‘භව තණ්හා’ වේදිකා නාට්‍යයෙන් ඇරඹී රංගන දිවියේදී වේදිකාව, පුංචි තිරය සහ සිනමාව යන මාධ්‍ය තුනම දික්විජය කළ ඔහු මෙරට කලාව තුළ නොමැකෙන නාමයක් සටහන් කළ රංගන වේදියෙකි. දශක ගණනාවක් පුරා එක ලෙස ජනප්‍රියතාව රඳවා ගනිමින් අදටත් කලා ක්ෂේත්රයට සක්‍රිය දායකත්වයක් ලබා දෙන ඔහු, ප්‍රවීණ රංගන ශිල්පී චරිත් සේනානායක ය.
රංගන ශිල්පියකුට අමතරව චරිත් සේනානායක කියන්නේ කවුද?
රංගන ශිල්පියකුට අමතරව මම ගුවන් හමුදාවේ වසර දොළහක් පමණ සේවය කළ ගුවන් හමුදා නිලධාරියෙක්. ඉන් අනතුරුවයි මම රංගන ශිල්පියෙක් විදිහට රංගන දිවිය ආරම්භ කළේ, රංගන ශිල්පියෙකුට අමතරව මම ගුවන් විදුලි හඬ නළුවෙක්, රූපවාහිනී හඬ කවන්නෙක් ලෙසින් මගේ දායකත්වය සපයනවා. ඒ වගේම තමයි මම රංගන ශිල්පියකුට අමතරව දරුවන් දෙදෙනෙකුගේ ඉතාම ආදරණීය පියෙක් මෙන්ම ආදරණීය සැමියෙක් කිව්වොත් වඩාත්ම නිවැරදියි.
ඔබ රංගන ක්ෂේත්රයට අවතීර්ණ වූ අතීතය සිහි කරනවා නම්?
කුඩා කාලේ මම ජීවත් වුණේ මිටිගල බොරලුහේන ගමේ. ඉගෙන ගත්තේ ගාල්ල හත්තක මහා විද්‍යාලයේ. පාසල් කාලයේ සිටම රඟපෑමට දස්කම් දැක්වුවා. 1984දී ‘භව තණ්හා’ වේදිකා නාට්‍යයට සම්බන්ධ වෙලා වැඩ කිරීමෙන් මගේ කලා ජීවිතයේ මුල්ම අඩිතාලම වැටුණා. 1987උසස් පෙළ වාණිජ අංශයෙන් පාසලින්ම ඉහළින්ම සමත් වීමට මට හැකියාව ලැබුණා. ඒ අනුව මම 1988දී ගුවන් හමුදාවට සම්බන්ධ වුණා. වසර දොළහක සේවා කාලයක් අවසානයේ 1999දී ගුවන් හමුදාවෙන් ඉවත්ව සම්පූර්ණයෙන්ම කලා කටයුතු සමඟ එකතු වුණා. 1999 සිට 2002 දක්වා ගාමිණී හත්තෙට්ටුගමගේ විවෘත විදි නාට්‍ය සමඟ සම්බන්ධව කටයුතු කළා. ඉන් අනතුරුව 2002 දී පමණ මගේ ප්‍රථම ටෙලිනාට්‍ය ‘උකුස්සෝ’ සමඟ සම්බන්ධ වුණා.
මගේ රංගන ජීවිතය ආරම්භ වුණේ වේදිකාව සමඟයි. වේදිකා නාට්‍ය ගණනාවකට මම රංගනයෙන් දායක වෙලා තියෙනවා. ‘හුණුවටේ, කුවේණි, ලස්සනයි ජීවිතේ, මකර රාක්ෂයා, වේදිකාවෙන් මහපොළොවට, දවල භීෂණ, මල් වඩම් අනවශ්‍යයි, දෙයියෝ දන්නේ නැහැ, සල්ලි අරන් හොරු ඇවිදින් වැනි ඒ අතරින් කිහිපයක්. ඒ වගේම ජනප්‍රිය ටෙලි නාට්‍ය ගණනාවකටත් මම දායකත්වය සැපයුවා. වසුදා, අමන්දා, රන් තරු, උතුම් පැතුම්, කිඳුරංගනා, චායා, පැහැසරා ඉන් කිහිපයක්. ටෙලි නාට්‍ය ගණනාවකටත් දායකත්වය ලබාදී තිබෙනවා. ඒ වගේම හඬ කැවීම් ශිල්පියකු ලෙස විදේශීය සිනමාවට සහ ටෙලි නාට්‍ය සඳහාත් දායකත්වය ලබා දී තියෙනවා. චංගුමී, ඉසිවර වෙදදුරු, මායාවරුන්ගේ ලෝකය, අසලියා මල, ෂර්ලොක් හෝම්ස්, ඇවටා ඒ අතරින් කිහිපයක්.
මේ දවස්වල පෙනී සිටින නිර්මාණ මොනවද?
වේදිකා නාට්‍ය සමඟ ආරම්භ වූ මගේ කලා ජීවිතය තවමත් වේදිකා නාට්‍යය එක්ක ගතවෙනවා. ඒ වගේම චංචල රේඛා, සිහිනෙක තනිවෙලා සහ ආලේ ටෙලි නාට්‍යවලට රංගනයෙන් දායකත්වය සපයනවා. රූපවාහිනි නාළිකා තුනක විකාශනය වන මෙම ටෙලි නාට්‍ය තුනේ මට ලැබිලා තියෙන්නේ එකිනෙකට වෙනස් චරිත තුනක්. විවිධ මානනයන් සමඟ එවැනි රංගන දායකත්වයක් සැපයීමට ලැබීම මට සතුටක්.
චරිතාංග ශිල්පියකු නිර්මාණය වීමට වේදිකා රංගනයෙන් ලැබෙන පිටිවහල කොහොමද?
වේදිකා නාට්‍යයක් කියන්නේ ප්‍රේක්ෂකයා සමඟ සජීවීව එකතු වීමක්. වේදිකාව මඟින් කලා ක්ෂේත්රයට පැමිණෙනවා නම් හොඳ අවධානයක්, හැකියාවක් වගේම හොඳ විනයක් තියෙන්නම ඕනි. නැතිනම් ක්ෂේත්‍රයේ ඉදිරි ගමනක් නැහැ. වේදිකා නාට්‍යයක් සමඟ සම්බන්ධ වුණාම වෙලාවට වැඩ කළ යුතුයි. හොඳ රංගන ශිල්පියෙක් ගොඩනැඟෙන්න මූලිකම විනය ගොඩනැඟෙන්නෙ වේදිකා නාට්‍ය තුළින්. මට රංගන ශිල්පියෙක් විදිහට ඉදිරියට එන්න වේදිකා නාට්‍ය සමඟ සම්බන්ධ වීම විශාල උපකාරයක් වුණා. හොඳ ඉදිරි ගමනක ආරම්භයට වේදිකාව දැවැන්ත පිටිවහලක්.
ප්‍රවීණ චරිතාංග රංගන ශිල්පියකු ලෙස ආධුනික ශිල්පීන්ට දිය හැකි උපදෙස් මොනවාද?
මුලින්ම තමන් සතු දක්ෂතාව තමා විසින්ම හඳුනා ගෙන පිළිගත් රංගන පාසලකට සම්බන්ධ වී තම හැකියාව වර්ධනය කරගත යුතුයි. අද තාක්ෂණය ඉතා දියුණු නිසා තම දක්ෂතාව වැඩිදියුණු කර ගැනීමට තාක්ෂණය ද එකතු කරගත හැකියි. කොතරම් ප්‍රවීණත්වයට පත්වුණත් ඉගෙන ගන්න තවත් බොහෝ දේවල් තියෙනවා. නවකයන්ගෙන් පවා ජීවිතයට ගත යුත්තක් තියෙනවා. හොඳ දැනුමකින්, විනයකින් හා තමා පිළිබඳ විශ්වාසයකින් වැඩ කළොත් ඉදිරියටම ගමන් කළ හැකියි.