Breaking News

යළිත් මහබැංකු අධිපති තනතුරට අජිත් නිවාඩ් කබ්රාල්?

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට යළිත් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ධුරය භාර ගන්නා
ලෙස අග්‍රාමාත්‍ය සහ මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ආරාධනා කර ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.

පසුගිය ජනාධිපතිවරණයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පරාජයට පත්වූ වහාම අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහ බැංකු අධිපති ධුරයෙන් ඉල්ලා අස්‌විය.


මේ අවස්‌ථාවේදී පැවැති යහපාලන රජය අවසන් වී නව අන්තර්කාලීන රජයක්‌ පත්ව තිබුණත් තවමත් වත්මන් මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්‌වාමි මහතා මහ බැංකු අධිපති ධුරයේ රැඳී සිටී.

ජනාධිපතිවරයාට නව මහ බැංකු අධිපතිවරයකු පත්කිරීම සඳහා සිටින මහ බැංකු අධිපතිවරයා ඉල්ලා අස්‌විය යුතු වේ.

මේ අනුව නව මුදල් ඇමැතිවරයාට නව මහ බැංකු අධිපතිවරයෙක්‌ පත්කිරීමට ඉඩ සලසමින් වත්මන් මහ බැංකු අධිපතිවරයා බොහෝදුරට ඉවත් වනු ඇතැයි රජයේ ආරංචි මාර්ගවලින් දැනගන්නට ලැබේ. ඉන් පසුව අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ නම වත්මන් මුදල් හා ආර්ථීක කටයුතු ඇමැතිවරයා විසින් ජනාධිපතිවරයාට නිර්දේශ කිරීමට නියමිත බවද දැනගන්නට තිබේ.

ඒ අනුව අජිත් නිවාඩ් කබ්රාල් මහතා යළිත් මහ බැංකු අධිපතිවරයා ලෙස පත්වීමට නියමිතව ඇතැයිද වාර්තා වේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත