අළුත් නිළියක් එක්ක චන්න අළුත් වැඩක

Friday, February 05, 2021 , 0 Comments




අංජලිකා, කල්පාන්තයේ සිහිනයක්, යුගාත‍්‍රා වැනි සිනමා නිර්මාණයන්ගෙන් කලාවට අලූත් මුහුණක් හඳුන්වා දෙන්න නිතරම උත්සාහ කළ අධ්‍යක්‍ෂවරයෙක් තමයි චන්න පෙරේරා කියන්නේ. එයාගෙ අලූත්ම චිත‍්‍රපටයෙ වැඩ මේ වෙනකොට පටන්අරගෙන. ප්‍රේක්ෂකයන් කළ ඉල්ලීමකට ප‍්‍රතිචාරයක් විදිහටලූ මේ වැඩේ කරන්නෙ. මොකක්ද ඒ ඉල්ලීම. චන්නට අපිට කිව්වේ මෙහෙම කතාවක්.


චන්න, මොකක්ද මේ අලූත්ම වැඩේ?


ප්‍රේක්‍ෂකයන් බොහෝ දෙනකුගේ ඉල්ලීමක් තිබුණ නැවතත් අංජලිකා වගේ නිර්මාණයක් කරන්න කියල. ඒ ඉල්ලීමට ප‍්‍රතිචාරයක් විදිහට තමයි මගේ පස්වැනි සිනමා නිර්මාණය වන ‘සඳ දිය සළු’ සිනමාවට නැගෙන්නෙ. මේ වෙනකොට රූගතකිරීම් ආරම්භ කරල තියෙනව.


කාගෙද අදහස?


මේ චිත‍්‍රපටයේ පිටපත, තිර රචනය මගේ. හාස්‍ය, කුතුහලය රැඳුන වෙනස්ම විදිහේ අත්දැකීමක් පේ‍්‍රක්‍ෂකයාට ලැබේවි.


තිරයට අලූත් මුහුණක්?


ඔව්. මගේ තවත් නිර්මාණයක් වන ‘යුගාත‍්‍රා’ චිත‍්‍රපටයෙන් මාෂි සිරිවර්ධන ක්ෂේත‍්‍රයට හඳුන්වා දුන්නා. ඒක ලබන අගෝස්තු මාසයේ තිරගතවීමට නියමිතයි. ‘සඳ දිය සළු’ නමැති මගේ අළුත්ම චිත‍්‍රපටයෙන් නිම්හාරා සේනානායක නමින් අළුත් මුහුණක් හඳුන්වා දෙනවා. ඇයත් සිනමාවේ ලොකු වෙනසක් කරාවි. ඊට අමතරව මාලනී ෆොන්සේකා, ක්ලීටස් මෙන්ඩිස්, මොරීන් චාරුනී, කුසුම් රේණු, ලාල් වීරසිංහ, අජිත් වීරසිංහ, ශ‍්‍රීමාල් වෙඩිසිංහ, අතුල අධිකාරී සහ ශේෂාද්‍රි ප්‍රියසාද් රංගනයෙන් එකතු වෙනවා.


ප්‍රේක්‍ෂකයාගේ බලාපොරොත්තුව ක‍්‍රියාදාම චිත‍්‍රපට?


මම හිතන්නෙ ලංකාව තුළ ක‍්‍රියාදාම චිත‍්‍රපටවලට ලොකු ජනප‍්‍රියත්වයක් ලැබුණෙ නැහැ. ඒ වගේම මම තෝරාගන්නෙ ආදරය සම්බන්ධ නිර්මාණ. මම හිතනව මට ඒ හා සම්බන්ධ නිර්මාණවලට වැඩි හැකියාවක් තියෙනව කියල.


ඔබේ සිනමා අධ්‍යක්‍ෂණ දිවියට වසර විස්සයි?


ඔව්. මම සිනමා අධ්‍යක්‍ෂණයට පිවිසෙන්නෙ 2000 වර්ෂයේ. මේ වෙනකොට වසර විස්සක් සම්පූර්ණවෙලා. ඒ වෙනුවෙන් ළඟදි පොඩි උත්සවයක් පවත්වන්න බලාපොරොත්තු වෙනව.


අධ්‍යක්‍ෂණය සමග රඟපෑම නිර්මාණයට හානියක් වෙන්න පුළුවන්?


ඇත්තටම ඒක හරිම දුෂ්කර කාර්යයක්. හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ වගේම කාලයත් එක්ක ඕනෑම ක්‍ෂේත‍්‍රයක නිරතවන කෙනෙක් පරිනත භාවයට පත්වෙනව. මමත් වසර විසිපහක් පුරා රංගන ශිල්පියෙක් විදිහට වගේම වසර විස්සක් අධක්‍ෂවරයෙක් විදිහට කටයුතු කරනව. ඒ අත්දැකීම් එක්ක මම මගේ උපරිමය නිර්මාණය වෙනුවෙන් කරනව.


‘සඳ දිය සළු’ හි ඔබට විශේෂ අත්දැකීමක් ලැබෙනව?


ඔව්. මේ චිත‍්‍රපටයට නිළි රැජන මාලනී ෆොන්සේකා රංගන දායකත්වය සපයනව. එතනදි ඇයව අධ්‍යක්‍ෂණය කිරීමේ දුර්ලභ අවස්ථාව මට ලැබෙනව. ඒක මම සළකන්නෙ ලොකු භාග්‍යක් හැටියට.


‘යුගාත‍්‍රා’ ඔබ ජාත්‍යන්තරයට ගෙනියනව?


මේ චිත‍්‍රපටය මම ඕස්ටේ‍්‍රලියාවේ තිරගත කළා. ඒ වගේම ලංකාවේ ‘ස්කෝප් සරසවි සොම්නස’ සිනමා උළලේදී ප‍්‍රදර්ශනය කළා. ඒ අවස්ථා දෙකේදීම ලැබුණ ප‍්‍රතිචාර ඉතාම ඉහළයි.


මේ කාලයේ චිත‍්‍රපටයක් ප‍්‍රදර්ශනය කිරීම ලොකු අභියෝගයක්?


ඇත්තටම මේ වකවානුවේ චිත‍්‍රපටය ප‍්‍රදර්ශනය කරන්න අදහසක් නැහැ. කොහොම වුණත් මම හැම දෙයක් ගැනම සුබවාදීව බලන කෙනෙක්. කන්දක් නැග්ගොත් පල්ලමක් තියෙනව වගේ කාලයත් එක්ක මේ ගැටලූ විසඳේවි.


ඔබ පේ‍්‍රක්‍ෂකයා විශ්වාස කරනවද?


අපේ රටේ සිනමාව වෙනුවෙන් ප්‍රේක්‍ෂකයන් ඉන්නව. ඔවුන් සිනමාහල් වලට ආකර්ශණය කරගන්න නම් හොඳ නිර්මාණ බිහිවෙන්න ඕන. මම මගේ යුතුකම කරල තියෙනව. ඉතිරිටික සිනමාහල් හිමියන්ට බාරයි.


ටෙලිනාට්‍ය අතහැරියාද?


මම අවසන් වරට රඟපෑවෙ ක‍්‍රිෂ්ටි ශෙල්ටන් මහත්මයාගෙ ‘රතු අහස’ ටෙලි නාට්‍යයේ. ඒ මීට අවුරුදු හතරකට කලින්. මේ වෙනකොට ටෙලිනාට්‍ය සියයක විතර රඟපාල තියෙනව. දැන් මට තියෙන්නෙ සිනමා පිපාසයක්. හදවතට දැනෙන චරිතයක් ලැබුණොත් භාරගන්නව හැරෙන්න ටෙලි නාට්‍ය ගැන ලොකු උනන්දුවක් නෑ.


චන්න පෙරේරා තවමත් පෙම්වතාගේ චරිතයට සුදුසුද?


ඒ දේ තීරණය කරන්න ඕනා ප්‍රේක්‍ෂකයා විසින්මයි. යූ ටියුබ් මාධ්‍යයට යොමුකරල තියෙන මගේ සමහර වැඩසටහන් වලට දාල තියෙන කමෙන්ට් වලින් ප්‍රේක්‍ෂකයා තවමත් චන්න පෙරේරා පෙම්වතාගේ චරිතයෙන් ඈත් කරන්න උත්සාහ නොකරන බව මට හැඟෙනව.


ලංකාවේ සිනමාවට තියෙන තැන ගැන සෑහීමකට පත්වෙනවද?


ඇත්තටම සෑහීමකට පත්වෙන්න පුළුවන්කමක් නෑ. ආකර්ශණීය චිත‍්‍රපට අවම වීම, ප‍්‍රදර්ශනය කිරීමේ සහ බෙදාහැරීම් ගැටලූ බොහොමයි.


ප‍්‍රවීණයන් දිවිහිමියෙන් කැපවෙලා අවුරුදු පනස්ගණනක් පුරාවට අපේ සිනමාව රැකගෙන ආවා. වර්තමාන සභාපතිවරයා වගේම අධ්‍යක්‍ෂ මණ්ඩලයත් ඒ වෙනුවෙන් හදවතින්ම කැපවෙනව. නමුත් ඇතැම් නිලධාරීන්ගේ සහ වෘත්තීය සමිතිවල අත්තනෝමතික ක‍්‍රියාවන් සහ පෞද්ගලික සහ සම්බන්ධතා නිසා ඒ වැඩපිළිවෙළට බාධා මතුවෙලා. සිනමා කර්මාන්තයේ නියැළෙන අපේම පිරිසකුත් මේකට සම්බන්ධවීම කනගාටුවට කරුණක්. මේ තත්ත්වය වහාම නැවැත්වීමට සිනමාකරුවන් සහ ශිල්පීන් සභාපතිවරයා සහ අධ්‍යක්‍ෂමණ්ඩලය සමග එකතු විය යුතුයි. එවැනි සාමූහික ක‍්‍රියාවකින් පමණයි අපේ සිනමාව යහපත් තැනකට ගේන්න පුළුවන් වෙන්නෙ.


මහේෂ් එදිරිසිංහ