මහින්ද රාජපක්ෂට ඉන්දියාවෙන් භාරත රත්න සම්මානය පිරිනමන්න යන ඇත්ත කතාව

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ හට ඉන්දියාවෙන් භාරත රත්න සම්මානය පිරිනමන්න යෝජනාවී ඇති බවට මේ දිනවල ඉන්දියානු මාධ්‍ය වල පළවී ඇතැයි සමාජ මාධ්‍ය තුළ රාවයක් පළවේ.
ලංකාවෙන් යුද්ධය තුරන් කර ජනතාවට සාමකාමී පරිසරයක් නිර්මාණය කළ නිසා
ඉන්දියාවේ ජනපති අතින් පිරිනමන ඉහළම සම්මානය වන මෙම සම්මානය මහින්ද රාජපක්ෂට යෝජනාවී ඇති බව එම වාර්තා වලින් පැවසේ.
කෙසේ වෙතත් මෙම පුවත ලංකාවේ මාධ්‍ය වල පළවුවත්  අප කළ සොයා බැලීමේදී ඉන්දියානු මාධ්‍ය තුළ එවැන්නක් ගැන පැහැදිලි පළකිරීමක් සිදුවී නැති බව

හඳුනාගන්නට ලැබේ. ඉන්දියානු නිව්ස් එක්ස් මාධ්‍ය ජාලයේ පමණක් එරට රාජ්‍ය සභා මන්ත්‍රී සුබ්‍රමනියම් ස්වාමි මේ සම්බන්ධයෙන් පළකළ ට්විටර් පණිවිඩයක් ගැන පුවතක් වාර්තා කර ඇත.
සුබ්‍රමනියම් ස්වාමි මහින්ද රාජපක්ෂ පාලන සමයේ සිට ඔහුට හිතවත්ව කටයුතු කළ ඉන්දියානු දේශපාලනඥයෙකු වන අතර එම හිතවත්කම නිසාම පසුගියදා මහින්ද සොයුරු චන්ද්‍ර රාජපක්ෂගේ අවමංගල්‍යය වෙනුවෙන් ඉන්දියාවේ සිට මළ ගෙදරටද ඇවිත් ගියේය. ලබන මාසයේ ඉන්දියාවේ පැවැත්වෙන රැළියක් ඇමතීමටද ඔහු මහින්ද රාජපක්ෂට ඇරයුම් කර ගොස් තිබේ.

ඔහු මහින්ද පාලනය පැවති 2014 වසරේදීත් ලංකාවට පැමිණ මහින්ද, ගෝඨාභය ඇතුළු පිරිස හමුව ගිය අයෙකි. ප්‍රභාකරන් විරෝධියෙකු වන ඔහු වර්තමානයේ කොටි හිතවාදී අදහස් පළකරන දකුණු ඉන්දීය දේශපාලනඥයින්ද නිරන්තරයෙන් විවේචනය කරන්නෙකි.
යුද ජය වෙනුවෙන් මහින්දට

භාරත රත්න සම්මානය පිදිය යුතු බව සුබ්‍රමනියම් ස්වාමි 2014 වසරේදීද යෝජනා කළ නමුත් 2014 වසරේ එම සම්මානය ලැබුනේ ඉන්දියානුවන් වන සචින් තෙන්දුල්කාර්ට සහ මදන් මෝහන් මලාවියාටය.

ඉන්පසු 2015දී එය ලැබුනේ පසුගිය මස දිවියෙන් සමුගත් හිටපු අගමැති අතල් බිහාරි වජ්පායිටය. ඉන්පසු මේ දක්වා එම සම්මානය තවත් අයට පිරිනමා නැත.

මළගෙදරදී මහින්ද හමුවීමෙන් පසුව සුබ්‍රමනියම් ස්වාමි 2018දී මෙම යෝජනාව නැවතත් සිදු කළත් එය කොතරම් දුරට සාර්ථක වේදැයි පැහැදිලි නැත.

ඉන්දියාවේ මන්ත්‍රීවරයෙකු වන ඔහු මෙම යෝජාව කරන්නේ අගමැති මෝදිට වන අතර මෝදි සියලු නම් අතරින් මහින්දව තෝරා එයට අනුමැතිය ලබාදී එරට ජනපති රාම් නාත් කෝවින්ද් වෙත මහින්ද එයට වඩාත් සුදුසු යයි දන්වා සිටියොත් එම සම්මානය ලැබෙනු ඇත.

භාරත රත්න සම්මානය 1954 සිට මේ දක්වා අවස්ථා කිහිපයකදී 45 දෙනෙකුට පිරිනමා ඇති අතර ඉන්දියානුවන් නොවන අයට මෙම සම්මානය පිරිනමා ඇත්තේ ඉතිහාසයේ දෙවරක් පමණි. ඒ 1980 තෙරේසා මව්තුමියට හා 1990 නෙල්සන් මැන්ඩෙලාට පමණි.

සම්මානය ගැන වැඩි විස්තර ඇති විකිපීඩියා පිටුව මෙතැනින්




Previous Post Next Post