ලංකාවේ බොහෝ චිත්‍රපට දුවලා තියෙන්නේ විකට නළුවන් නිසා

Thursday, August 05, 2021 , 0 Comments

 





රජිත හිරාන් චාමිකර කියන නමට වැඩිය පිංපොං කිව්වම තමයි ඔහු හැමෝම දන්නේ. එච්චරටම ජනප්‍රියයි ඔහු කළ ඒ චරිතය. හරියටම කිව්වොත් වසර විස්සකට පෙර තමයි පිංපොං කියන රජිතගේ දෛවය වෙනස් කරපු චරිතය ලැබුණේ. ඒ චරිතය රංගන දායකත්වය ලබා දෙනවත් සමඟම තවත් නිර්මාණ රැසකට එක දිගට රජිතට රඟපාන්න යන්න ලැබුණා. මේ හේතුවෙන් ඔහුට තමන්ගේ අධ්‍යාපන කටයුතු අතරමග නවත්වා දමන්නටත් සිදුවුණා. පසුකාලීනව රජිත ඒ පිළිබඳ යම් පසුතැවීමකින් සිටියත් ඒ අධ්‍යාපන කටයුතු නතර කළ තැනින් යළිත් අරඹන්නට ඔහු සූදානම් වන පුවතයි අපි ඔබට මේ දන්වන්නට ලෑස්ති වෙන්නේ. තවත් විදිහකින් කිව්වොත් පිං පොං මේ දවස් වල තමන්ගේ අධ්‍යාපන සුදුසුකම් සපුරන වැඩවල නිරත වෙනවා. එදා රජිතට නීතීඥවරයෙක් වන්නත් වුවමනාවක් තිබුණා. අද වන විට ඒ හීනයත් ඔහු සැබෑ කර ගන්නයි සූදානම් වන්නේ. කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ මොන විකාරයක්ද ඔහු කරන්නේ කියලා. හැබැයි ඉගෙන ගන්නට වයසක් ඕනැ නැහැ කියන්නට උදාහරණ ඕනෑ තරම් අපි දැකල තිබෙනවා.


 


 

රජිත, ඔබ නැවතත් ශිෂ්‍යකුගෙ මට්ටමට පත්වෙලා කියලා දැනගන්න ලැබුණා. මොකක්ද ඒ කතාවේ අග මුල?


මෙහෙමයි 2001 වසරේදී මට හම්බ වෙනවා පිංපොං කියන චරිතය. එතකොට මම ඕලෙවල් කරලා රිසාල්ට්ස් එනකන් ගෙදර හිටියේ. අර එහෙ මෙහෙ රස්තියාදු ගහන කාලයක් තියෙනවානෙ. මාත් ඒ කාලයේ බොහොම සුන්දර විදිහට ගත කරමින් හිටියා. ප්‍රතිඵල ආවට පස්සෙ මට ප්ලෑන් ටිකක් තිබුණා මේ මේ දේවල් මම කරනවාය කියලා. නමුත් තට්ටු ගෙවල් නාට්‍ය විකාශය වන්නට පටන් ගෙන කොටස් තුනක් හතරක් යද්දි පිං පොං කියන චරිතය ලංකාවේ අතිශය ජනප්‍රිය චරිතයක් බවට පත්වෙනවා. එතකොටම තමයි උදයකාන්ත වර්ණසූරිය මාව එක්කගෙන යන්නේ ඔහුගේ නිර්මාණවලට දායක කරගන්න. ඔහුගේ නිර්මාණවලට දායකත්වය ලබාදීලා ඉවර වෙලා කොහේදෝ තැනක මැච් එකක් බල බල ඉද්දී රෝයි ද සිල්වා මහත්මයා මාව හොයාගෙන ඇවිල්ලා අතින් අල්ලගෙන එක්කන් යනවා ඔහුගේ චිත්‍රපටවල රඟපාන්න. එතැනින් පටන් ගත්ත ගමන දිගින් දිගටම මම චිත්‍රපටවල රඟපානවා. ටෙලි නාට්‍යවල රඟපානවා. ඊට පස්සේ වේදිකා නාට්‍යවල රඟපානවා. පිටරට ටුවර් යනවා. නොනවතින ගමනක මම යෙදුණා. ඔය අතරතුර දී මට මගේ අනාගත බලාපොරොත්තු ඒ වගේම මේ ඉගෙන ගැනීම පැත්තෙන් මට කරන්න ඕන දේවල් සියල්ල මගහැරුණා. ඒක මම හිතා මතා කරපු දෙයක් නෙමේ ඉබේම එක ගිලිහුණා. ඔය අතරතුරදී කොරෝනා කියන වසංගතය ලංකාවට පැමිණෙනවා. කවුරු කොහොම කෙලෙස කිව්වත් කොරෝනා කියන තත්ත්වය මම පිළිගන්නේ අනිත් අය හිතන විදිහට නෙමෙයි. ඒක ඇත්තටම දේව ආශිර්වාදයක් වුණා. කොරෝනා සමයේ ගෙදරට වෙලා ඉද්දි ඇත්තටම විශාල මානසික නිදහසක් ඇති වුණා. වෙන වෙන අංශ කෙරෙහි විශේෂයෙන්ම අපිට මඟහැරුණ දේවල් කරන්නට ප්‍රස්ථාව ලැබුණා. මගේ නෝනා උපාධියක් හදාරනවා. එකත් එක්කම මට කල්පනා වුණා අඩේ මම එදා අධ්‍යාපන කටයුතු නවත්වපු තැනින් ආයේ පටන් ගන්න බැරිද කියලා. ඊට පස්සේ තමයි නෝනයි මමයි කතාබහ කරගෙන මම නැවතත් මගේ අර මඟහැරුණු අධ්‍යාපන කටයුතු පටන් ගත්තේ. කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදනය ඩිප්ලෝමා එක කරන්න පටන් ගත්තා ක්ෂේත්‍රයේ තියෙන පළපුරුද්දක් එක්ක සලකලා බලලා. ඊට පසුව මම උපාධිය දක්වා යන්න බලාපොරොත්තු වෙනවා.


ඒත් එක්කම තව බලාපොරොත්තුවකුත් තියෙනවා.




ඒ මොකක්ද?


දැන් බලන්න. මගේ කට හරිම සැරයිනේ. නිකන් වාචාල කටක්නේ මට තියෙන්නේ. බොහෝ අයට මගෙත් එක්ක කතා කරලා බේරෙන්න බෑ. ඒකත් එක්ක එදා නීතිඥ වෘත්තීය තෝරගන්න කියලා බොහෝ දෙනා කියපු දෙයක්. ඒ හීනයත් මඟහැරුණානෙ. නීතිඥයෙක් වෙන්න ඉගෙන ගන්න තමයි ඊළඟ අදහස. මම නීතිඥ ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. ඒත් මගේ බලාපොරොත්තුවක් නෑ නඩු කතා කරන්න. ඒත් මගේ නමට ඉදිරියෙන් නීතිඥ කියන වචනය තියේවි. ඒක මගේ ගමනට ආලෝකයක් වෙයි කියලා මම හිතනවා. හැබැයි සමහර නඩු කතා නොකර ඉන්නෙත් නැහැ.


 


මේ කටයුතුවලට ඔබට කාලවේලාවක් තියෙනවද?


මම අර කිව්වෙ ඕන කෙනෙකුට ඕන දෙයක් කරන්න පුළුවන් නිවාඩුවක් මේ හම්බවුණේ. කොරෝනා කාලයේ බොහෝ කලාකරුවන්ට වැඩ නැති වුණා. අපිත් ගෙදර හිටියා. වේදිකා නාට්‍ය චිත්‍රපට ටෙලිනාට්‍යය තියා අඩුම තරමින් ෂෝ එකක්වත් නෑ ගිහිල්ලා සින්දු කියලා එන්න. එහෙත් කලාකරුවෙක් විදියට මම ස්ථාවරයි. ඒ මගේ බිරියගේ රස්සාව නිසා. කොන්ද කෙලින් තියන් ඉන්න මට පුළුවන් වුණා. ඒ රස්සාව ආරක්ෂා කර දෙන විදියට තමයි මම වැඩ කළේ. බිරිය දවස් දෙකක් වැඩ දවස් දෙකක් නිවාඩු. ඒ නිසා මම ළමයි බලා කියා ගන්න වැඩකටයුතු කරගෙන, සෙනසුරාදා ඉරිදා දවස්වල කොහොමහරි ඉඩක් හදාගත්තා මගේ අධ්‍යාපන කටයුතු කරගෙන යන්න.