එයාව දාලා ලංකාවට ආව දවසේ මම පුදුම විදිහට ඇඬුවා - ලෝචනා ඉමාෂි

 



කැපකිරීම

ජීවිතේ අපි හැමෝටම කවුරුන් හෝ වෙනුවෙන් කැපකිරීමක් කරන්න සිද්ධ වෙනවා. මගේ පොඩි කාලේ මගේ දෙමව්පියෝ මම වෙනුවෙන් බොහෝ කැපකිරීම් කළා. මට මගේ දරුවා වෙනුවෙන් බොහෝ කැපකිරීම් කරන්න සිද්ධ වෙනවා. ජීවිතේ වගේම වෘත්තීය ජීවිතේදී වුණත් බොහෝ දේවල් කැපකිරීම් කරන්න සිද්ධ වෙනවා. රංගනයේදී විවිධ චරිත කරද්දී විවිධ කැපකිරීම් කරන්න සිද්ධ වෙනවා. ඒ හැමදේම කරද්දී ලැබෙන ප්‍රතිඵලය බොහෝ වේලාවට සාර්ථකයි. මගේ ජීවිතේත් මගේ ආදරණීයයන් වෙනුවෙන් බොහෝ අවස්ථාවල කැපකිරීම් කරලා තියෙනවා.


 ඉරිසියාව

ඉරිසියාව කියන්නේ මගේ ජීවිතේ මට නැතිම දෙයක්. මගේ ළමා කාලේ සිට අද දක්වා වුණත් මට හැමදේම ලැබුණ කෙනෙක් නෙමෙයි. මට නැති දේවල් බොහෝමයක් අනිත් අයට ඇති. ඒත්... මට නොලැබුණාය කියා මම ඒ කිසිම දේකට, කිසිම කෙනෙකුට ඉරිසියා කරන්නේ නැහැ. ඒක තමයි ඇත්ත. මම ඒ දේවල් ගැන හිතන්නේ නැති නිසා නොලැබිච්චි ඒ දේවල් ගැන අවශ්‍යතාවයක් මට දැනෙන්නේත් නැහැ.


පසුතැවීම

ජීවිතේ එහෙම පසුතැවීම් වෙලා තියෙනවා. පෞද්ගලික ජීවිතේ යම් යම් පසුතැවීම් තිබෙනවා. ඒවා මට විතරක් නෙමේ ඕනෑම කෙනෙකුට අයිති වෙන දේවල්. ඒ පසුතැවීමත් එක්ක හිතට එන කලකිරීම්, දුකත් එක්ක මට හිත හදාගන්න ටිකක් අමාරුයි. හැබැයි ඒ වෙලාවට අඬලා, ඒ පසුතැවිලි වුණු දේවල්වලින් ඈත්වෙලා මම හිත හදාගන්නවා.


කඩා වැටීම්

මගේ ජීවිතේ එහෙම කඩා වැටීම් වෙලා තියෙනවා. මගේ ජීවිතේ ලොකුම කඩා වැටීම වුණේ මගේ දරුවාගෙන් ඈත්වෙලා හිටපු මේ කාලය. දැන් එයා අවුරුදු දෙකක් තිස්සේ ඉන්නේ විදෙස් ගතවෙලයි. මීට අවුරුදු දෙකකට පෙර එයාව ඒ රටේ දාලා ලංකාවට ආපු දවසේ මම අඬපු තරම්. ඒ අතරේ අපි නොහිතපු විදියට කොවිඩ් නිසා රටවල් වැහුවා. ඒ නිසා පුතාට ලංකාවට එන්නවත් මට ආයෙත් එහෙට යන්නවත් බැරිවෙලා තියෙනවා. අවුරුදු දෙකක් තිස්සේ පුතාව දකින්න නොලැබීමම මගේ ජීවිතේ ලොකුම කඩා වැටීමක්.


අභියෝග

මට ජීවිතේට මුහුණ දෙන හැම දෙයක්ම අභියෝගම තමයි. හැබැයි ජීවිතේට එන ඒ හැමදේම අභියෝග කියලා හිතනවාට වඩා මම කළයුතු දෙයක් විදිහට හිතලා ඒවාට මුහුණ දෙනවා. ඒ හැමදේම මම බාර අරගෙන කොහොම හරි ඒවාට මුහුණ දෙනවා. මට දැනෙන විදිහට ලැබිච්චි කිසිම අභියෝගයක් මම මඟහැරලා ජීවිතේට මුහුණ දුන්නේ නැහැ. ඒ හැම අභියෝගයකටම මම කොහොම හරි මුහුණ දුන්නා.



ජයග්‍රහණ

මගේ ජීවිතේ තිබෙන ලොකුම ජයග්‍රහණය මගේ පුතාම තමයි. අවුරුදු දෙකක් තිස්සේ වීඩියෝ කෝල්වලින් තමයි පුතාට මට දකින්න ලැබුණේ. එයා මේ අවුරුදු දෙකට උස් මහත්වෙන හැටි, සෙල්ලම් කරන හැටි, ඒ වීඩියෝ කෝල්වලින් මම හැමදාම බැලුවා. කෑම කද්දී වුණත් එයා මට කවනවා. මම එයාට කවනවා. අපි දෙන්නා ස්ක්‍රීන් ෂොට්වලින් ෆොටෝ ගන්නවා. එයාගේ ඉස්කෝලේ වැඩ මට පෙන්නනනවා. එහෙම තමයි මේ කාලය ගෙවෙන්නේ. ළඟදීම එයා ලංකාවට ඒවි. කොවිඩ් අඩුවෙලා ආයෙත් එයාට ලංකාවට එන්න ලැබීමම තමයි මට දැනෙන විදිහට මේ කාලයේදී මම ලබපු ලොකුම ජයග්‍රහණය වෙන්නේ. මගේ ජීවිතේ දිනපු තැන් වගේම පැරදුණු තැනුත් තියෙනවා.


ආදරය

අද මේ ගෙවන ජීවිතය ගැන සතුටුයි. අද අපේ කියන හැඟීමක් දැනෙනවානේ. තමන්ගේ කියන හැඟීමත් එක්ක අද ඒ ආදරය ලස්සනට ගෙවෙනවා.


 ඉලක්ක

මට දැන් තිබෙන ලොකුම ඉලක්කය මේ කොවිඩ් මැඩගෙන මගේ පුතා ලංකාවට එනතුරු බලාගෙන ඉඳීමම තමයි. මේ මාසයේ පුතා ලංකාවට එන්න ඉන්නේ. බලමු....


මම කවුද?

ලෝචනා කියන්නේ සාමාන්‍ය ජීවිතේ සාමාන්‍ය විදිහට ගෙවන කෙනෙක්. මගේ වෘත්තීය රංගන ශිල්පිනියන් වුණාට මම සාමාන්‍ය විදිහට ඉන්න, සංවේදී, සතුටින් ඉන්න කැමැති

 




Previous Post Next Post