කටකතා වලින් සංජානාට හානියක් වුණේ නැහැ - පේෂල මනෝජ්

Monday, November 01, 2021 , 0 Comments

 


කොහොමද මේ දවස්වල ජීවිතේ?

ජීවිතය හොඳින් ගෙවනවා. ගැටලුවක් නැහැ.


 කලා කටයුතුවල විස්තර කිව්වොත්?


අලුත් වැඩකටයුතු කිහිපයක්ම මේ දිනවල සැලසුම් කරනවා. අලුත් ගීතයක් කරන්න වගේම බෑන්ඩ් එකේ වැඩ කටයුතු, ඇකඩමි එකේ වැඩකටයුතු කරගෙන යනවා.



champion Star වැඩසටහනේ ආරාධිතයන්ගේ රෙදි ගලවනවා කියලා බොහෝදෙනෙක් චෝදනා කරනවා. ඒ ගැන ඔබ දක්වන අදහස මොකද්ද?


කෙනකුව එකී තත්වයට පත් වන්නේ සමාජය තුළ ඔවුන් හැසිරෙන ආකාරයෙන් වගේම ක්‍රියා කරන ආකාරය මතයි. ඒක විනෝදාත්මක වැඩසටහනක්. විදේශීය රටවල විනෝදාත්මක වැඩසටහන්වලට කලාකරුවන් පැමිණි විට ඔවුන් එකී වැඩසටහනේ ස්වභාවය අනුව හැඩ ගැසෙනවා. එය වැඩසටහනේ ස්වභාවයයි. ඒක ලොකුවට හිතාගෙන  දඟලන්න අවශ්‍ය දෙයක් නෙමෙයි.


නමුත් එවැනි සිදුවීම් ගොසිප් සයිට්වලින් වගේම youtube channel වලින් විකෘති කරල  කලාකරුවන්ට කටකතා නිර්මාණය කොට මඩ ප්‍රහාර එල්ල කරනවා නේද?


ඒ සම්බන්ධයෙන් එක උදාහරණයක් මට කියන්න පුළුවන්ද? මම දැනුවත්ව එවැනි සිදුවීම් සිදුවී නැහැ. 


සංජානාගෙ BMW කතාව?


ඒක විනෝදාත්මක අංගයක් පමණයි. ඒ කටකතාවලින් ඇයට හානියක් වුණේ නැහැ. එයින් ඇයට ලැබුණු ප්‍රසිද්ධිය ගැන ඇය තවත් වැඩසටහනකදී මට ස්තුති කළා.


ප්‍රසිද්ධ වගේම අප්‍රසිද්ධ බොහෝදෙනෙක් විශාරද තනතුරු දැරුවත් එයින් සංගීත

ක්ෂේත්‍රයට ලැබුණු දායකත්වය සිමිතයි නේද?


එය එක්තරා විභාගයක් පමණයි. ඒ නිසා ඕනෙම කෙනකුට විශාරද තත්වයට පත් වෙන්න පුළුවන්. නමුත් විශාරද වීමට වඩා වඩාත් වැදගත් ඒ පාඨමාලාව නිවැරදිව ප්‍රගුණ කිරීමයි. එකී සහතිකය ලැබුවත් පාඨමාලාවේ අන්තර්ගතය, එහි දැනුම නිවැරදි උකහා නොගතොත් එයින් ප්‍රතිඵලයක් ලබන්න අපහසුයි.



ඔබ පවසන විධියට වර්තමානයේ විශාරදයන් ඒ සහතිකයට පමණක් සීමා වෙලාද?


එහෙම කියන්න අපහසුයි. නමුත් මම පෞද්ගලිකව මගේ නමට විශාරද වගේම නිපුන් කියන තනතුරු එක් කරගන්න කැමැති නැහැ. මං කැමැති වැඩක් කරලා ක්‍ෂේත්‍රයේ නමක් දිනා ගන්නයි. එකී තනතුරු භාවිත කිරීම හෝ නොකිරීම එක් එක් අයගේ රුචිකත්වය අනුව වෙනස් වෙනවා. ඒවා හුදෙක් විභාග පමණයි. එය උසස් පෙළ සමත්, සාමාන්‍ය පෙළ සමත් ලෙස නමට ඉදිරියෙන් එක්කර ගත්තා හා සමානයි. තමන්ට අදාළ විෂය තුළ හැකියාවෙන් කැපී පෙනෙන්නට වගේම නිර්මාණශීලී කාර්යයක් කිරීමට හැකියාව තිබෙනවා නම් තනතුරු  තානාන්තරවලින් බැබළීමට අවශ්‍ය නැහැ.


සංගීත ක්‍ෂේත්‍රයේ ඉදිරි අධ්‍යාපනයට බොහෝදෙනෙක් ඉන්දියාවට යනවා. එසේ විදේශ ගත වෙන්නේ ලංකාව තුළ ඒ සඳහා ප්‍රමාණවත් පහසුකම් නොමැති නිසාද?


සංගීත ක්ෂේත්‍රයේ උසස් අධ්‍යාපනයට අපේ රටේ පහසුකම් තිබෙනවා. නමුත් අපේ රටේ සංගීතය පාදක වී තිබෙන්නේ හින්දුස්තානි සංගීතයටයි. එකී රාගධාරී සංගීතය විශ්වවිද්‍යාලය තුළ හැදෑරීමට අවකාශ තිබුණත් බොහෝදෙනෙක් එකී විෂය උපන් දේශයට ගිහින් හදාරනවා.


තරු සංකල්පය ඔස්සේ බිහිවන ගායක ගායිකාවන්ට ක්ෂේත්‍රය තුළ පැවැත්මක් ගොඩනගා ගන්න අපහසු ඇයි?


තරු සංකල්පය රියැලිටි කලාවක්. එය ලෝක ව්‍යාප්ත දෙයක්. අපේ රටේ තිබෙන ප්‍රධාන ගැටලුව නවකයන්ට පැවැත්ම ගොඩනගා ගන්න තරම් සංගීත ක්‍ෂේත්‍රය පුළුල් කර්මාන්තයක් නොවීමයි. බොහෝදෙනෙක් ත්‍රයට බිහිවෙන්නේ වෙනත් කෙනකුගේ ගීත ගායනා කරලා. ඒ නිසා ඔවුන්ට තමන්ගේ ගීතයක් ගායනා කර අනන්‍යතාව ගොඩනඟා ගන්න අපහසුයි. ඒ වගේම සංගීත ක්ෂේත්‍රය පිළිබඳ පුළුල් හැදෑරීමක් නොමැති වීම හා යාවත්කාලීන නොවීම වැනි හේතුත් ඊට බලපානවා. එක රැයකදී තරුවක් කන්ද මුදුනට ගෙන ගියත් කන්ද මුදුන තුළ රැඳී සිටීම පිළිබඳව අවබෝධයක් එකී ගායකයාට හෝ ගායිකාවට ලැබෙන්නේ නැහැ. ඒ නිසා ගොඩක් තරු කන්ද උඩ අනාථ වෙනවා.


ගායකයන්ට සමාජයේ ප්‍රසිද්ධ වුණත්, ද වාදකයන් හයිලයිට් වෙන්නේ නැහැ. ඒකට හේතුව මොකක්ද? 


ලංකාවේ මිනිස්සු සංගීතය අහන්න පුරුදු වෙලා නැහැ. මිනිස්සු සංගීතය කියලා අර්ථකථනය කරන්නේ ගායකයන්ට පමණයි. අපේ රටේ සංගීතය අහන ප්‍රසංග පැවැත්වෙන්නේ නැහැ. ශිව කුමාර් ශර්මා, යාන වැනි සංගීතඥයගේ වාදනයන් සවන්

දෙන ශ්‍රාවක පිරිසක් ලෝකයේ ගොඩනැඟී තිබෙනවා. ඔහුගේ රාගයන් රසවිඳිනවා. අපේ රටේ පවතින්නේ ගීත කලාවක් පමණයි. ගායකයන්ට වඩා වාදකයන් ඇතැම්විට සංගීතයෙන් ප්‍රවීණ තත්වයට පත් වී තිබෙනවා. නමුත් මිනිසුන් හඳුනනේ වාදකයන්   ලෙස අනන්‍යතාව ගොඩනඟාගත් අතළොස්සක් පමණයි. සංගීත ක්ෂේත්‍රය තුළ ගායකයෙක් වීම එතරම් අසීරු කටයුත්තක් නෙමෙයි. නමුත් වාදකයෙක් වීමට බොහෝ පුහුණුවීම් කර කැපකිරීම් කළ යුතුයි.



සංගීතය වෙනුවට ගීත රසවින්දනයට පමණක් ප්‍රේක්ෂකයා කොටු වන්නේ වාදකයන් නිහඬ නිසා නේද?


මෙකී ප්‍රවණතාව ගොඩනඟා තිබෙන්නේ මාධ්‍ය තුළින්. අතීතයේ ගුවන් විදුලිය තුළ සංගීතයට සවන් දීමට කෙටි ගුවන් කාලයක් වෙන් කළා. නමුත් වර්තමානයේ සොලෝ එකක් අහන්න. රාගයක් අහන්න, තිණි එකක් අහන්න මාධ්‍ය ඉඩක් වෙන්කරලා නැහැ. අන්තර්ජාලය තුළින් ඒවා රස වින්දනයට හැකියාව තිබීම තුළ තාරුණ්‍ය එකී රසවින්දනයට යොමු වී තිබෙනවා. එය හොඳ ප්‍රවණතාවක්.


ගොඩක් කලාකරුවන් තමන්ට මාකට් කරන්නේ කඳුළු කතාවක් තුළින්. දුක කියලා හිට් වෙන ප්‍රවණතාව ඔබ දකින්නෙ කොහොමද?


කලාකරුවෙක් විදිහට අපේ පැවැත්ම ගොඩනඟා ගන්න ඊට වඩා වෙනස් යමක් සොයා ගන්න අවශ්‍යයි. අපේ පවුලේ තිබෙන ප්‍රශ්නයක් ලෝකෙට කීම තුළ බලාපොරොත්තු වෙන්නේ මොන වගේ තෘප්තියක්ද කියලා මට තේත්රන්නෙ නැහැ. ලෝක්කට අපි කලාකරුවන් වුණත් ගෙදරට අපි එක මනුස්සයෙක් විතරයි. අපේ දුක අඩමින් මිනිසුන්ට කියනකොට අපි විහිළුකාරයෝ බවට පත්වෙනවා.


පේෂල හොල්මන්වලට බයයි කියන්නේ ඇත්තද?


ඔව් මං කළුවරට වගේම ගෙදර කවුරුත් නැති වුණාම බයයි. තනියෙන් ඇඳේ නිදියන් ඉන්න කොට ඇඳ ගාවට කවුරු හරි එයි කියලා මට හිතෙනවා. ඒ වගේන්ම රෑවෙලා ඩ්‍රයිව් කරනකොට හැම තිස්සෙම පිටිපස්ස බලන්න හිතෙනවා.  


බය වුණු වෙලාවට කට පාවිච්චි කරලා හොල්මන වුණත් හොල්මන් කරන්න බැරිද?


ඒ වෙලාවට මං හයියෙන් රේඩියෝ එකේ පිරිත් දානවා. නැත්නම් කෑ ගහලා සින්දුවක් කියනවා.  


පිය පදවිය තුළ හැඟීම් විචලනය වුණේ කොහොමද?


ඒක හරි අපූරු විඳීමක්. ඒ හැඟීම මං මුලින්ම විඳින්නෙ ආධිත්‍යගෙන්. රෑ තිස්සෙ සැරින් සැරේ ගහන පා පහරවලින්, රෑ තිස්සෙ නැඟිටමින් ඇඩීම් තුළින් මං අපූරු වින්දනයක් ලබනවා. සමහරක් අපහසුකම්, හිරිහැර ආදරෙන් විඳිනකොට හිතට ලැබෙන වින්දනය වචනවලට පෙරළන්න අපහසුයි. මට හිතෙන ජීවත් වෙනවා කියන එකට.