වට්ස්ඇප්හි නව රහස්‍යතා ප්‍රතිපත්ති සංස්කරණයට වයිබර් සිය විරෝධය පළ කරයි

Tuesday, January 12, 2021 0 Comments

 


කාර්යක්ෂම සන්නිවේදන සේවාවක් නොමිලේ සපයන ලොව ප්‍රමුඛතම ඇප් මෘදුකාංගයක් වන වයිබර් විසින් වට්ස්ඇප්හි පනවන ලද නව රහස්‍යතා ප්‍රතිපත්ති සංස්කරණය පිළිබඳව සිය විරෝධය පළ කර තිබේ. 

මීට ඉහතදී වට්ස්ඇප් පරිශීලකයින්ට තම වට්ස්ඇප් අංකය ෆේස්බුක් සමඟ හුවමාරු කරගැනීමෙන් වැළකී සිටිමේ හිමිකම ලැබී තිබුණ ද, ඉදිරියේදී එය ෆේස්බුක් සමඟ හුවමාරු කරගැනීම අනිවාර්ය වී ඇත.  එමෙන්ම සියලු වට්ස්ඇප් පරිශීලකයින් දින 30ක් ඇතුළත මෙම කොන්දේසියට එකඟ විය යුතු බවද , එසේ නොකරන්නන් හට තවදුරටත් වට්ස්ඇප් ගිණුම භාවිත කිරීමට නොහැකි වනු ඇති බවද එම සමාගම පවසා තිබේ.

මේ සම්බන්ධයෙන් ලෝකයේ බොහෝ ප්‍රසිද්ධ චරිත විවිධ අදහස් පල කර තිබූ අතර ඇතැමෙක් වට්ස්ඇප් වෙනුවට භාවිත කළ හැකි වෙනත් ඇප් පිළිබඳව ද ප්‍රජාව දැනුවත් කිරීමට කටයුතු කරන ලද ආකාරය දැකගන්නට ලැබුණි.

කෙසේවෙතත් තම නව රහස්‍යතා ප්‍රතිපත්ති සංස්කරණය තුළින් ෆේස්බුක් තුළට අන්තර්ග්‍රහණය වීමට වට්ස්ඇප් ක්‍රියාකර තිබෙන අතර ඒ ඔස්සේ  වට්ස්ඇප් සහ ෆේස්බුක් පරිශීලකයින්ගේ දත්ත එකම ස්ථානයකට ගොනු කිරීමටත් ඒ හරහා පෙරට වඩා වැඩි වශයෙන් මූල්‍යමය ප්‍රතිලාභ ලබා ගැනීමටත් ඔවුන් බලාපොරොත්තුවෙන් සිටී.

මේ අයුරින් වට්ස්ඇප් තම පරිශීලකයින්ගේ රහස්‍යතාව අවදානම් තත්ත්වයකට යොමුකිරීම පිළිබඳවත් පරිශීලකයින්ගේ දත්ත සුරක්ෂිත කිරීම සඳහා වයිබර් සතු ප්‍රධාන විශේෂාංග කිහිපයක් පිළිබඳවත් වයිබර් ආයතනය අදහස් පළ කර තිබේ.

එහිදී වයිබර් තුළින් හුවමාරු වන දත්ත කිසිවක් ෆේස්බුක් සමඟ හුවමාරු කර නොගැනෙන බවත් ෆේස්බුක් සමඟ ඇති තම සියලුම ව්‍යාපාර සබඳතා නවත්වා දැමීමට වයිබර් පියවර ගෙන තිබෙන බවත් ඔවුන් සඳහන් කරයි. 

එමෙන්ම වයිබර්හි රහස්‍යතා ප්‍රතිපත්තිය පිළිබඳව වගකීම තම ආයතනයට ගත හැකි බවත් එබැවින් වයිබර් වෙත යොමුවන සියලු දෙනාගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමට තම ආයතනයට හැකි බවත් වයිබර් ප්‍රධාන විධායක නිලධාරී ජාමෙල් අගවුඩා මහතා පවසා තිබේ.