‘මං හොයන්නේ ප්‍රේමයක්’ ප්‍රතිචාර ගැන මටත් පුදුමයි -තිළිණ බොරලැස්ස

gossiplanka image 1
 


“මං හොයන්නේ ප්‍රේමයක්


මට මාත් හිමිවන ප්‍රේමයක්


මතින් මත්වෙන තරම් මිහිරට


හිතින් මත්වෙන … ප්‍රේමයක්


ප්‍රේමයක්…..”


තමන් සෙවූ, තමන්ට මඟහැරුණු ප්‍රේමය ඉල්ලා හඬා වැටෙන ප්‍රේක්ෂකාගාරයක් නිර්මාණය කරන්නට මේ දිනවල තිරගත වන තිළිණ බොරලැස්සගේ මං හොයන්නේ ප්‍රේමයක් සිනමාපටය සමත්වී ඇත. මෙය තවත් පැත්තකින් ඉතිහාසයට එක්විය හැකි චිත්‍රපටයක් ලෙසද හැඳින්විය හැකිය. සාමාන්‍යයෙන් සිනමාපටයක් සඳහා සංකල්පය බවට පත්වන්නේ යම්කිසි සිදුවීමක් හෝ කිසිවකුගේ අත්දැකීමකි. එසේත් නැතහොත් නවකතාවක් හෝ කාගේ හෝ ජීවිත කතාවකි. ගීතයක් කතා තේමාව බවට පත්කර ගනිමින් නිමවුණු සිනමාපටයක් තිබුණාදැයි සැක සහිතය. ‘මං හොයන්නේ ප්‍රේමයක්‘ එවන් සිනමාපටයකි. මෙය තිළිණ බොරලැස්සගේ කුලුඳුල් සිනමාපටය වීමත් විශේෂත්වයකි. සිනමාවට නවක පිරිසකගේ ආදරණීය සිනමා අත්දැකීමක් ලෙස ‘මං හොයන්නේ ප්‍රේමයක්‘ මේ වන විටත් ප්‍රේක්ෂක ආදරය දිනාගනිමින් සාර්ථකව තිරගත වෙයි. අධ්‍යක්ෂ තිළිණ බොරලැස්ස සිය ප්‍රථම සිනමා අත්දැකීම ගැන පැවසුවේ මෙවන් කතාවකි..


මං හොයන්නේ ප්‍රේමයක් පසුගිය තුන් වැනිදා සිට දිවයින පුරා සිනමා ශාලාවල තිරගත වීම ඇරඹුණා. සිනමාපටය නැරඹූ ප්‍රේක්ෂකයන්ගෙන් වගේම සමාජ මාධ්‍ය ඔස්සේත් මේ වන විට ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙනවා.


“ප්‍රේමයට හොඳම නිර්වචනයක් දුන්න ෆිල්ම් එකක්”


“ආදර කතාවක් වුණත් පවුලේ හැමෝටම එකට බලන්න පුළුවන් කියන එකයි වැදගත්”


“දුවලා ඉන්න තාත්තලා අනිවාර්යයෙන්ම මේ ෆිල්ම් එක බලන්නම ඕන”


“ආයේ කියන්න දෙයක් නෑ ඉතින්. එකෙන්ම සුපිරියක් තමයි. ඒ ආදරේ නම් පිස්සුවක්. බලපු නැති හැමෝම ගිහින් බලන්න කියලා තමයි කියන්න තියෙන්නේ”


“දක්ෂයන් ගොඩක් එකතු කරගෙන දක්ෂයෙක් කරපු වැඩක් විදිහටයි පෙනුණේ”


මේ වගේ ප්‍රතිචාර දකිද්දි හිතට පුදුම සතුටක් දැනෙනවා. මේ වෙද්දි මං ටෙලි නිර්මාණ පහළොහක් විතර කරල තියෙනවා. ඒත් මේක මගේ පළමුවැනි සිනමා අත්දැකීම. හැම නිර්මාණයකටම වගේ මං තේමා කරගන්නේ ප්‍රේමය. ප්‍රේමවන්තයන්ගේ ආදර කතාව, සහෝදර සහෝදරියන්ගේ ප්‍රේමය, අම්මා තාත්තාගේ ප්‍රේමය, අම්මගෙන් දරුවට ලැබෙන ප්‍රේමය වගේ හැම ප්‍රේමයක්ම මේක ඇතුළෙ තියෙනවා. ඒක පරිස්සම් කරගන්නෙ කොහොමද කියන එකත් කියනවා. මේ චිත්‍රපටය බලපු හැමෝම කියන්නේ මේ ෆිල්ම් එකේ කොහේ හරි අපි ඉන්නවා කියලා. මේ වෙද්දි සිනමාශාලාවල ප්‍රේක්ෂකයන් ආදරය වෙනුවෙන් අඬන තත්ත්වෙට පත්වෙලා. ඇත්තම කිව්වොත් මේකෙ ඇතුළෙ ආදරේ විතරමයි තියෙන්නේ. ‘මං හොයන්නේ ප්‍රේමයක්‘ කොළඹ, ගාල්ල වගේම තායිලන්තයේත් රූගත වුණා.“


මං හොයන්නේ ප්‍රේමයක් සඳහා ගීතයක් තේමාව වීම සම්බන්ධයෙන් තිළිණ පවසන්නේ මෙවන් කතාවක්.


මං හොයන්නේ ප්‍රේමයක් අනෝමා විජේවර්ධනගේ තිරපිටපතක්. මීට කලින් ඇයයි මමයි රාජිණී ටෙලි නිර්මාණය කළා. ඇය තිරපිටපතින් කියන දේ ලස්සනට මිනිස්සුන්ට දෙන්න පුළුවන් කියන එක මම තේරුම් ගත්තේ එතනදි. ඇයත් එක්ක කතා කරලා තමයි මේ තිරපිටපත හදාගත්තේ. ‘මං හොයන්නේ ප්‍රේමයක්’ සිනමාපටය සඳහා පාදක වෙන්නේ අනෝමා ලියපු ගීතයක්. ඒක මේ චිත්‍රපටයකට කියලා හිතලා ලියල තිබුණෙ නැහැ. ‘මං හොයන්නේ ප්‍රේමයක්’ විදිහට රිදී තිරයේ දිගහැරෙන්නේ ඒ ගීතය.


සිනමාපටය නිෂ්පාදනයෙන් එකතු වෙන්නේ යූ.එස්.වයි. අජිත්. සංගීත අධ්‍යක්ෂණය තිළිණ තාරක. කැමරා අධ්‍යක්ෂණය සඳහා කතා දෙකක් නැතුවම ස්ට්‍රයිනර් ඇඩම්ස් තෝරගත්තා. කලා අධ්‍යක්ෂණය කසුන් සංජන, වේෂ නිරූපණ ශිල්පී බුවනෙක රණවක ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක්. සහය අධ්‍යක්ෂ ප්‍රදීප් මානවඩුගේ, නිෂ්පාදන කළමනාකරු සහන් වර්ණකුලසූරිය, ඇඳුම් නිර්මාණය රමේෂා ඔශිනිගේ. තවත් බොහෝ පිරිසක් මේ සඳහා දායක වුණා.“


රංගන ශිල්පීන් තෝරාගැනීමේදී අධ්‍යක්ෂවරයා අභියෝගයකට ලක්වන අවස්ථාද නැතුවාම නොවෙයි.


“රංගන ශිල්පීන් තෝරාගැනීමේදී මුලදි පොඩි පොඩි ගැටලු තිබුණා. දර්ශන් තවරාජ් ගේ භාෂාවේ ගැටලුව තිබුණා. නමුත් ඔහුගේ කැපවීම සහ රංගන කැපෑසිටි එක අනුව අපි හැමෝම ඔහුවම මේ වැඩේට ගන්නවා කියන තීරණයේ හිටියා. දර්ශන් මුලින්ම සිනමාපටයක් විදිහට සම්බන්ධ වෙන්නේ ‘මං හොයන්නේ ප්‍රේමයක්’ සිනමා නිර්මාණයට. නමුත් මුලින්ම තිරගත වෙන්නේ සුරදෙටුවෝ. අනෙක් ප්‍රධාන චරිතයට අභිලාෂි සන්තුෂ්කි තෝරගත්තා. පූජනී භාග්‍යාත් මුලින්ම ප්‍රධාන චරිතයකින් සිනමාවට සම්බන්ධ වෙන්නේ මේ හරහා. අනුරාධ මල්ලවආරච්චි ගත්තත් මුලින් සම්බන්ධ වෙලා තිබුණේ සුළු චරිතවලට විතරයි. එහෙම බැලුවම අපි හැමෝම සිනමාවට නවකයන්. නවකයන් පිරිසක් එකතු වෙලා කරපු නවක වැඩක් තමයි ‘මං හොයන්නේ ප්‍රේමයක්’චිත්‍රපටය.“


ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ ලද අත්දැකීම් සිනමාපටයට ලොකු පහසුවක් වේයැයි සිතා සිටි තිළිණට එය අභියෝගාත්මක අත්දැකීමක් බවට පත්වීමට ගතවී තිබුණේ නිමේෂයකි.


සිනමාව කියන්නේ වෙනම තැනක ඉඳන් දකින්න ඕන එකක්. මට ටෙලි නාට්‍ය කරපු පුරුද්දට හිතුණේ මේකෙ මහ ලොකු දෙයක් නැතුව ඇති කියලා. නමුත් මේක ඇතුළෙ විශාල දෙයක් තියෙනවා කියලා පළමුවැනි දවසෙම තේරුණා. මටත් ලොකු බයක් තිබුණා චිත්‍රපටය තුළින් ටෙලි නාට්‍ය හුරුව පෙනේවි කියලා. නමුත් ස්ට්‍රයිනර් ඇඩම්ස් මාව ඒකෙන් ගලවගත්තා. මං මුලින්ම ඔහුට කිව්වා මට මේකෙන් කැඩෙන්න ඕන කියලා. ඔහුගේ කැමරා කෝණ හොඳින්ම වැඩ කරලා තියෙනවා. බලපු ගොඩක් අය එහෙම දෙයක් පේන්නෑ කියලා කිව්වා යැයි තිළිණ පැවසුවේද තම සාර්ථකත්වය ගැන නිහතමානීව සතුටු වෙමිනි.


විවිධ අත්දැකීම් ඔස්සේ මේ දිනවල සිනමා වසන්තය අත්විඳින ප්‍රේක්ෂක ඔබට ‘මං සොයන්නේ ප්‍රේමයක්‘ රසවිඳින්නට ආරාධනා කරන අධ්‍යක්ෂ තිළිණ බොරලැස්ස එහි කොහේ හෝ ඔබ සොයන ප්‍රේමය ඇති බවට සහතික කරයි.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
Previous Post Next Post