Breaking News

ආහාර ගනිමින් සිටි ඇත් පැටවාව වෙඩිතබා මරලා


 උඩවලව වනෝද්‍යානයේ ජීවත්වූ අවුරුදු 11 ක් පමණ වයසැති ඇත් පැටවකු 30 දින රාත‍්‍රි හඳුනානොගත් කණ්ඩායමක් විසින් වෙඩිතබා මරාදමා ඇති අතර උඩවලව ජලාශ පිටවාන ප‍්‍රදේශයේදී මඩේ එරී මියගොස්
සිටියදී සිරුර හමුවී ඇත.
මෙසේ මියගිය ඇත්පැටවා පුරුදු ආවේණික
පරිසරයේ සැරිසරන අවස්‌ථාවේදී මෙම අනතුර සිදුවී ඇතැයි උඩවලව ජාතික වනෝද්‍යානයේ භාරකරු ආර්.ඒ. ඩී.බී. සමරනායක මහතා පවසයි. ඇත්පැටවාට වෙඩි තබා ඇති බව දැනගත් විගසම උඩවලව ජාතික වනෝද්‍යාන භාරකරු ඇතුළු නිලධාරීන් කණ්‌ඩායමක්‌ හම්බේගමුව පොලිසියට දන්වා පරීක්‌ෂණ ආරම්භ කර ඇත.
පසුව උඩවලව ඇත් අතුරු සෙවනේ පශු වෛද්‍ය මාලක අබේවර්ධන මහතා ඇතුළු කණ්‌ඩායමක්‌ මරණ පරීක්‌ෂණය පවත්වා ඇත. එහිදී අනාවරණය වී ඇත්තේ බෙහෙත් කොටන තුවක්‌කුවක්‌ යොදාගෙන තබන ලද වෙඩි පහරින් හිසට සහ කන් දෙකට බරපතළ තුවාල සිදුවීමෙන් මරණය සිදුවී ඇති බවයි. සැකකරුවන් ඒ අවට ගම්මානවල පුද්ගලයන් බවට සැකකරන බව උද්‍යාන භාරකරු පවසයි.

 - එච්. එස්. අබේරත්න -