දැන් වැඩිපුරම ඉන්නේ සබන් දිය කළා වගේ නළු නිළියෝ - වසන්ති චතුරානි

Thursday, October 28, 2021 , 0 Comments




ඇය වඩාත් ප්‍රකට රිදී තිරයේ අහිංසකාවිය ලෙසටය. ඇගේ ප්‍රියමනාප මුවමඩල සැරසුණු මන්දස්මිතියද අඩවන් නෙත් සඟලද කැමරාව ඉදිරිපිට නිරායාසයෙන් ඇයව අහිංසකාවියක් කළේය. ආරම්භයේදී පටන්ම දැවැන්ත සිනමාකරුවන්ගෙ ආභාසය ලද ඈ රිදී තිරයේත් පුංචි තිරයෙත් දැවැන්ත චරිත රාශියකින් ඔබ මා හමුවේ නොමැකෙන මතක සටහන් තබා හමාරය. 1980 “ගඟ අද්දර” චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් හොඳම නිළිය ලෙස සරසවිය සම්මානයෙන් පිදුම් ඇය ලබන්නීය. වසන්ති චතුරාණි කියූ සැණින් සැමට මතක් වන්නේ ගඟ අද්දර චිත්‍රපටයේ ලා කහ පැහැති ගවුම හැඳ කඩදාසි ඔරුව අතින් ගත් යුවතියය. එසේත් නැති නම් ගැහැනු ළමයිහී කුසුම්ය. නමුත් මට නම් වසන්ති චතුරාණි කියූ සැණින් සිහිපත් වන්නේ සුමිත්‍රා රාහුබද්ධ විසින් රචිත නවකතාව ඇසුරෙන් වසන්ති චතුරාණි විසින්ම නිෂ්පාදනය කළ “අග පිපි මල්” ටෙලිනාට්‍යයේ ඇය පණ පෙවූ උපේක්ෂා සගහත ගැහැණියගේ චරිතයය. එසේත් නැති නම් “සෙදෝනා” ටෙලිනාට්‍යයේ සෙදෝනාගේ චරිතයයි. කලක් රඟමඩලට සමුදී නිහඬ පිළිවෙත රැකි ඈ නැවත පුංචි තිරයට පැමිණ ඇත. ඒ මේ දිනවල ස්වාධීන රූපවාහිනියේ විකාශය වන ක්‍රිස්ටි ෂෙල්ටන් විසින් අධ්‍යක්ෂණය කරන “සකුණ පියාපත්” ටෙලිනාට්‍යයේ රන්මැණිකාගේ චරිතයෙනි. එය නිෂ්පාදනය කරන්නේද ඇය විසින්මය. කලක් නිහඬව සිට නව නිෂ්පාදනයක්ද සමඟින් නැවත කරලියට පැමිණි මේ අපූරු ගැහැනියගෙන් විමසන්නට ප්‍රශ්න බොහෝ ඇත. මේ වසන්ති චතුරාණි නම් සම්මානනීය රංගන ශිල්පිනිය මගේ පැනවලට පිළිතුරු දුන් අයුරුය.


 කාලෙකට පසුව නැවතත් අපි ඔබව පුංචි තිරයෙන් දකිනවා.


ඔව්. ඒ ස්වාධීන රූපවාහිනී නාළිකාවේ මේ දිනවල විකාශය වෙන සකුණ පියාපත් ටෙලිනාට්‍යයෙන්. රංගනය විතරක් නෙමෙයි මේ ටෙලිනාට්‍ය නිෂ්පාදනයෙනුත් මම දායක වෙනවා. මම සහ ශාන් දිසානායක මේ ටෙලිනාට්‍ය නිෂ්පාදනය කළේ. "සකුණ පියාපත්" ක්‍රිස්ටි ෂෙල්ටන්ගේ අධ්‍යක්ෂණයක්. අරුණ ප්‍රේමරත්නගේ පිටපතක්. ගල්ගමුව කියන සුන්දර ගම්මානය තමයි අපි මේ ටෙලිනාට්‍යයට තෝරාගත්තේ.


 


මේ වගේ අසීරු කාලයක ටෙලිනාට්‍යයක් නිෂ්පාදනය කිරීම අවදානමක් නේද?


මේ වගේ කාලෙක ටෙලිනාට්‍යයක් නිෂ්පාදනය කිරීම හරිම අමාරු කාර්යයක්. ඒත් ස්වාධීන රූපවාහිනී නාළිකාව ගැන තිබුණ විශ්වාසය සහ පිටපතේ තිබුණ ගුණාත්මකත්වය එක්ක ටෙලිනාට්‍ය නිෂ්පාදනය කළා. මේ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය කළේ ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු. ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු කියන්නේ අපි චිත්‍රපටවල රඟපානකොට සහාය අධ්‍යක්ෂවරයෙක් විදියට වැඩ කරපු කෙනෙක්. දක්ෂ නිර්මාණශීලී අධ්‍යක්ෂවරයෙක්. ඔහුට ක්ෂේත්‍රය ගැන අත්දැකීම් ගොඩක් තියෙනවා. ඒ වගේ කෙනෙක් එක්ක වැඩ කරන එක අවදානමක් නෙමෙයි. මේ කාලයේ අධ්‍යක්ෂවරු තෝරා ගන්නකොට මම ගොඩක් සැලකිලිමත් වෙනවා. නිර්මාණය සාර්ථක කරගන්න ඕන. අසාර්ථක වුණොත් අපේ උත්සහයෙන් වැඩක් නැහැ. ඒ නිසයි මම ක්‍රිස්ටිව තෝරගත්තේ. ඒ වගේ කුරුණෑගල ගල්ගමුව වගේ සුන්දර පළාතක වැඩ කරන්න ලැබීම හරි සතුටක්. ඒත් මේ වගේ කාලයක එහෙම වැඩ කරන එක හරි අපහසුයි. හැකියාව තියෙද්දි අපිට ගෙවල්වලට වෙලා ඉන්න සිද්ධ වෙලා තියෙනවා. ඒක හරිම ඛේදවාචකයක්.


  

ටෙලිනාට්‍ය නිෂ්පාදනය කරනකොට ගැටලු එන්න ඇති?


අපිට ලොකු ගැටලු ආවේ නම් නැහැ. හරියටම සැලසුම් කරලා පූර්ව සූදානමකින් නාට්‍ය නිෂ්පාදනයට පිවිසුණොත් ගැටලුවලට මුහුණ පාන්න වෙන එක අවම වෙනවා. අපේ කණ්ඩායමේ සියලුදෙනාම හරි ආසාවෙන් සතුටෙන් මේ වැඩේ කළා. මට තියෙන ලොකුම සතුට කාලෙකට පසුව ක්ෂේත්‍රයේ ඉන්න අයව මුණගැහිලා එයාලත් එක්ක එකට වැඩ කරන්න ලැබුණ එක. මොකද දැන් අවුරුදු දෙකක් තිස්සේ අපේ ගෙවල්වලට හිර වෙලා ඉන්නේ. එහෙත් මේ වසංගත තත්වය එක්ක අපිට දිගටම ඒ වගේ ක්ෂේත්‍රයේ වැඩකටයුතු කරගෙන ඉන්න ලැබෙයිද කියන එක අවිනිශ්චිතයි.


 


ගල්ගමුව ග්‍රාමවාසීන්ගෙන් ලැබුණු සහයෝගය ගැනත් කියමු?


 


විශේෂයෙන් කියන්න ඕන ඒ ප්‍රදේශවාසීන්ගෙන් සැහෙන්න ලොකු සහයෝගයක් ලැබුණා. අපිට රූගත කිරීම්වලට ඔවුන්ගේ ගෙවල් දුන්නා. ඒ වගේම ගොඩක් උදවු කළා. අපිට කිසිම ප්‍රශ්නයක් කරදරයක් වෙන්න ඔවුන් ඉඩ දුන්නේ නැහැ. ඒ වගේම ඒ පළාතටත් මම හරිම ආසයි. ගල්ගමුව කියන්නේ ගොඩක් අලි ඇත්තු ඉන්න පළාතක්. ගැමි පරිසරය හරිම ලස්සනට තියෙනවා. ඉන්න හරිම ආස හිතෙන පළාතක් ඒක.


 


"සකුණ පියාපත්" ටෙලිනාට්‍ය ගැන කිව්වොත්?


ඒක ගමක කතාවක්. කතානායිකාව වෙන මුතුමැණිකාගේ චරිතයට පණ පොවන්නෙත් මම. මේක ටිකක් වෙනස් කතාවක්. හැමදාම ටෙලිවිෂනයේ දකින ආදර කතාවක් නෙමෙයි මේක. හිතුවක්කාර තීරණයකින් කසාදයක් කරගෙන ගමෙන් කොළඹට ගිය කාන්තාවක් ඇගේ ස්වාමියා මිය ගියාට පස්සේ තරුණ වියේ පසුවන දරු දෙදෙනා එක්ක නැවත ගමට එනවා. මුතුමැණිකාගේ තාත්තාගේ අනියම් සම්බන්ධයකින් ඇයට තවත් සහෝදරයෙක් ඉන්නවා. ඔහු දේපළවලට ඇය සමඟ රණ්ඩු වෙනවා. මේ ගමේදි මුතුමැණිකා මුහුණ දෙන හැලහැප්පීම් සහ ඒවා සමතයකට පත් කරගෙන ඇය ජීවත් වෙන ආකාරය තමයි මේ ටෙලිනාට්‍යයෙන් නිරූපණය වෙන්නේ.



මුතුමැණිකාගේ චරිත ස්වභාවය ගැන කිව්වොත්?


මුතු මැණිකා කියන්න ගමේ හැදිලා කොළඹට ගිය කාන්තාවක්. ඇය නැවත ගමට ඇවිත් ඒ ගමේ විදිහට නැවතත් හැඩගැහෙනවා. ඒ ගමේ ඉන්න විවිධ පිරිමි චරිතවලින් ඇයට විවිධ ගැටලු එනවා. ඒ ප්‍රශ්න හැම දෙයක්ම හරිම ඉවසීමන් ඇය සමතයකට පත්කරගන්නවා. මුතුමැණිකා කියන්නේ හරිම උපේක්ෂා සහගත චරිතයක්.


 


අනෙක් රංගන ශිල්පීන්ගෙන් ඔබට ලැබුණෙ කොයි වගේ සහයෝගයක්ද?


මේ ටෙලිනාට්‍යය සඳහා ක්ෂේත්‍රයේ ප්‍රවීණ සහ දක්ෂ වගේම ජනප්‍රිය රංගන ශිල්පීන් රැසක් දායක වුණා. හොඳ වැඩකට දායක වෙන්න ගොඩක් අය කැමතියි. ඒ රංගන ශිල්පීන් හැමෝම ගොඩක් කැප වෙලා තමන්ගෙ කාර්යය ඉටු කළා. ගල්ගමුව කියන්නේ දුෂ්කර පළාතක්. අඩු පහසුකම් සහිත ඒ වගේ පළාතක රූපගත කිරීම් කරද්දි වෙන අඩුලුහුඬුකම් මඟහරවගෙන ඔවුන් තමන්ගෙ කාර්ය හරියටම ඉටු කළා කියලා මම හිතනවා.


 


ඔබ පුංචි තිරයට එන්නෙත් කාලෙකින් නේද?


2019 යශෝ මන්දිර ටෙලිනාට්‍යයෙන් පසුව මේ ටෙලිනාට්‍යයේ තමයි මම රඟපෑවේ. කොරෝනා වසංගතය නිසා ක්ෂේත්‍රයේ හැම කෙනෙක්ටම වගේ මටත් රංගන කටයුතු කරගන්න බැරි වුණා. ඒත් මේ චරිතයත් එක්ක මගේ ප්‍රේක්ෂකයන්ගෙන් නැවතත් මට ප්‍රතිචාර ගොඩක් ලැබෙනවා.


 


ඒ ප්‍රේක්ෂක ප්‍රතිචාර ගැන කිව්වොත්?


ඉතාමත් හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා. ප්‍රේක්ෂකයෝ හරිම සතුටින් "සකුණ පියාපත්" ටෙලිනාට්‍යය නරඹන බව ඒ ප්‍රතිචාරවලින් තේරෙනවා. ටෙලිනාට්‍ය විකාශය වෙන වෙලාවට නරඹන්න බැරි අය එකෙන් ටෙලිනාට්‍ය නරඹනවා. හොඳ නිර්මාණයක් කළාම ඒකට හොඳ ප්‍රතිචාරත් ලැබෙනවා.


 


මේ චරිතය සමඟ ඔබේ ස්වරූපයත් සෑහෙන්න වෙනස් වෙලා.


හැමදාම එක වගේම ඉන්න බැහැනේ. කාලයක් යද්දි ටිකක් මහත් වෙනවා. ස්වරූපය වෙනස් වෙනවා. මම ඒ වෙනස්වීම සතුටින් භාරගන්නවා. තරුණ කාලේ තරුණ චරිත කළා. දැන් මම රඟපාන්නේ අම්මලාගේ චරිත. ඉතින් ඒ වගේ වැඩිහිටි චරිතවලට මේ ස්වරූපය ගැළපෙනවා.


 


රිදී තිරයෙන් සහ පුංචි තිරයෙන් අපි ඔබගෙන් දුටුවේ අහිංසක ගැහැනියගේ විවිධ ස්වරූපයන්. රාමුවකට කොටු වුණා කියලා හිතෙන්නේ නැද්ද?


මම විවිධ චරිත රඟපාලා තියෙනවා. පෙම්වතියගේ චරිත, බිරිඳගේ චරිත, මවගේ චරිත මේ හැම චරිතයක්ම බොහොම අහිංසක, උපේක්ෂා සහගත නිවුණු චරිත. මම පිළිගන්නවා කලබලකාරී, කලහාකාරී, චණ්ඩි චරිත මම රඟපෑවේ නැහැ කියලා. මට ඒ වගේ චරිතවලට ආරාධනා ලැබුණේ නැහැ ආරාධනා ආවොත් මම රඟපානවා. ඒ වගේ චරිත නොලැබෙන්න මගේ පෙනුමත් හේතුවක් වෙන්න ඇති. ඒත් ඒ වගේ චරිත කරන්න ලැබුණොත් දැනටත් මට බැරිකමක් නැහැ. චණ්ඩි රැජිණක්ගේ වගේ චරිතයක් රඟපාන්න ලැබුණොත් උත්සාහ කරලා බලනවා පුළුවන්ද කියලා.


 


නව පරපුරේ රංගන ශිල්පීන් ශිල්පිනියන් ගැන ඔබේ අදහස?


දැන් දක්ෂ ළමයි ගොඩක් ඉන්නවා. ඒත් ගැටලුව එයාලට හොඳ අවස්ථාවක් නැහැ. සකුණ පියාපත් ටෙලිනාට්‍යයටත් තරුණ රංගන ශිල්පීන් ශිල්පිනියන් රාශියක් සම්බන්ධ වුණා. මේ අයගෙන් මට හොඳ සහයෝගයක් ලැබුණා. නමුත් මේ ළමයින්ගේ දක්ෂතා දිහා බැලුවම පේනවා ඒ දක්ෂතාවලින් හරියට වැඩක් ගන්න හොඳ අධ්‍යක්ෂවරු ක්ෂේත්‍රයේ නැහැ කියලා. දැන් හොඳ අධ්‍යක්ෂවරුන් ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ ඉන්නවා කියලා මම පිළිගන්නේ නැහැ. දැන් ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණයට එන අලුත් අධ්‍යක්ෂවරුන්ට ක්ෂේත්‍රය ගැන කිසිම අත්දැකීමක් නැහැ. ඒ අය ප්‍රවීණ අධ්‍යක්ෂවරු එක්ක වැඩ කරලා නැහැ. ඒ අය හිතන්නේ ඒ අය කරන වැඩේ තමයි වැඩේ. ඒක තමයි හොඳම නිර්මාණය කියලා. ඒත් ඔවුන් මේ ක්ෂේත්‍රය ගැන දැනගත යුතු කරුණු කාරණා ගොඩක් තියෙනවා. අධ්‍යක්ෂවරයෙක් උණාම තමන්ට තියෙන වගකීම් මොනවද? නිර්මාණය සාර්ථක කරගන්න නම් කොයිතරම් නිර්මාණශීලී වෙන්න ඕනේද? අලුත් අදහස් තියෙන්න ඕනේද? කියලා අලුත් අධ්‍යක්ෂවරු දන්නෙ නැහැ. ඒ වගේ නිර්මාණශීලී අධ්‍යක්ෂවරු නම් තරුණ පරපුර මම දකින්න නැහැ. හොඳ අධ්‍යක්ෂවරු එක්ක වැඩ කරන්න නොලැබීම තමයි තරුණ රංගන ශිල්පීන්ට වෙලා තියෙන ඛේදවාචකය.


වසන්ති චතුරානි කියන නම ප්‍රේක්ෂකයන්ට සදා මතක රැදෙන චරිතවලට ඔබ පණ දුන්නා. ඒත් දැන් රංගන ශිල්පිනියන්ව එලෙස මතකයේ රැඳෙන්නේ නැහැ?


 


අපි කළා වගේ හොඳ නිර්මාණ දැන් බිහි වෙන්නේ නැහැ. ඒක තමයි ප්‍රධානම හේතුව. ඒ වගේම මම කලින් කිව්වා වගේ දැන් ඉන්න අධ්‍යක්ෂවරුත් ඒකට හේතුවක්. ඒ අය නළු නිළියන් හසුරුවන්න දන්නේ නැහැ. කිසිම නිර්මාණශීලීත්වයක් නැහැ. මම ක්ෂේත්‍රයට ආවේ සුමිත්‍රා පීරිස් මහත්මියගේ "ගැහැනු ළමයි" චිත්‍රපටයෙන්. ඇය අපිව හසුරුවපු විදිහ දැකලා දැන් අධ්‍යක්ෂවරු දිහා බැලුවාම ඔවුන් ගැන ඇත්තටම කලකිරෙනවා. ඉතාම හොඳ අධ්‍යක්ෂවරු එක්ක වැඩ කරන්න ලැබීම මගේ වාසනාවක්. ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්තයා, ධර්මසිරි බණ්ඩාරනායක, එච්.ඩී. ප්‍රේමරත්න, ධර්මසේන පතිරාජ වගේ ඉතාම දක්ෂ අධ්‍යක්ෂවරු එක්ක මම වැඩ කළේ. මම දන්නවා ඒ අය වැඩ කළේ කොහොමද කියලා. ඒ වගේම චරිතාංග රංගන ශිල්පීන් කියන අය දැන් නැහැ. අලුත් පරපුරෙන් චරිතාංග රංගන ශිල්පීන් බිහිවෙන්නේ අඩුවෙන්. අද ඇවිත් හෙට ජනප්‍රිය වෙලා නිළියෝ වෙන්න බැහැ. දැන් ටෙලිවිෂනය තියෙන නිසා අද ඇවිත් හෙට ජනප්‍රිය වෙන්න පුළුවන්. දැන් වැඩිපුරම ඉන්නේ සබන් දිය කළා වගේ නළු නිළියෝ. ඒ වගේම හොඳ රංගන ශිල්පිනියක් වෙන්න සහජ හැකියාව වගේම හොඳ සතතාභ්‍යාසයක් තියෙන්න ඕනේ. රංගනය කියන විෂයය ගැන හොඳ හැදෑරීමක් තියෙන්න ඕනේ.


 


රංගන ශිල්පියෙක්ගේ පැවැත්මට වැඩිපුරම බලපාන්නේ පෙනුමද? දක්ෂතාවද?


 


දක්ෂතාව. ඒකට හොඳම උදාහරණය ජෝ අබේවික්‍රම මහත්මයා. ඔහුගේ පෙනුමට වඩා ඉස්මතු වෙන්නේ දක්ෂතාව. පෙනුම පමණක් තිබුණාට වැඩක් නෑ රඟපාන්න බැරි නම්. ඒත් පෙනුම ඒ තරම් නැතත් රඟපාන්න පුළුවන් නම් ඕනේ තරම් චරිත තියෙනවා. ‍ඒ තියෙන දක්ෂතාව තව තවත් වැඩි දියුණු කරගන්නත් ඕනේ. ඒ වගේම ඒ දක්ෂතාවය තමන්ට උචිත ආකාරයට සකස් කර ගන්න බුද්ධිය තියෙන්නත් ඕනේ. ඒත් දැන් නවක ශිල්පීන් මේ කාර්යයේ බරපතළකම සහ වගකීම දන්නේ නැහැ. එයාලා එක ටෙලිනාට්‍යයක රඟපාලා දවසකින් ජනප්‍රිය වුණාම හිතන්නේ රංගන ශිල්පියෝ කියලා. එහෙම හිතන් ඉන්නවා නම් ඒක අනුවණකමක්. මම නම් අලුත් පරපුරෙන් මෙහෙම දක්ෂයි කියලා කියන්න පුළුවන් එක්කෙනෙක්වත් තවම දැක්කේ නැහැ.


 


ඔබව සිනමාවෙන් දකින්නෙත් හරිම අඩුවෙන්?


දැන් චිත්‍රපට හැදෙන්නේ නැහැනේ. කොහොමටත් චිත්‍රපට කර්මාන්තයේ වැඩ අඩුවෙන් කෙරුණේ. කොරෝනා වසංගතයට කලින් ඉඳලාම සිනමාශාලා වැහුණා. දැන් කොරෝනා නිසා තවත් වේගයෙන් සිනමාශාලා වැහෙනවා. කොරෝනා නිසා චිත්‍රපට තිරගත කරන්නත් බැහැ. මෑත කාලයේදී නම් මට චිත්‍රපටයකට දායක වෙන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. ආරාධනාවක් ලැබුණෙත් නැහැ.


 


වසන්ති චතුරානි ක්ෂේත්‍රයට පැමිණියේ සිනමාවෙන්. ඒත් ඔබ නිෂ්පාදනය කළේ ටෙලිනාට්‍ය රාශියක්.


චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්න ආසයි. ඒත් වර්තමානයේ සිනමාවට වෙලා තියෙන ඛේදවාචකය කොයිතරම් දුරට බලපවතියිද කියන්න බැහැ. දැන් සිනමාශාලා වැහීගෙන යනවා. පසුගිය කාලෙ කොරෝනා වසංගත තත්ත්වයත් එක්ක හොඳට තිබුණු සිනමශාලාත් වැහිල ගිහිල්ලා. සිනමාව නැවත තිබුණු තත්ත්වයට ගෙන එන්න කාලයක් යයි. ඒ නිසා චිත්‍රපටයක් නිෂ්පාදනය කරනවා වගේ අවදානම් වැඩකට අතගහන්න මම බයයි. ඒත් සිනමාපටයක රංගනයට ආරාධනාවක් ලැබුණොත් චරිත ස්වභාවය බලලා ඒ ආරාධනාව මම පිළිගන්නවා.


 


එසේනම් නැවතත් ටෙලිනාට්‍යයක් නිෂ්පාදනය කරන්න බලාපොරොත්තුවක් තියෙනවද?


ඔව්. මම ආසයි වැඩ කරන්න. අපේ ක්ෂේත්‍රයේ දක්ෂ ශිල්පීන් හවුල් කරගෙන හොඳ ගුණාත්මක නිර්මාණයක් කරන්න මම කැමතියි. හොඳ පිටපතක්, අධ්‍යක්ෂවරයෙක් මුණගැහුණොත් හොඳ නිර්මාණයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම කියන්න ඕනේ ටෙලිනිර්මාණය වුණාම ඒක අවස්ථා සිද්ධීන්ගෙන් පරිපූර්ණ වෙන්න ඕනේ. දවසින් දවස කුතුහලය වැඩි වෙන විදියට ලස්සන කතාවක් තියෙන්න ඕනේ. කතාව බොරුවට දික් කරලා දීර්ඝ ටෙලිනාට්‍ය කරන්න අවශ්‍ය නැහැ. නළු නිළියෝ නැති වුණාම කතාව වෙනස් කරලා නිර්මාණයේ ගුණාතමකත්වය පහළට දාන්න මම කැමති නැහැ. එහෙම නැතිව ප්‍රේක්ෂකයාට යමක් දෙන්න පුළුවන් හොඳ නිර්මාණයක් නම් බලමු ඉතින්.


 තරුණ රංගන ශිල්පීන්ට ඔබට යමක් කියන්න ඇති?


එයාලට කියන්න තියෙන එකම දෙය අනුකරණය කරන්න එපා කියලා. මොකද දැන් හැම නළුවෙක්ම නිළියක්ම කරන්නේ අනුකරණය කරන එක. ඒ නිසා ඒ අයගේ සහජ හැකියා යටපත් වෙන්නත් පුළුවන්. ඒ නිසා අනුකරණය නොකර තමන්ගේ හැකියාව දියුණු කරගන්න පුළුවන් නම් ක්ෂේත්‍රයේ දිගු ගමනක් යන්න පුළුවන්.