලෙස කටයුතු කළ

කඩුවෙල, කොරතොට, තුංඇඳහේන ලිපිනයේ පදිංචි අමිල පුෂ්පකුමාර (36) හා මාලබේ පදිංචි එරන්ද දන්තනාරායන (36) යන දෙදෙනායි.

ඉකුත් 4 වැනිදා රාත්‍රියේ සිට පසුදින (5) අලුයම තෙක් පැවැති සාදය සඳහා දිවයිනේ නන් දෙසින් තරුණ තරුණියන් දෙදහසකට ආසන්න ප්‍රමාණයක් සහභාගි වී ඇතැයි පොලිස් අධිකාරී කීය. පසුදින (O5) අලුයම හදිසියේ රෝගාතුර වූ පුද්ගලයන් සිවුදෙනා පානදුර මූලික රෝහලට  ඇතුළත් කිරීමෙන් අනතුරුව තිදෙනකු එදිනම මිය ගිය අතර අනෙක් පුද්ගලයා පසුදින මිය ගියේය. සාදය පැවැති හෝටලය තුළ බිම තැන තැන විවිධ මත්ද්‍රව්‍ය බවට සැක කරන දවටන  රැසක් මෙන්ම දුම්වැටි විශාල ප්‍රමාණයක් තිබීම පොලිසියට හමුවිය.  මෙම සිද්ධිය සම්බන්ධව පෙරේදා (08දා) දක්වා කිසිවකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු නොකිරීම හේතුවෙන් වාද්දුව පොලිසිය ඉදිරිපිට විරෝධතාවද පැවැතියේය.

වාද්දුව,මොරොක්කඩුව,කැස්බෑව, පොතුහැර හා මිනුවන්ගොඩ යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් සිවුදෙනකු මෙම සිද්ධියෙන් මිය ගියහ. අත්අඩංගුවට ගත් පුද්ගලයන් අද (10දා) පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්  කිරීමට නියමිතය.

-එම්.සී.පෙරේරා-
Previous Post Next Post