දැන් මම කිසිදේකට බය නැහැ - ශෙහානි කහඳවල

Monday, October 18, 2021 , 0 Comments



කැප කිරීම

අද වෙද්දී මම ගතකරන ජීවිතේ එක්ක බලද්දී මම කරපු කැපකිරීම ගැන තියෙන්නේ ලොකු සතුටක්. මම වැඩක් බාරගත්තට පස්සෙ මට ඒකෙදි සියයට දාහකින්ම මගේ උපරිමයෙන්ම ඒ වෙනුවෙන් මහන්සි වෙනවා කාලය  කැපකරනවා. කලාවෙදි වුණත් මම එකපිට වැඩ දෙක තුන කලවම් කරගන්නේ නැහැ. මම නිවැරදිව, වෙලාව සකස් කරගෙන වැඩ කරනවා. ඇතැම් අවස්ථාවලදී බාරගත්තු දේටම කැපකිරීම් කරපු නිසා පසුව ලැබුණ හොඳ වැඩ මඟහැරුණු අවස්ථා තිබුණා.


ඉරිසියාව

පුංචි කාලේදී නම් මගේ ජීවිතේ ඉරිසියාව කියන දේ උපරිමයෙන්ම දැනිලා තියෙනවා. මගේ අම්මයි, තාත්තයි වෙන්වෙලයි ඉන්නේ. පුංචි කාලේදී කාලයක් මගේ ළඟ අම්මා හිටියා. තවත් කාලයක් තාත්තා හිටියා. දෙන්නම මගේ ළඟ එකට හිටියේ නැහැ. කවදාවත් ඒ දෙන්නාගේ අත්දෙකේ එල්ලිලා ඒ දෙන්නා එක්ක යන්න එන්න මට පුළුවන් වුණේ නැහැ. අවුරුදු ගාණක් තාත්තා එක්ක, අවුරුදු ගාණක් අම්මා එක්ක මාරුවෙන් මාරුවට තමයි මම මගේ පුංචි කාලේ ගත කළේ. මගේ වයසේ ළමයින්ගේ දෙමව්පියන් දිහා බලලා ඒ ආදරය දිහා බලලා පුංචි කාලේ නොතේරුම්කමට මම ඒ ආදරයට උපරිමයෙන්ම ඉරිසියා කරලා තියෙනවා. ඒ ඉරිසියාව දරාගන්න බැරිව මම පුංචි කාලේදී අඬලත් තියෙනවා. දැන්නම් ඒ හැමදේම මට හොඳට තේරෙනවා. දැන්නම් කාටවත්, කිසිම දේකට මම ඉරිසියා කරන්නේ නැහැ.


පසුතැවීම

මම ඉස්සර බොහෝ වෙලාවට දැන් කරන්න ඕන දේ දැන් නොකර පස්සට දානවා. කාලයක් ගියාට පස්සේ අපරාදේ ඒ කාලේදීම ඒක කළා නම් කොච්චර හොඳද? කියලා අනන්තවත් පසුතැවිලි වෙලා තියෙනවා. මීට අවුරුදු තුන හතරකට පෙර කරන්න හිටපු දෙයක් දැන් කරන්න පටන් අරගෙන තියෙනවා. අපි ඒ ගැන තව ටික දවසකින් කියමු. ඒක ඉස්සරහට බලාගන්න පුළුවන් වේවි.




කඩාවැටීම්

මගේ ජීවිතේ කඩාවැටීම් බොහෝ වෙලාවට දැනිලා තියෙනවා. මම පවුලේ එකම ළමයා. ඒ නිසා මම හැදුනේ තනියමයි. පුංචි කාලේ මගේ අම්මයි, තාත්තයි මගේ ළඟ නැතිවීම ගැන හිතලා මම කඩාවැටිලා තියෙනවා. ඔහොම ජීවිතේ ගෙවෙද්දී මම කවදාහරි දවසක තනියම නැගිටිනව කියල මමම හිතාගත්තා. සමහර ළමයින්ගේ අම්මයි, තාත්තයි වෙන්වුණාට පස්සේ ජීවිතේ ඔහේ නිදැල්ලේ ගතකරනවා කියලනේ හිතන්නේ. මට එහෙම වෙන්න ඕන වුණේ නැහැ. මම අවුරුදු තුනහමාරේ ඉඳන් තනි ජීවිතයක් ගතකරපු කෙනෙක්. පුංචි කාලේදී ජීවිතේ අනන්තවත් කඩාවැටීම් වුණාටත් පස්සේ එක තැනකදී &මම කොයි පැත්තකින් හෝ අලුත් කෙනෙක් විදිහට නැගිටිනවා* කියලා හිතාගත්තා. මම දුක් විඳපු හැටියට ජීවිතේ කඩා වැටුණ හැටියට අද මම ඉන්න තැන ගැන මට තියෙන්නේ ලොකු සතුටක්. මගේ අම්මා එක්ක අද නිදහසේ ජීවත් වෙනවා. ඒ ගැන මට සතුටුයි.


 අභියෝග

මගේ ජීවිතේට ආපු හැමදේම අභියෝග වුණා. පළමු වතාවට සිදුවන, මුහුණදෙන හැමදේම අපිට අභියෝගයි. අපි ඒකට මුහුණ දීලයි ඒකේ රස, තිත්ත තීරණය කරන්න වෙන්නේ. පුංචි කාලේදීම මම එහෙම අභියෝග බාරගන්න චුට්ටක් බයයි. මිනිස්සු මට හිනාවෙයි. මට ලැජ්ජා වෙයි. මගේ අම්මා බනීද, මගේ නෑදෑයෝ, වටපිටාවේ අය මගේ අම්මාට මොනවා කියාවිද කියලා ලොකු බයක් මට තිබුණා. මාව මටම හිරකරගෙන හරි පැකිලීමකින් හිටියේ. නමුත් දැන් එහෙම නැහැ. අපි ජීවත් වෙන්න ඕනේ අපිට ඕන විදිහටයි. තමන්ට කැමති ඕනෑම දෙයක් කරන්න නිදහස වාගේම අයිතිය තියෙනවා. ඒ නිසා පහුකාලීනව මට ලැබුණ හැම අභියෝගයකටම මම බය නැතිව මුහුණ දුන්නා. ඒ අභියෝග ජයගත්තා.


ප්‍රථම ප්‍රේමය

මගේ ප්‍රථම ප්‍රේමය පාසැල් ප්‍රේමයක්. ඒක සුන්දරයි. අපි ඒ කාලේ දකින ලෝකය වුණේ පාසැලයි, මගේ ගෙදරයි, ඒ යන පාරයි විතරයිනේ. එතැනින් එහාට ඒ කාලේ ලෝකයක් දැකලා තිබුණේ නැහැ.



ප්‍රේමය

මේ වෙනකොට නම් මම පෙම්වතියක් නෙවේ. බොහෝ කාලයකට උඩදී පෙම්වතියක් වෙලා හිටියා. නමුත් දැන් නැහැ. මට දැන් පෙම්වතියක් වෙනවාට වඩා මගේ තිබෙන ඉලක්කවලට යන්නයි ඕනේ. මගේ අම්මාගේ හිත සතුටු කළාට පස්සේ මට ඒ හැමදෙයක් ගැනම හිතන්න පුළුවන්. මට අවුරුදු දොලහේදී ඉඳන් තනියම මාව තනියම හදපු මගේ අම්මට තෑග්ගක් විදිහට මට පුළුවන් උපරිම දුරක් මම අම්මාව එක්කගෙන යනවා. ඒක තමයි මගේ ලොකුම ඉලක්කය වෙන්නෙත්.


ජයග්‍රහණය

පුංචි කාලේ ඉඳන් අද ඉන්න තැන ගත්තොත් මට ජයග්‍රහණයටත් වඩා ඉහළට ගියපු තැනක්. ඒ තරම් සතුටින් අද මම ඉන්නවා. මම යාළුවෝ බොහෝ ආශ්‍රය කරන කෙනෙක් නෙමේ. මම හැමදේම යාළුවෙක් වගේම බෙදාහදා ගත්තේ මගේ අම්මත් එක්කයි. අපිට අපි දෙන්නා විතරයි ඉන්නේ. ඒක තමයි මගේ ලොකුම ජයග්‍රහණය වෙන්නේ.


ඔබ කවුද?

ෂෙහානි කියන්නේ ඇත්තටම තාමත් මම මම ගැන හොයනවා. කලින් හිටපු ෂෙහානි දැන් නැහැ. ඉස්සර මම ටිකක් සැරයි. නමුත් කාලයත් එක්ක, අත්දැකීම් එක්ක ජීවිතේ ඉස්සරහට යද්දී අපේ අනාගතයට ඒක රුකුලක් වෙනවා. ලැබුණු අත්දැකීම් එක්ක මම ගොඩක් වෙනස් වුණා. මම මගේ වටිනාකම තේරුම් අරගෙනයි ඉන්නේ. දැන් මම නිදහසේ, මාව තේරුම් අරගෙන, මගේ පාඩුවේ භාවනා කරගෙන ජීවත් වෙනවා.