සමහරු විවාහ දෙක තුන කරගෙන වෙන්වෙලා - ශාලිකා එදිරිසිංහ

Friday, April 23, 2021 , 0 Comments

 


'මේ දිනවල මම රඟපාන “සංසාර සිහිනය’ ටෙලිනාට්‍යයේ. එහි චන්දික නානායක්කාරගෙ බිරිඳ ලෙස චරිතයක් රඟපානවා. රෝහණ සමරදිවාකරන්ගේ නිර්මාණයක්. මම රඟපාන චරිතයේ හැටියට වෙනත්  කෙනෙක් එක්ක අනියම් සම්බන්ධයක් පවත්වාගෙන සැමියාගේ මුදල් කොල්ලකන්න හදන කාන්තාවක්.”  මේ විදියට චරිතයක් සමග හමුවන ශාලිකා එදිරිසිංහ ඇගේ විස්තර ගැන පුවත්පතකට මෙලෙස කියා තිබුනා.


ඉතින් ශාලිකා සංසාර සිහිනය හැර වෙන චරිත මොනවා ද?

“මේ දිනවල පවතින කොවිච් වසංගත තත්ත්වය නිසා වැඩ ගොඩාක් බදාගෙන නැහැ. තෝරා බේරාගෙන සෞඛ්‍ය නීති රීතිවලට අනුකූලව වැඩ කරන්න වෙලා තියෙනවා.” 


 පහුගිය කාලයේදී ශාලු ගැන වැඩිපුර කතා කළේ? “රන්තිලිවැව නාට්‍යයේ රඟපෑ චරිතය නිසයි. ඊට අමතරව ජීවිතය ඇති තුරා නාට්‍යයේ රඟපෑ චරිතය ගැනත්

බොහෝ දෙනා කතා කළා.”  ශාලිකා වෘත්තියෙන් රඟපැම විතර ද කරන්නෙ?

“රඟපෑමට මුල් තැන දෙන අතරේ පසුගිය කාලයේදී මගේම ව්‍යාපාරයක් පටන් ගත්තා. එය විලාසිතා සම්බන්ධයෙන් කෙරෙන ව්‍යාපාරයක්.”




 සැබෑ ජීවිතයේ අද දවසේ ගෙවෙන ජීවිතය ගැන විස්තර කිව්වොත්?

“මේ දිනවල කොරෝනා නිසා ව්‍යාපාර කටයුතුත් තාවකාලිකව නතර කරලා තියෙන්නෙ. ඒත් ආයෙත් ඉක්මනටම එය පටන් ගන්න ඕනෑ. අලුත් අවුරුදු සමයෙන් පසුව ඒ වෙනුවෙන් ක්‍රියාකාරීව කටයුතු කරන්න හිතාන ඉන්නෙ .


 ශාලු තවමත් විවාහයක් ගැන හිතුවෙ නැද්ද? 

“විවාහය කියන්නෙ කරන්නන් වාලේ කෙරිය යුතු දෙයක් නෙවෙයි. සමහරු විවාහ දෙක තුන කරගෙන  වෙන් වෙලා. සමාජයේදී අපට ඒ වගේ දේ දකින්න ලැබෙනවා. ඒත් මම තවම අවිවාහකයි. විවාහයට සුදුසු  කෙනා හමුවීම වැදගත්. එහෙම නොවුණොත් ප්‍රශ්න ගොඩාක් ඒවි. විශේෂයෙන්ම මව්පියන්ගේ ආශිර්වාදය උපදෙස් සියල්ල අවශ්‍යයි. දැනට මම ජීවිතේ වැඩි කාලයක් ගෙවලා තියෙන්නේ මව්පියන් එක්ක. ඔවුනගේ ආදරය රැකවරණය වගේ දෙයක්, ලැබෙන සහකරුගෙන් අවශ්‍යයි. එහෙම නොවුණොත්, නොලැබුණොත් පාපකාරීව ජීවිතය ගෙවීමට සිදුවේවී. ඒ නිසා සුදුසු කෙනෙක් ගළපාගත යුතුමයි. එහෙම නැත්නම්, මේ ඉන්න විදියම හොඳයි.” 


 ඒ කියන්නේ ආදර සබඳතා තිබිලා නැද්ද?

“අපෝ තිබිලා තියෙනවා. ඒත් විවාහයට සුදුසු කෙනෙක් හම්බවෙලා නැහැ.


 මොන විදියෙ, මොන වගේ කෙනෙක් ද ගැළපෙනෙ? 

“ආධ්‍යාත්මිකව ආදරය හඳුනාගත් කෙනකුට මම කැමැතියි. මොකද මම ආගමට දහමට බොහොම ලැදිව කටයුතු කරන කෙනෙක්. ඉතා ගුණ යහපත් ගති ඇති, මාව රැක බලාගන්න පුළුවන්, මනුස්සකමට මුල් තැන දෙන සහකරුවකු මට ගැලපේවි. දරුවන්ට හොඳ පියෙක් වෙන, බිරිඳට ගරු කරන චරිතයක් එක්ක ජීවත් වෙන්න පහසුයි. මොකද එහෙම නොවුණොත් සංසාරේ අපට කලකිරෙනවා. අනික මේ සංසාරේ  කොහෙන් කොහොම කොතැනින් කෙළවර වේවි ද කියලා අපි දන්නෙත් නැහැ. හොඳ කෙනෙක් ලැබුණොත් සංසාර ගමනත් අපට පහසුවක් වේවි.


ශාලු ජීවිතය කලකිරීමෙන් ද? 


කොහොමටවත් නැහැ. දිගු ගමනක් යන්න නම්, හොඳ අවබෝධයක් තිබෙන්න ඕනෑ. ජීවිතයේ අපි කරන කියන සියලු දේ ගැන වැටහීමක් අවබෝධයක් නැත්නම් වැඩක් නැහැ. නිතරම අපි අපට අදාළ වගකීම වටහාගෙන කටයුතු කළොත් ප්‍රශ්න අවමයි.” 


 විවාහයට නිශ්චිත වයසක් තිබෙන්න ඕනෑය කියලා යාලුට හිතන්නෙ නැද්ද?


“මම එහෙම හිතන්නෙ නැහැ. සමහර අය ඉතාම අඩු වයසින් විවාහ වෙනවා. එයාලා හිතන්නෙ ආදරය කියන්නේ ඒක කියලා වෙන්න ඇති. මුලින්ම ආදරය කරන්න ගත්තාම ඒ විදියට අදහස් ඇති වීම ස්වභාවිකයි. අත්දැකීම් නැහැනෙ. හැබැයි බොහෝ වෙලාවට එහෙම වෙන්නෙ ආදරයට වඩා අපේ හැඟීම්වලට මුල් තැන දීම නිසයි. බුද්ධියට මොළයට දෙන තීරණයට වඩා හැඟීම්වලට ඉඩ දී කටයුතු කළාම පසුවට ප්‍රශ්න ඇති වෙනවා. පරිණත වෙද්දි තමයි නොගැළැපීම තේරෙන්නෙ. හැබැයි ඒ වනවිට ඒ  අය ප්‍රමාද වැඩියි. මොකද දරුවොත් ඉන්න පුළුවනි. මම මේ විදියට කියන හැමෝම ගැන නෙවෙයි. 


බොහෝම තරුණ වයසේදි විවාහ වෙලා මැරෙනකල්ම සතුටින් ජීවත් වෙන අය ඕනෑ තරම් ඉන්නවා. ආදරය කියන හැඟීම්වලට විතරක් මුල් තැන දිය යුතු දෙයක් නෙවෙයි. ඒ නිසා විවාහය කියන දේ මම නම් කලබල නැහැ. 


 ඇත්තම කියන්න ආදර සබඳතා කීයක් විතර තිබිලා තියෙනවා ද? 

තුනක් විතර.


ආදරය නොලැබුණාම, පැරැදුණාම හිත හදාගන්නෙ කොහොම ද?

 එක ආදරයක් නිසා නම් මම බොහෝම විඥවා. ඒ වනවිට මමත් ජීවිතය තේරුම් ගනිමින් සිටි කෙනෙක්. එතකොට අත්දැකීම් අඩුයි. ජීවිතයේ පන්නරය ලබන්නේ අත්දැකීම් එක්කනෙ. කොහොම වුණත් ආදරය අහිමි වුණාම මම හිත හදාගත්තේ ධර්මය අවබෝධ කරගැනීමට පෙළැඹීමෙන්. බෞද්ධ දර්ශනයට අනුව කටයුතු කළාම අපට හිත හදාගන්න පුළුවනි.


සමහර අය ආදරය අහිමි වුණාම සිය දිවි නසාගන්න පවා උත්සාහ ගන්නවා. ඒ වගේ අයට ශාලු දෙන උපදෙස මොකක් ද? 


අපි කවුරුවත් සෝවාන් වෙලා නැහැනෙ. ඒ නිසා ආදරය අහිමි වුණාම අපට වේදනාව දැනෙනවා. ඒ වේදනාව විරහව විඳින්නට ඕනෑ. විවාහයට පෙර ඕනෑම කෙනෙක් ඒ අත්දැකීම ලබනවා නම් එක අතකට හොඳයි. ආදරය කියන්නෙ මොකක් ද කියලා හරියටම තේරෙනෙ එතකොටයි. ඒ නිසා ඒ විරහව අත්දැකීමක් කරගෙන ජීවිතයට මුහුණදීම වැදගත්. එතකොට ආදරයේ වටිනාකම ගැන වගේම ජීවිතය ගැනත් අවබෝධ කරගන්න පුළුවනි. සිය දිවි නසා ගැනීමෙන් ආයේ මනුෂ්‍ය ජීවිතයක් නොලැබේවි. ඒ නිසා මේ අසිරිමත් මනුෂ්‍ය ජීවිතය ගැන හිතලා ධර්මයට අනුව කටයුතු කළොත් ජීවිතය දිනුම්. යම්කිසි දෙයකින් අපි විඳවන තරමටම ජීවිතයේ ගෙනා අකුසලයන් ඉවර වෙනවා. ඉතින් ඒ ගැනත් හිතුවොත්, හොඳ අවබෝධයක් ලැබේවි.”


ශාලු දවස පටන් ගන්නෙත් ආගම දහමට අනුව ද? 

අනිවාර්යයෙන්ම අපි එහෙම කරනවා නම් හොඳයි. උදේ අවදි වූ විගස ඉරු දෙවියන්ට වඳිනවා. ඊට පස්සෙ සබ්බ පාපස්ස ගාථාව හත්වරක් කියනවා. ඊට පස්සේ වැඳලා පහන තියනවා."



ශාලිකා සම්පූර්ණ නම කිව්වොත්?

 “එදිරිසිංහගේ ශාලිකා අරුන්දතී එදිරිසිංහ."


අරුන්දතී කියලා කවුද කතා කරන්නෙ? 

ඒ නමින් කතා කරනවා අඩුයි. හැමෝම දන්නෙ ශාලිකා එදිරිසිංහ කියලයි. මම රඟපෑ පළමු ටෙලිනාට්‍යය වන කිඳුරු නදියේ සිට හැමෝම මාව දැනගත ශාලිකා කියලයි.


 අවුරුද්ද කොහොම ද සැමරුවේ?

නෑදෑ හිතමිතුරන් සහ සියලුදෙනාට ආශිර්වාද කරමින් ආශිර්වාද ලබමින් ගත කළා. චාරිත්‍ර හා වතාවත් අපි රැකිය යුතුමයි. ඒවා අනිවාර්යයෙන් කළොත් විතරයි අපේ බෞද්ධකම පවා පෝෂණය වනෙ. සරලකම රැකගන්න පුළුවන් වෙන්නෙ ඒ චාරිත්‍රවලට අනුවයි.